ධනවත් තරුණයන් අමාරුවේ දැමූ මිද්දෙනියේ රූමතිය | සිළුමිණ

ධනවත් තරුණයන් අමාරුවේ දැමූ මිද්දෙනියේ රූමතිය

සුමිත් දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිට මෑතකදී ලංකාවට පැමිණි තරුණයෙකි. මාතර ගන්දර පදිංචිකරුවකු වන 27 හැවිරිදි සුමිත් අවිවාහකයෙකි. කොරියාවේ සිට මෙරටට පැමිණි සුමිත් ළඟ යහමින් මුදල්ද ගැවසිණි. දිනක් සුමිත්ගේ දුරකතනයට ඇමැතුමක් ලැබිණි. 

“හලෝ ඔය කවුද කතා කරන්නේ...?” නාඳුනන දුරකතන අංකයකින් ලැබුණු එම ඇමතුමට සුමිත් පිළිතුරු දුන්නේ කුතුහලයෙනි. “මං අයේෂා... මේ කමල් ද?” ඒ නැළවුණු ස්වරයෙන් සුමිත් ඇමතූ තරුණියගේ හඬය. “නෑ... මං සුමිත්...” සුමිත් නාඳුනන කතගේ දුරකතන ඇමැතුමට පිළිතුරු දුන්නේ ඇයගේ තොරතුරු දැන ගනු රිසියෙනි.“ඔයා හක්මණ ද?” තරුණිය නැවත සුමිත්ගෙන් විමසුවාය.“නෑ... මං ගන්දර...” සුමිත් පිළිතුරු දුන්නේ ය.

“අනේ සොරි සුමිත්... මට වැරදීමක්...”

සුමිත්ගේ දුරකතනයට ඇමැතුම ගත් අයේෂා ‘රෝං‘ නම්බර් යැයි පවසමින් ඇමැතුම විසන්ධි කළාය. එහෙත් එලෙස දින දෙක තුනක් තුළදී ඇමැතුම් කීපයක්ම සුමිත්ට ලැබිණි. අනතුරුව ඇගෙන් තවත් දිනෙක සුමිත්ට දුරකතන ඇමැතුමක් ලැබිණි.

“අනේ සුමිත් මට සමාවෙන්න... අදත් මට වැරදිලානේ කතා කළේ... අනේ මන්දා මොකද කියලා... මට ඔයාගේ නම්බර් එකටම කෝල් යන්නෙ...“ අයේෂා සිය නැළවුණු ස්වරයෙන් එලෙස පැවැසුවේ සුමිත් සමඟ දීර්ඝ කතාබහකට මුල පුරමිනි. “ආ ඒකට කමක් නෑ... මමත් ඔයා ගැන හිතුවා... ඔයා කොහේද ඉන්නේ...” සුමිත් අයේෂාගෙන් එලෙස විමසුවේ ඇය ගැන තොරතුරු දැනගන්නා අටියෙනි.

“අනේ මං අද මාතර ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ... අපි දෙන්නා පෝන් එකෙන් කතා කළා විතරයිනේ... ඕනෙනම් හම්බ වෙලා කතා කරන්නත් පුළුවන්... ” අයේෂාගේ එම යෝජනාවට සුමිත්ගේද අකමැත්තක් නොවීය. ඒ සමඟම විසන්ධි වූ දෙදෙනාගේ දුරකතන ඇමැතුමින් පසු ගත වූයේ නිමේෂයකි. අයේෂාගෙන් නැවත ඇමැතුමක් ලැබිණි. “අනේ සුමිත් ඔයා කොහේද ඉන්නෙ...? මමනම් දැන් ඉන්නෙ මාතර නිල්වලා පාලම උඩ...” ඇය පැවැසුවාය.

“හරි... එහෙනම් මං ‘ටක්’ ගාලා ඔතනට එන්නම්...“ යැයි කී සුමිත් විනාඩි කීපයක් ඇතුළත එම ස්ථානයට පැමිණියේය. පසුව දෙදෙනා එම ස්ථානයේදී හමු වූහ. ඒ වන විට එදින සවස් කාලය එළැඹ තිබිණි.

“සුමිත් අපි ටිකක් කතා කරන්න යමුද කොහාට හරි...?” අයේෂාගේ එම යෝජනාවත් සමඟ දෙදෙනා ගමන් කෙළේ මාතර වෙරළ පාර දෙසටය. ඒ අනුව දෙදෙනා නිවීසැනසිල්ලේ එදින රාත්‍රිය ගත කිරීමට මාතර වෙරළ පාරේ හෝටලයක් තෝරාගත්තේ සුමිත් අත දිග හැර මුදල් වියදම් කරන්නටද සූදානමින් පසුවූ නිසාය. දෙදෙනා හෝටල් කාමරයට යන විට රෑ බෝ විණි.

“අපි මොනවාහරි බොමු ද?” අයේෂා, සුමිත්ට යෝජනාවක් කරන්නේ ඔය අතරය. “මොනවද අපි බොන්නෙ...?“ සුමිත් ඇගෙන් එලෙස විමසුවේ ඇය කැමති බීමක් ඇණවුම් කිරීම සඳහාය. “අපි ටිකක් සැර දෙයක් බොමු... මම ඉඳලා හිටලා බියර් වගේ දේවලුත් බොනවා... ඔන්න එහෙනම් අපි අද එහෙම දෙයක් බොමු...”

ඒ සමඟම බීර කෑන දෙකක් රැගෙන ආ සුමිත් අනතුරුව ඇය සමඟ බියර් පානයට එම බියර් කැන විවෘත කළා පමණි. “අනේ මට පුදුම වතුර තිබහක් තියෙන්නේ... අපි ඕනම දේ වතුර බෝතලයක් ගෙනාවේ නෑනේ...” අයේෂා පැවැසුවාය. “ආ... ඉන්නකෝ මම ටක් ගාලා වෝටර් බොට්ල් එකක් ගේන්නම්...” කී සුමිත් හෝටල් කාමරයෙන් පිට විය.

ඒ අනුව සුමිත් හෝටල් කාමරයෙන් පිටතට ගියේ පානයට වතුර බෝතලයක් රැගෙන ඒමටයි. ඒ වන විට සුමිත් බීර කෑනය විවෘත කොට පානය කර තිබුණේ බීර උගුරක් පමණි. වතුර බෝතලය රැගෙන ආ සුමිත් නැවත බීර කෑනය මුවට තබා බීර උගුරක් බීවේය. ගත වූයේ නිමේෂයකි. සුමිත් එදින රාත්‍රියේ දැන සිටියේ එපමණකි. ඔහු අවදි වූයේ පසුදා පාන්දර පහට පමණය. “මොකද මට වුණේ...” සුමිත්ට කියැවුණේ එපමණකි. ඔහුට දෙලෝ රත් විය. තමා සමඟ හෝටලයට පැමිණි අයේෂා අහල-පහල හෝ සිටීද යන්න ඔහු විපරම් කළේය. ඒ අතරේ සුමිත් ගෙල බැඳි වටිනා රන් මාලයද නොවීය. ඊට අමතරව ඔහු පැලඳ සිටි කරාබු යුගල සහ ඇපල් වර්ගයේ අධික මිලකින් යුත් ජංගම දුරකතනයද නොවීය. ක්ෂණයෙන් සුමිත්ට සියල්ල තේරුම් ගියේය. තමා වංචාකාර කාන්තාවකට හසුවූ බව ඔහුට තේරුම් ගියේය. ඒ වන විට සුමිත්ගේ පවුම් 15ක රන් මාලය ඇතුළු රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා භාණ්ඩ ඇය සොරකම් කරගෙන ගොස් හමාරය. ක්ෂණයෙන් සුමිත්ට සිහිපත් වූයේ මාතර මූලස්ථාන පොලිසියයි. සුමිත් විසින් මාතර මූලස්ථාන පොලිසියට ගොස් තමා මුහුණ දුන් අකරතැබ්බය පිළිබඳව පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කළේය. ඒ අනුව මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් ඒ පිළිබඳ විමර්ශන සිදු වෙද්දී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ද මාතර කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් මත එම විමර්ශනවලට එක් වූහ. 

ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විපුල ධම්මිකගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක නුවන් සංජීව ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශන සිදුකරන්නට විය. එහිදී පොලිස් නිලධාරින් මුලින්ම සුමිත් රැවටු කත සොයා ගැනීමට පුළුල් විමර්ශනයක් ඇරඹුවේය. ඒ වන විට එකී කත ආගිය අතක් නොමැති විය. අනතුරුව පොලිස් නිලධාරින් ඇය විසින් සුමිත්ව ඇමතූ දුරකතන අංකය හෙවත් සිම්පත ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළහ. එහිදී අනාවරණය වූයේ එම සිම්පත ලබා ගැනීමටද දී ඇත්තේ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක ඡායා පිටපතක් බවයි. එම ව්‍යාජ ජාතික හැඳුනුම්පත හිමි කත පොලිස් නිලධාරින් සොයා ගත්තේය. ඇය වලස්මුල්ලේ කාන්තාවකි. ඇයගෙන් පොලිස් නිලධාරිහු ප්‍රශ්න කළහ.

“අනේ... සර් මගේ පර්ස් එකයි අයිඩී එකයි අවුරුදු එකහමාරකට විතර කලින් නැතිවුණා... මං මේ ගැන මුකුත්ම දන්නෑ සර්...” පසුව පොලිස් නිලධාරින් එකී ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත්ම ලබා දී තවත් දුරකතන සිම්පත් ලබාගෙන තිබේ ද යන්න සොයා බැලීය. එහිදී අනාවරණය වූයේ සුමිත් රැවටීමට යොදාගත් සිම්පතට පෙරද එකී ජාතික හැඳුනුම්පත භාවිත කරමින් සිම්පතක් ලබාගෙන ඇති බවයි. අනතුරුව පොලිස් නිලධාරින් එම සිම්පත යොදා ඇති දුරකතනයේ ‘ඊමි‘ අංකය පරීක්ෂා කළේය. එහිදී මාතර, කැකණදුර කතක් පිළිබඳව අනාවරණය විය. එම කාන්තාව පිළිබඳව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් වැඩිදුර සොයා බලද්දී හෙළි වූයේ සුමිත් රවටමින් ලක්ෂ ගණනක දේපළ සොරකම් කර ඇත්තේ ඇය බවටයි. එම කත මාතර, කැකණදුර, මාකාවිට ගුවන් හමුදා සාමාජිකයකු හා විවාහ වී සිටින තැනැත්තියකි. මේ වන විට එම විවාහයෙන් ඇයගෙන් වෙන් වීමට එකී පුද්ගලයා දික්කසාද නඩුවක්ද ගොනුකර ඇත. ඇය මිද්දේනියේ කතකි. ඒ සියල්ල අනාවරණය කරගත්තත් පොලිස් නිලධාරින්ට ඒ වන විට ඇය සිටින නිශ්චිත ස්ථානයක් සොයා ගැනීමට නොහැකි විණි. එම නිසා පොලිසිය ඇය සිටින තැන සොයා නැවත දුරකතන විශ්ලේෂණ වාර්තා ද දුරකතන කුලුනු විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදු කෙරිණි. එහිදී ඇය මාතර, මිද්දෙනිය ප්‍රදේශයේ සිටින බවට හෙළි විණි. ඒ වන විට ඇය සුමිත් අමාරුවේ දැමීමට යොදාගත් සිම්පත විනාශ කොට එකී දුරකතනයට වෙනත් සිම්පතක් යොදා තිබිණි. මසක පමණ විමර්ශනයකින් පසු ඉකුත් දා ඇය මිද්දෙනියේ ඥාති නිවෙසක සැඟවී සිටියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින්ට කොටු විය.

“සර්... මං ඇත්ත කියන්නම්... මං ඔහුට වංචාවක් කළා... ගන්දර පැත්තේ මගේ යාළුවෙක් ඉන්නවා... එයා තමයි කිව්වේ... ‘කොරියන් ඉඳලා ආපු කොල්ලෙක් ඉන්නවා... ඌට සෑහෙන්න සල්ලි තියෙනවා... එකාට ගේමක් දෙමු... සල්ලි ටික දෙන්නත් එක්ක බාගේ බාගේ බෙදා ගමු...‘ කියලා. මේ වැඩේ සිද්ධ වුණේ එහෙමයි සර්...” ඇය කීවාය. ඇයට සුමිත් ගැන තොරතුරු පවසමින් මේ සොරකම සැලැසුම් කළ එම පුද්ගලයා සමඟ සැකකාරිය අනියම් ඇසුරක් පවත්වන බව පොලිසියට අනාවරණය විය. ඇය පිරිමින් අමාරුවේ දමන ජාවාරම්කාර කතක් බවට පොලිසිය සැක කරයි. අත්අඩංගුවට ගත් සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එම සොරකම සැලැසුම් කළ ඇගේ ගන්දර අනියම් සැමියාද මාතර මූලස්ථාන පොලිසියට බාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

විමර්ශන මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විපුල ධම්මිකගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක නුවන් සංජීව ඇතුළු උපපොලිස් පරීක්ෂක මිහිරංග, කොස්තාපල්වරුන් වන 52590 සමන්ත, 72701 ධනුෂ්ක, 84716 රුක්මන්, 34912 මධුෂාන්, 8075 සොයිසා සහ කාන්තා කොස්තාපල් 11610 ඩයනා යන නිලධාරිහු සිදු කළහ.

Comments