
අපරාධ ලොව කිරුළ කලින් කලට වෙනස් වේ. ඒ ඒ කලට අපරාධ ලොවේ ප්‍රබලයා වන්නේ කවුරුද ඔහු එහි රජු ලෙස භෞතීෂ්ම ලැබ කිරුළ හිමිකර ගනී. එය ද ලේසි පහසු කටයුත්තක් නොවේ. හොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, වංචා වැනි ම්ලේච්ජ ක්‍රියාවන් සිදු කර තිබීම ඒ සඳහා මුලික සුදුසුකම් ලෙස සැලකිය හැකිය. ඊට අමතරව පොලිසිවල, උසාවිවල නොමැකෙන අයුරින් නම සටහන් වීම මෙන්ම පත්තරවල මුල්පිටු ඔහු නමින්, ඔහු රුවින් වෙන් වීම ද විශේෂ සුදුසුකමකි. නිදහසේ හුස්මක් ගැනීමට නොහැකි වීම, සිතූ සේ සුවපහසු නින්දක් ලැබීමට නොහැකි වීම මෙන්ම නිරතුරුවම මරණ බය දැනීම යනු ඔහුට ලැබෙන බෝනස් ප්‍රතිලාභයන් ය.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දිවියේ අත්දැකීම් ඇසුරින් ලියවුණු ‘මේ ඒ කතා‘ කෘතියට දිනයාදුර ලක්ෂ්මන් ධර්මරත්න ද සිල්වා හෙවත් වන්ෂොට් පිළිබඳ සැකසුණු කොටස් තුනකින් යුත් ලිපි පෙළේ දෙවැන්නයි මේ.
සොහොයුරාට එල්ල වූ ප්‍රහාරය නිසා කෝපයට පත්ව සිටි ‘වන්ෂොට්’ගෙන් ක්ෂණික ප්‍රතිප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටි ජයතිලකට වන්ෂොට්ගේ නිහැඬියාව ප්‍රහේලිකාවක් වුවද වන්ෂොට්ගේ හැටි හොඳින්ම දැන සිටි ඔහු ද තම ආරක්ෂක බළ ඇණිය ලිහිල් නොකළේ කොයියම්ම මොහොතක හෝ තමන්ට ද ප්‍රතිප්‍රහාරයක් එල්ල වන බව ඉඳුරාම දැන සිටි බැවිනි.
එළැඹෙමින් තිබුණේ බක්මහේ අවසන් සතියයි. වෙසක් සඳ මෝදු වීමට ඉඩ හරිමින් අහස් කුස බලා සිටියේ සිදු වන්නට යන කිසිවක් නොදන්නා සේය. වන්ෂොට් සමඟ ආරවුලට මුල පිරූ දින සිටම ජයතිලකට ද නින්දක් නැති විය. ඔහුගේ සගයන් ද රංචු පිටින් අවට ලඳු කැලෑවේ අවි ආයුධ අමෝරා රැක සිටිමින් රැය පහන් කළේ ද ඕනෑම මොහොතක ක්ෂණික ප්‍රහාරයකට සූදානමිනි.
සිදුවන්නට යන විනාශය ඉව වැටීදෝ කළු වලාවකින් වෙසක් සඳ වැසී ගියේ සිහින් පොද වැස්සක් ද වාතලයට මුසු කරමිනි. නිවස අසල ලඳු කැලෑවේ රැකවල්ලා සිටි ජයතිලකගේ සහචරයෝ ද වහ වහා නිවස තුළට දිව ගියේ වැස්සට මුවා වීමේ අදහසිනි. ලඳු කැලෑවට මෙපිටින් පිහිටි වගුරු බිමේ තවත් පිරිසක් මේ මොහොත උදාවන තුරු ඇඟිලි ගනිමින් සිටි බව කිසිවෙක් නොදැන සිටියහ. මේ මොහොත උදාවනතුරු පුල පුලා බලා සිටි වන්ෂොට්, ඩීසල් කළුවා ඇතුළු පිරිස තම අත රැඳි ගිනිඅවි අමෝරා ජයතිලකගේ නිවසට කඩා පැන්නේ එහි සිටි කිසිවකුටත් කිසිවක් සිතීමටවත් ඉඩක් නොතබමිනි. ඔවුන් කොතරම් වේගවත්ව ක්‍රියාත්මක වූවාද කිවහොත් ජයතිලකගේ සහචරයන්ට තම අත රැඳි ගිනිඅවි ක්‍රියාත්මක කිරීම තියා ඒ වෙත අත යැවීමටවත් කාලයක් නොමැති විය.
විනාඩි 5කටත් අඩු කාලයක් තුළ සිදු වූ මෙම ‘ගරිල්ලා ප්‍රහාරයේ’ අවසන් ප්‍රතිඵලය වූයේ ජයතිලකගේ සහචරයන් සිවු දෙනකු මෙන්ම නිවසේ නිදා සිටි ඔහුගේ ඥාති දියණියක ද ඝාතනයට ලක්වීමයි. ඔවුන් අතැති තුවක්කු ද කොල්ලකෑ පිරිස වහා එතැනින් පිටත්ව යෑමට සැරසුණත් වන්ෂොට්ගේ සැඟවුණු සංවේදී මිනිස් ගතිය මතු වන්නට වූයේ කිසිම වරදක් නොකර මියගොස් සිටි තරුණිය දැකීමෙනි. තවමත් තාරුණ්‍යයේ පසුවන ඇය දුටු වන්ෂොට් දරාගත නොහැකි සොවින් ඇය බදාගෙන වැලපෙන්නට වූයේ නිරපරාදේ මියගිය ඇගෙන් සමාන ඉල්ලමිනි. අපරාධ ලොවට ඔහු අපරාධකරුවකු වුවද ඔහුත් සාමාන්‍ය මිනිසෙකි. කළුවාගේ කෑගැසීමෙන් පියවි සිහියට ආ වන්ෂොට් තරුණියගේ මළසිරුරට ආචාර කොට වහා එතැනින් ඉවත්ව අඳුරට එක්වූයේ මෙවර නම් ජයතිලකට හොඳ පාඩමක් ඉගැන්වූවාය යන සිතුවිල්ලෙනි.
‘වන්ෂොට් හීනටියන හොල්ලයි
‘මහ රෑ එල්ල කළ ගරිල්ලා ප්‍රහාරයෙන් 5ක් මරුට‘
පසුදින පුවත්පත්වල මුල්පිටු සැරසුණේ මෙවන් පාඨවලිනි. එදින ජයතිලකගේ දිවි ගැලවුණේ හදිසියේ ඇතිවූ අසනීපය නිසා පොල්ගහවෙල ඥාති නිවසක ප්‍රතිකාර ලබමින් සිටි නිසාය.
මේ වන විට ගම්පහ පොලිස් කොට්ඨාසය භාරව කටයුතු කළේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමදාස උඩුගම්පොලය. රාජකාරිය දේවකාරියක් කොට සලකන ඔහු තම බලපරාක්‍රමයට එල්ල වූ මෙම අභියෝගය බාර ගැනීමට දෙවරක් සිතුවේ නැත. අභියෝග හමුවේ ඔහු කිසිදා සැලුණේ ද නැත.
මේ වන විට යාපනය පොලිස් ස්ථානයට මාරුවක් ලැබ සිටි ප්‍රියන්ත ජයකොඩිව වහා කැඳවූ ඔහු හීනටියන පොලිස් ස්ථානයේ වැඩ භාර ගෙන සතියක් ඇතුළත වන්ෂොට් පණ පිටින් හෝ මළ සිරුරක් ලෙස හෝ ගෙන එන ලෙස නියෝග කළේය.
තවමත් පොලිස් සේවයට ආධුනිකයකු වූ ජයකොඩි මෙය කෙසේ පටන්ගෙන කෙසේ ඉවර කරන්න දැයි සිතමින් මූලස්ථාන පොලිස් පරීක්ෂක කාර්යාලයට එන විටත් සියලු පහසුකම් සහිතව නිලධාරීන් 15 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සූදානමින් තිබිණි. පොලිස් මුරපොළ ලෙස හීනටියන ධම්මාලෝක හිමිපාණන්ගේ මවු පන්සල ලෙස සැලකෙන හීනටියන පොත්ගුල් විහාර පිරිවෙනේ ධර්ම ශාලාව ඒ වන විටත් සකසා තිබුණේ උඩුගම්පොලගේ සංවිධාන ශක්තියේ බලවත්කම ඉස්මතු කරමිනි.
ඒ 1985 වර්ෂයේ අප්‍රේල් 26 වැනිදාය. ගොම්මන් අඳුරත් සමඟම ගම්පහ සිට හීනටියනට සේන්දු වූ ජයකොඩි ඇතුළු පිරිස හීනටියන පන්සලේ පොලිස් මුරපොළ අරඹනු ලැබීය. චෝදනාගාරය, සිර මැදිරිය, කාර්යාලය, බැරැක්කය යන කොටස් සියල්ල සඳහා එහි ධර්ම ශාලාවේ අඩි 30 X 30 කොටසක් වෙන්කර තිබූ අතර කෙළවරේ කාමරයක් පොලිස් ස්ථානාධිපති ලෙස පත්ව ආ ජයකොඩිගේ පරිහරණය සඳහා වෙන්කර තිබිණි. අනෙක් කෙළවර මෛත්‍රීවංශ හිමියන්ගේ කුටිය විය.
පොලිස් මුරපොළ ඇරඹූ දිනයේම රාත්‍රී නිසල බව බිඳිමින් පහළ වෙල් යාය දෙසින් ඇසුණු අහසට වෙඩි තබන ශබ්දයෙන් කලබල වූ පිරිස ඒ දෙසට දිව යෑමට සැරසුණු නමුත් ඔවුන්ගේ ගමන වැළකුණේ ජයකොඩිගේ හා සැරයන් කුලසේකරගේ මැදිහත්වීමෙනි. ඉන් පසු මුළු රැයම නිදිවර්ජිතව කෝපි පානය කරමින් ගත කළ පිරිස පසුදා උදෑසනම ලොකු හාමුදුරුවන් බැහැදැක වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන අනුශාසනා ලබා ගත්තේ වන්ෂොට් ගැන යහපත් ආකල්පයක් ද සිත්හි තැන්පත් කොට ගෙනය. එය වඩාත් තහවුරු කෙරුණේ සැරයන් කුලසේකර ඕ.අයි.සී. ජයකොඩි අතේ තැබූ කවරයක බහාලූ කොටු රූල් කොළයක ලියා තිබූ ලිපිය කියවීමෙනි. එහි සටහන්ව තිබුණේ මෙසේය.
අතරමඟ දී.......
සර්, මම හිරේ ඉන්දැද්දි සර් ගැන අහල තියෙනවා බෝම්බ ලාල්ගෙන්, සර් හොඳ නිලධාරියෙක් බව. මගෙන් සර්ට කරදරයක් නැහැ. ඒත් මට ඉවර කරන්න කිහිපදෙනෙක් ඉන්නවා. ඒ වැඩ ටික ඉවර කරගෙන මමම ඇවිත් සර්ට භාර වෙන්නම්. එතකම් මට කරදර කරන්න එපා.
මම වන්ෂොට්.
වන්ෂොට් ඇල්ලීමේ අවසන් මෙහෙයුම
(ලබන සතියට)