
හත්කෝටියේ ලංසුව පන්කෝටියට බසී
ගනුදෙනුව කළේ හිඟුරාණේ හෝටලයකදී
මිහිපිට සිටිනා සත්ත්වයකුගෙන් ලබා ගන්නා ඉහළම වටිනාකමින් යුත් ගජමුතු ඇතුන්ගේ දළ දෙකෙහි නිර්මාණය වේ. ගජමුතු සෑම ඇතකුගේම පිහිටන්නේද නැත. රුපියල් කෝටි ගණනින් මිල නියම වන ගජමුතු මනුෂ්‍ය ජීවිතවලට වාසනාව, සැප සම්පත්, ගරු බුහුමන්, තාන්න-මාන්න ගෙන දෙන බව ඈත අතීතයේ සිටම ඇතැම් ධනවත් පුද්ගලයන් අතර මතයක් පවතී. එම නිසා එවැනි ධනවතුන් ගජමුතු රුපියල් කෝටි ගණන් වියදම් කොට මිලට ගෙන ළඟ තබා ගැනීමට පෙලඹේ. එවැනි ධනවතුන්ට ගජමුතු විකිණීම සඳහා ජාවාරම්කාරයන් කිසිම ඉවක්-බවක් නොමැතිව දළ ඇතුන් ඝාතනයට යොමු වන්නේ සමස්ත ඇත් පරපුරටම තර්ජනයක් වෙමිනි.
පසුගිය 3 වැනිදා එවැනි ගජමුතු 5ක් විකිණීමට තැත් කළ අයෙකු නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරීහු පිරිසක් සමත් වූහ. රුපියල් කෝටි හතකට මිල නියම කොට විකිණීමට තැත් කළ එම ගජමුතු පහ සමඟ එකී ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්ය බළකායට කොටු වන්නේ මේ අයුරිනි.
ඉකුත් සමය පුරාවට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන්හි ගජමුතු විකිණීම පිළිබඳව බොහෝ සේ ‘පෝස්ට්’ පළ විය. මීට මාස දෙකකට පමණ පෙරදී කිසියම් පුද්ගලයකු ගජමුතු 5ක් විකිණීමට ෆේස්බුක්හි පෝස්ට්ටුවක් පළ කර තිබිණි. එම පෝස්ට්ටුව පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරින්ගේද නෙත ගැටිණි.
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයෝ මෙම ගජමුතු ජාවාරම්කරුවා කොටුකර ගැනීමට මෙහෙයුමක් සැලැසුම් කළහ. ඒ වන විටත් එම ගජමුතු පහ මිලට ගැනීමට විදේශයක සිටින ගැනුම්කරුවකුද මෙරටට පැමිණීමට නියමිතව සිටියේය. එම පුද්ගලයා කෙටි පණිවිඩයක්ද එවා තිබුණේ ‘සතියක් දෙන්න මම රට ඉඳන් එනවා... ගනුදෙනුව කරමු’ යනුවෙනි. ඊට පෙර විශේෂ කාර්ය බළකා නිලධාරීහු ‘ඉක්මන්‘ වන්නේ මේ ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීම සඳහාය.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී කේ.ජී. නලින් පෙරේරාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකා අම්පාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එම්. ලක්මාල් ඇතුළු නිලධාරීහු එම මෙහෙයුමට එක් වූහ. නිලධාරින් එම ‘පෝස්ට්ටුව‘ පළ කළ පුද්ගලයා ගැන සොයා බැලීය. ඔහු 35 හැවිරිදි ජනක සංජය නමැත්තෙකි. ගාල්ල ප්‍රදේශයේ උපන් ජනක සංජය මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයෙන් විවාහ වී සිටියේය. ඔහු මීට මාස කීපයකට පෙරදී බන්ධනාගාරයේ සිට පැමිණි අයෙකි. ඔහු බන්ධනාගාරගතව සිටියේ නිධන් හැරීමේ චෝදනාවකටය. ඒ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හැඟී ගියේ මෙම පුද්ගලයා ගජමුතු ජාවාරම්කරුවකු බවයි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේම එකී පුද්ගලයා සමඟ සම්බන්ධ වීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහූ උපායක් යෙදූහ. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරයකු සේ උපුල් මුදලාලි නමැති කෝටිපති ව්‍යාපාරිකයකු වෙස් ගැන්විණි. අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරියෙකු ඇඟිලිවලට මුදු කීපයක් පලඳා ගෙලට වටිනා රන් මාලයක්ද දමාගෙන කෝටිපති ව්‍යාපාරික උපුල් මුදලාලිගේ නියෝජිතයකු ලෙස පෙනී සිටියේය. ඔහු ගජමුතු මිලට ගැනීමට ගජමුතු විකිණීමට සමාජ මාධ්‍යයේ පළ කර තිබූ ජනක සමඟ සම්බන්ධ විය. ජනක සංජය ගජමුතු පහේ මිල නියම කර තිබුණේ රුපියල් කෝටි හතක් තරම් විශාල මුදලකටය.
අනතුරුව ගනුදෙනුව සිදු කිරීමට හැකි ස්ථානයක් ගැන දෙපාර්ශ්වය කතිකා කර ගත්හ. එහිදී උපුල් මුදලාලිගේ නියෝජිතයා ස්ථාන කීපයක් කීවේය. එහෙත් එකී එකම ස්ථානයකට හෝ ජනකගේ කැමැත්තක් නොවීය.
“අපි සමර්සිටි හෝටලයේදී හමු වෙමු...” ජනක යෝජනා කළේය.
ඊට උපුල් මුදලාලිගේ පාර්ශ්වයද එකඟ විය. ඒ අනුව කතිකා කරගත් පරිදි උපුල් මුදලාලිගේ නියෝජිතයා සහ ජනක අතර ගජමුතු ගනුදෙනුව අම්පාර පොලිස් වසමේ හිඟුරාණ පාරේ ‘සමර්සිටි’ හෝටලයේදී සිදු කිරීමට යොදා ගන්නා ලදී. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සමර්සිටි හෝටලයේ කාමරයක්ද කලින්ම වෙන් කරවාගෙන තිබිණි. අනතුරුව ඉකුත් 3 වැනිදා පෙරවරු 10 පමණ වෙද්දී උපුල් මුදලාලිගේ නියෝජිතයා ලෙස පෙනී සිටි පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරියා එම කාමරයට ගියේ ධනවත් ව්‍යාපාරිකයකු ලෙස තවත් පුද්ගලයකු සමඟ සුඛෝපභෝගි මෝටර් රථයකිනි.
ගජමුතු වෙළෙඳාම සිදු කරන ජනක සංජය එහි පැමිණීමට පෙර යතුරුපැදිවලින් ද කීප දෙනෙක් පැමිණ ඒ අවට විමර්ශනය කර යන ආකාරය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ උකුසු ඇස්වලට හසු විය. එසේ දෙතුන් දෙනෙක් පැමිණ ගිය පසු ගජමුතු විකුණන ජනක හෝටල් කාමරයට පැමිණියේ එදින දහවල් 12ට පමණය. තවත් පුද්ගලයකු සමඟ අතරමඟට පැමිණීමෙන් පසු ඔහු හෝටල් කාමරයට පැමිණ උපුල් මුදලාලිගේ නියෝජිතයා හමු විය.
“මෙහෙමයි... මට මුලින්ම සල්ලි බලන්න ඕනෑ... මොකද දැන් කාලේ මේ වගේ බිස්නස්වලට දෙන්නෙ හොර සල්ලි...” කාමරයට පැමිණි සැණින් ජනක කීවේය.
“හරි අපි සල්ලි ගේන්නම්... එකපාරටම කෝටි හතක් වගේ ලොකු ගාණක් ගේන්න බෑනේ... අපිට ඔයාගේ බඩු පෙන්නන්න... මොකද නියම ගජමුතු කියලා හොර ගජමුතුත් විකුණනවා...” ඒ උපුල් මුදලාලිගේ නියෝජිත ලෙස පෙනී සිටි බුද්ධි නිලධාරියා කී කතාවයි.
අනතුරුව මුලින් ගජමුතුවල ‘ඩමි‘ පෙන්වූ ජනක පසුව කහ පැහැති රෙදි කැබැල්ලක ඔතාගෙන ගෙනැවිත් තිබූ නියම ගජමුතු පෙන්වීය. ඒ අතරේ දෙපාර්ශ්වය අතර ගනුදෙනුව රුපියල් කෝටි හතේ සිට කෝටි පහ දක්වා අඩු විය. පසුව ගජමුතු උපුල් මුදලාලිගේ නියෝජිතයා විසින් පරීක්ෂා කළේ විදුලි පන්දමක් සහ සුදු පැහැති කොළයකද ආධාරයෙනි. එම පරීක්ෂාවෙන් එම ගජමුතු ‘නියම ගජමුතු’ බවට හෙළි විය.
එසැණින් ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එම ගජමුතු ජාවාරම සිදු කළ ජනක සංජය නමැති සැකකරු එදින සවස 2.20ට පමණ අත්අඩංගුවට ගත්තේ නීති විරෝධි ලෙස ගජමුතු අලෙවි කිරීමට යාම නිසාවෙනි. පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත් ජනකගේ ජංගම දුරකතනය පරීක්ෂා කරද්දී එහි තනිකරම තිබී ඇත්තේ නිධන්වලට අදාළ ගජමුතු, ඇත්දළ ආදි ඡායාරූපයි. ජනකගෙන් එම ඡායාරූප ගැන විමසූ විට ඔහු පවසා තිබුණේ එම ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවයි. එහෙත් එම ඡායාරූප සියල්ල එම ජංගම දුරකතනයේ කැමරාවෙන් ලබාගත් ඡායාරූප බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සිදු කළ පරීක්ෂාවේදී හෙළි විය. “තමුන්ට කොහෙන්ද මේ ගජමුතු හම්බ වුණේ...” විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් විමසීය.
“සර්... මට මේවා දුන්නේ ඇතිමලේ ඉන්න මගේ යාළුවෙක්... එයා මේ ගජමුතු පහ අරගෙන තියෙන්නේ නිධානෙකින්... මට දුන්නා විකුණලා දෙන්න කියලා...”
අහිංසක දළ ඇතුන් ඝාතනය කොට ලබා ගන්නා ගජමුතු ජාවාරම නිසා මේ වන විට ඇත් පරපුරම විනාශ වෙමින් පවතී. මෙවැනි ගජමුතු ජාවාරම්කරුවන්ට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම වගකිවයුතු පාර්ශ්වයන්ගේ වගකීමයි. පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට ගැනුණු ජනක සංජය අනතුරුව ගජමුතු පහද සමඟ අම්පාර මූලස්ථාන පොලිසියට බාර දී තිබුණේ නීතිමය පියවර ගැනීම සඳහායි. ඒ අනුව අම්පාර මූලස්ථාන පොලිසිය විසින් අම්පාර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.