මරදානේදී ත්‍රිරෝද රියක දමා ගියැයි කී කිරි කැටි බිලිඳා හෙළි කළ රහස | සිළුමිණ

මරදානේදී ත්‍රිරෝද රියක දමා ගියැයි කී කිරි කැටි බිලිඳා හෙළි කළ රහස

 

“සර්, මගෙ වීල් එකට ඊයෙ හවස බොරැල්ල කනත්ත ළඟින් ගෑනු කෙනෙක් නැග්ගා... හයර් එකකට. අතේ ලොකු බෑග් දෙකකුත් තිබුණා සර්. ටික දුරක් ගිහින් ඒ මනුස්සයා බැහැලා ගියා. මම ගෙදර ඇවිල්ලා ත්‍රීවිල් එක නවත්තලා තියනකොට ළමයෙක් අඬන සද්දයක් ඇහුණා. බලනකොට ත්‍රීවිල් එකේ බෑග් එකක් ඇතුළේ මේ පොඩි ළමයා හිටියා...." ඒ මෙරට පැරැණිතම පොලිස් ස්ථානයක් වන මරදාන පොලිස් ස්ථානයට පසුගිය දිනක පැමිණි පුද්ගලයෙකු සිදු කරන ලද පැමිණිල්ලක සටහන් වූවකි.

බෑගය ඇතුළේ සිටියේ අපූරු පෙනුමකින් යුත් හුරුබුහුටි බිලිඳෙකි. බැලූ බැල්මට ඉපදී දින කිහිපයක් පමණක් ගත වූ බවක් දිස්වුණු මේ බිලිඳා ඒ වන විට පැමිණිලිකරු අත සුව නින්දක පසු වූයේ තමා වටා සිදු වන කිසිම පරිබාහිර දෙයක් සම්බන්ධව කිසිම වග විභාගයක් නොමැතිවය.

"දැන් එතකොට ත්‍රිවිල් එකට නැග්ග ගෑනු කෙනා ඔච්චර හරියක් කරනකල් තමුන් දැක්කෙ නැද්ද?" පොලිස් නිලධාරින් එකී ත්‍රිරෝද රථ රියදුරුගෙන් විමසූ පැනයට ත්‍රිරෝද රියදුරාගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.

“සර්... ඒ වෙලාවෙ තිබුණ වැස්සයි අඳුරයි එක්ක මම ත්‍රීවිල් එක ඇතුළේ ඒ ගෑනු කෙනා කරන කියන දේවල් දැක්කෙ නැහැ සර්... අනික මම කණ්ණාඩියෙන් පිටිපස්ස බැලුවෙම නැතිතරම්..." ත්‍රිරෝද රථ රියැදුරා පොලිස් නිලධරින්ට කීවේ එවැනි කතාවකි.

බැලූ බැල්මට නම් මෙකී පැමිණිල්ලේ කිසිම සැකයක් නොමැත. අහිංසක මුහුණක් මවාගත් ත්‍රිරෝද රියදුරු යටහත් පහත්ව දෙකට තුනට නැවී පොලිස් නිලධාරින් ළඟ සිටියේ බැගෑපත්වය.

"මම මේ කිරිසප්පයව දැක්කේ ඊයෙ රෑ වෙලා. එවෙලේම මම පොලිසියට එන්නෙ නැතුව අද උදේ වෙනකල් මගෙ ගෙදර මෙයාව තියාගෙන ඉඳලයි මේ අරන් ආවෙ..." ත්‍රිරෝද රථ රියැදුරා කියන කතාව පොලිස් නිලධරයෝ අසාගෙන සිටියේ දෙනෙත් අයාගෙනය.

මෙම සංවේදී කාරණය සවන් වැකී පැමිණිල්ල සිදු කරන ස්ථානයට පැමිණ සිටි මරදාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ තරුණ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු වන (12577) මහේෂිකා සහ (12790) දේශානි අතට ඒ වනවිටත් පැමිණිලිකරු අත සිටි සිඟිති දරුවා මාරු වී ගොස් තිබුණේ ඔවුන්ගේ උණුසුමට ලොබ බැඳි බිලිඳාගේ මුවෙහි කිරි සිනහවක්ද සටහන්ව තිබුණේ කාගේත් දෙනෙතට කඳුළක් එක්කරමිනි.

පැමිණිල්ල සිදුකරන දිනය වන විට ඉපිද දින තුනක් පමණ සම්පූර්ණ කර තිබූ බිලිඳා මවුකිරි නොමැතිකමින් දුර්වල තත්ත්වයක පසුවිය.

ඒ අනුව බිලිඳා හට ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණේ එම අවස්ථාව වන විටත් බිලිඳාගේ අයිතිය 'නොනිල' වශයෙන් ලබාගෙන සිටි තරුණ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා වන මහේෂිකා සහ දේශානිගේ භාරකාරීත්වය යටතේය.

පැමිණිලිකරුවෙක් ගොනු කරන පැමිණිල්ලක් ‍පොලිස් පොතේ සටහන් කිරීමෙන් පසු පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පැවැත්වීම ඕනෑම පොලිස් ස්ථානයක සාමාන්‍ය සම්ප්‍රදායයි.

එහෙත් මෙහිදී මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. අයි. කේ. ඇපලකොටුව ත්‍රීවිල් රථ රියදුරුගේ ප්‍රකාශය ඒ ආකාරයෙන්ම භාර ගැනීමට සූදානම් වූයේ නැත. ඒ ඔහු පොලිස් ස්ථාන ගණනාවකම රාජකාරි කොට කාලයක් තිස්සේ විමර්ශන ගණනාවක්ම ඉතා සාර්ථකව සිදු කර අත්දැකීම් ලත් නිලධරයකු වූ නිසාය.

අනතුරුව ත්‍රිරෝද රථ රියැදුරා ප්‍රකාශ කළ වේලාව අනුව බොරැල්ල කනත්ත අවට පිහිටුවා ඇති සීසීටීවී කැමරා ගණනාවක් පරීක්ෂා කිරීමට මරදාන පොලිසියේ නිලධාරින් පියවර ගත්තේය. පොලිසියේ සැකය සනාථ කරමින් බොරැල්ල කනත්ත අවට කිසිම සීසීටීවී කැමරාවක එම කාල වේලාව තුළ ගමන් මලු දෑත දැරූ කාන්තාවක ත්‍රීරෝද රථයකට ගොඩ වන ආකාරයක් සටහන්ව නොතිබිණි.

එයින්ද නොනැවතුණු පොලිස් නිලධාරීන් ඉන් අනතුරුව පියවර ගත්තේ පැමිණිලිකාර ත්‍රිරෝද රථ රියැදුරාගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීම සඳහාය.

ත්‍රිරෝද රථ රියැදුරා පැවසූ දින වකවානු වලදී බොරැල්ල ප්‍රදේශයේ සිට ඔහු කිසිම ඇමතුමක් ලබාගෙන හෝ ඇමතුමක් හා සම්බන්ධව සිටියේද නැති බවද හෙළි වන්නේ පොලිසිය සිදු කළ විමර්ශනවලදීය.

සක්සුදක් සේ මේ සියල්ල ‍පැහැදිලි වෙද්දී රියදුරු ගොනු කළ පැමිණිල්ල සාවද්‍ය එකක් බව ඔප්පු වන්නේ පොලිසිය ඒ ගැන දිගින් දිගටම සිදු කරන ලද විමර්ශනයේදීය.

මරදාන, ජලාශ පාරේ පදිංචිකරුවෙකු වූ ත්‍රිරෝද රථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ එලෙස සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුවය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් පොලිසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන්ට කැඳවීමක් සිදුකරන බව රියදුරු කලින් සිටම දැනුවත්ව සිටි බැවින් ‍යළිත් වරක් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් ඔහුගේ කිසිම චකිතයක් නොතිබුණි.

ඒ අනුව මරදාන පොලිස් ස්ථානය බාර කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් ද දැනුවත් කොට උපදෙස් ලබා ගැනීමෙන් පසු නැවත එකී ත්‍රිරෝද රථ රියැදුරු මරදාන පොලිසියට කැඳවීය. එහිදී එක්වරම, පොලිස් ස්ථානාධිපතිවරයාගේ තදබල අවවාදයෙන් ත්‍රිරෝද රථ රියැදුරාට ‘උතුර දකුණ‘ මාරු විය.

"ඇත්ත කියනවා. තමුන්ට කොහෙන්ද මේ ළමයා? අපි ඇත්ත ඔක්කොම දැනගෙන ඉවරයි. ඇත්ත කිවුවොත් බේරෙන්න පුළුවන්.

නැත්නම් ජීවිත කාලෙම හිරේ ලගින්න ලෑස්ති වෙනවා..." යනුවෙන් ස්ථානාධිපතිවරයාගේ කතාවෙන් ත්‍රිරෝද රථ රියැදුරා බය බිරාන්තව සිටියේය.

"ඒ කියන්නෙ පොලිසිය හැමදේම දැනගෙන...." යනුවෙන් තමන්ටම මුමුණාගත් ඔහු වැඩි මහන්සියකින් තොරවම සියල්ල පැවසුවේ තවත් බොරු කීමෙන් පලක් නොවන බව දැනගෙන වන්නට ඇත.

"හරි සර්... මම හැමදේම කියන්නම්... මේ ළමයා මගේ මල්ලිගේ. එයා ක්ලීනින් සර්විස් ආයතනයක ලොකු තනතුරක් දරන කෙනෙක්. ඒකේ වැඩ කරන ගෑනු කෙනෙක් තමා මේ ළමයගෙ අම්මා..." යනුවෙන් ත්‍රිරෝද රථ රියැදුරුගේ මුවින් පිටවද්දී පොලිස් ස්ථානාධිපතිවරයා නැවත ත්‍රිරෝද රියැදුරු ඇමතුවේය.

"එ‍තකොට තමුන්ගෙ මල්ලිගෙ අනියම් සම්බන්ධයෙන් හැදිච්ච දරුවද අපිට ගෙනල්ලා දුන්නේ බලාගන්න..."පොලිස් ස්ථානාධිපතිවරයා ත්‍රිරෝද රථ රියැදුරුගෙන් තදින්ම විමසීය.

"මට සමාවෙන්න සර්... වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. දරුවව බාරගන්න අපිට පුළුවන්කමක් තිබුණෙ නෑ. මමත් කසාද බැඳපු කෙනෙක් .

මල්ලිත් කසාද බැඳලා. එතකොට මල්ලි යාළු වෙච්ච ඒ ගෑනු කෙනත් කසාද බැඳපු කෙනෙක්..."

කෙසේ වෙතත් කිරි සප්පයන් මෙලොව එළිය ලද සැණින් ගෙල මිරිකා මරා දමන්නට හෝ උරවල බහා කැලෑවලට විසි කරන්නට තරම් සමාජය සැහැසි වී තිබෙන යුගයකදී එකී කිරිකැටියා එවන් ඉරණමක් අත්නොකොට නිරුපද්‍රිතව පොලිසියට හෝ බාර දීම පිළිබඳව පොලිස් ස්ථානාධිපති ඇපලකොටුවගේ මුවින් සැනසුම් සුසුමක් ඉබේම පිට වූ‍යේ සුරතල් කිරි සප්පයාගේ හුරුබුහුටි මුවමඬල යළි මතකයට නැඟීමෙන් විය යුතුය.

ඉන් අනතුරුව මේ කතාවේ මුල මැද අග සම්බන්ධ කර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයාට හැකි විය.

ඒ මෙලෙසිනි.

කිරිකැටියා මෙලොවට බිහි කළ එකී කාන්තාව දුර බැහැර ප්‍රදේශයක පදිංචිකාරියකි. ඇය තාවකාලික නවාතැනක නැවතී කොළඹ ප්‍රදේශයේ සිය රැකියාවේ නිරත වන්නීය. 33 හැවිරිදි ඇය රැකියා ස්ථානයේ සිය ප්‍රධානියා සමඟ පැවැත්වු අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස ගැබිනියක් වන්නේ ඔවුන්ගේ තාවකාලික සුරංගනා ලෝකයට ප්‍රශ්නාර්ථයක් එක්කරමිනි.

ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් එකී ආයතන ප්‍රධානියා සිය වැඩිමල් සොහොයුරු වන ත්‍රිරෝද රියදුරු සමඟ සාකච්ඡා කර පසුව දෙදෙනා අතර එකඟතාවකට එළැඹියේය. එම එකඟතාවකට අනුව ත්‍රිරෝද රියදුරු‍ගේ නිවස අසල කුලී කාමරයක එම කාන්තාව නවත්වා ගන්නේ දරුවා බිහිවන තුරු කාලය තුළයි.

දින වකවානු සම්පූර්ණ වීමෙන් පසුව දරුවා මෙලොවට බිහි විය. පසුව සැකකාර ත්‍රිරෝද රියදුරු, සිය මලණුවන් වන ආයතන ප්‍රධානියා සමඟ එකතුව කාන්තාව සහ බිලිඳා සම්බන්ධ කෙරුණු පෙකණි වැල කතුරකින් කපා ඊට කොණ්ඩා කටුවක් ගසා ඇති බව ඔහුගේ ‍පාපොච්චාරණයේදී හෙළි වූයේ පොලිස් නිලධාරීන්ගේද දෑස් නළලට එසවෙද්දීය.

පසුව කාන්තාවගේ රුධිර වහනය නැවැත්වීම සඳහා අසල පිහිටි ඖෂධ සලකින් බෙහෙත්ද ගෙනවිත් දී ඇති මෙම අපූරු අයියා - මලෝ දෙපළ දින තුනක් ගත වනතුරු බිලිඳා එම කුලී කාමරයේම තබාගෙන සිටි බවද පොලිසියට හෙළි කෙරිණි. ඉන්පසුව කතිකා කර ගත් පරිදි සකස්කර ගත් කූට සැලසුමකට අනුව සිඟිත්තා මෙලෙස මරදාන පොලිසියට ගෙනවිත් බාර දී තිබේ. ඒ සඳහා කාන්තාවක් බොරැල්ල කනත්ත අසලින් ත්‍රිරෝද රථයට නැඟ බිලිඳා එතුළ තබා බැස ගිය ලෙසට කදිම බොරු බේගලයක් නිර්මාණය කිරීමට තරම් ඔවුන් සුක්ෂම වුහ.

කරුණු කාරණා මෙලෙස එකින් එක හෙළි වෙද්දී මේ කිසිත් නොදත් අවිහිංසක 'මල් කැකුළ' රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු විය. ගතව ගිය දෙසතියක කාලය පුරා මවකගේ දෙතනින් කිරි බීමේ වාසනාව අහිමි වූ බිලිඳාට, සූප්පුවෙන් කිරි බීම පුරුදු කළේ බිලිඳා දුටු මොහොතේ පටන් සෙනෙහස දැක්වූ මහේෂිකා සහ දේශානි යන තරුණ ‍කොස්තාපල්වරියන් දෙදෙනා විසිනි.

සිය පෞද්ගලික ජීවිතය ද කැප කරමින් මහත් වෙහෙසක් දරා එම දෙසතියක කාලයකදී සිඟිත්තාට මවකගෙන් විය යුතු සියලු යුතුකම් ඉටු කළ මේ කොස්තාපල්වරියන් දෙදෙනා දුටු රෝහල් කාර්ය මණ්ඩලයේ මෙන්ම සෙසු සාමාන්‍ය ජනතාවගේද දෙනෙත් නිරායාසයෙන්ම කඳුළෙන් තෙත්ව ගියේ දරුවෙකු වැදූ පමණින් උතුම් මාතෘත්වය කිසිවෙකුටත් හිමි නොවන බවටත්, මවක් වීමට දරුවෙකු වැදීමටම අවශ්‍ය නොවන බවටත් සියල්ලන්ටම මනාව පසක් කර දෙමිනි.

පසුව බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කෙරුණු පැමිණිල්ලකට අනුව සිදු කළ නඩු විභාගයක් අවසානයේදී සිඟිත්තා පාණදුර ප්‍රදේශයේ ළමා නිවාසයකට බාර දීමට කටයුතු කෙරිණි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලද බිලිඳාගේ මව, ත්‍රිරෝද රියැදුරු, පියා වන ආයතන ප්‍රධානියා යන තිදෙනාම පසුව ඇප මත මුදා හැරිණි.

එහිදී කිරිකැටියා පිළිබඳව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පවත්වා ලැබෙන වාර්තා අනුව නීතිපති උපදෙස් මත කටයුතු කර සැකකරුවන් තිදෙනාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අනියම් සබඳතාවල ප්‍රතිඵල ලෙස මෙලොව එළිය දකින මෙවන් අහිංසක දරු සිඟිත්තන්ගේ ඉරණම ඇත්තෙන්ම අතිශයින් ඛේදජනකය. වැඩිහිටි පුද්ගලයින්ගේ වැරදිවලින් බිහි වන මෙවැනි දරුවන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ කුමක් නිසාද, කාගේ වරදින්ද කියා නොතේරෙනමුත්, හැඟීම්වලට වහල්ව තහනම් ගස්වල ගෙඩි අනුභව කිරීමට යන කාට කාටත් මෙවැනි හද කම්පා කරවන කතාන්දර ‘හොඳ පාඩම්‘ බවනම් සඳහන් කරන්නෙමු.

මේ පිළිබඳ විමර්ශන කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ගේ උපදෙස් මත මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. අයි. කේ. ඇපලකොටුවගේ උපදෙස් මත මරදාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් (62761)ලලිත්ගේ මෙහෙය වීමෙන් කොස්තාපල්වරියන් වන (12577) මහේෂිකා සහ (12790)දේශානි යන නිලධාරීහු සිදු කළහ.

 

Comments