ඇයි! අම්මේ මා දුන්නේ හුණුපිටියේ නැන්දාට | සිළුමිණ

ඇයි! අම්මේ මා දුන්නේ හුණුපිටියේ නැන්දාට

 

මවුපිය සෙනෙහස අහිමි වීම නිසා පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇතිවී වසර හතරක් තිස්සේ කැලණිය, හුණුපිටිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ වධ හිංසාවලට ලක් කරමින් ළමා මෙ‍හෙකාර සේවයේ යොදවා සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙක් කොළඹ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සහ පෑලියගොඩ පොලිසියේ නිලධාරින්ගේ මැදිහත් වීමෙන් ගලවාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ සිදු වීමක් පසුගිය ඔක්තෝබර් මස 21 වන දින වාර්තා විය.‍

මේ ළමයාගේ පියා දරුවා බිහි වීමට පෙර බිරිය අත්හැර වෙනත් විවාහයක් කරගෙන ඇත. ඒ වනවිට එම දරුවාගේ මව වන 36 හැවිරිදි කාන්තාව 06 කණුව, නුවර පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර ඇය ද ඉන්පසු දෙවැනි විවාහයක් කර ගෙන ඇත. එහිදී මේ ළමයාගේ මවගේ දෙවැනි විවාහයේ සැමියා ළමයා තම රැකවරණයේ තබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි එම දරුවාගේ වයෝවෘද්ධ මිත්තනිය භාරයට පත් කර ඇත. අනතුරුව ඇය කැලණිය, හුණුපිටිය, දිප්පිටිගොඩ නිවෙසක අයට ළමයා බාරදී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. මේ වන විට මේ ළමයාගේ නීත්‍යනුකූල මවුපියන් නීතියෙන් වෙන්වී සිටින අතර පියා දරුවාගේ වියදම සඳහා මාසිකව රුපියල් 4500ක නඩත්තු මුදලක් ගෙවන බවද හෙළිවී ඇත.

එහිදී ළමයාගේ පියා මාසිකව ගෙවනු ලැබූ නඩත්තු මුදල ගෙවීම පැහැර හැරීම නිසා මිත්තනියට මෙම දරුවා රැක බලා ගැනීමට දුෂ්කර වූ නිසා එම දරුවගේ මව දැනුම්වත්ව කැලණිය, හුණුපිටිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි යුවළකට ළමයා හදා වඩා ගැනීමට බාරදී ඇත.

මේ ළමයා එම යුවළට හදා වඩා ගැනීමට දෙන විට වයස 11ක් වන අතර මේ වන විට එම නි‍ෙවසේ වසර 4ක පමණ කාලයක සිට ඔහු ළමා මෙහෙකාර සේවයේ නිරතව සිට ඇති බව හෙළිවී තිබේ. ඒ අනුව එම නි‍ෙවසේ හිමිකාර යුවළ දරුවා කැලණිය, දළුගම ශාන්ත ප්‍රැන්සිස් විද්‍යාලයට ඇතුළත් කර තිබේ.

පසුගිය කාලයේ දින කිහිපයක්ම මේ ළමයා පාසලට පැමිණ නොමැති අතර ඒ පිළිබඳව ළමයාගේ පන්ති භාර ගුරුතුමිය ඔහුගෙන් විමසා ඇත. එහිදී දරුවාගේ මුහුණේ, කම්මුල, නාසයේ සහ ශරීරයේ තුවාල කැලැල් කීපයක් ගුරුවරියගේ ඇස ගැටී ඇත. පන්ති භාර ගුරුතුමිය මේ ළමයාගෙන් ඒ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ තමන් නාන කාමරයේ වැටුණු බවකි. එහෙත් මේ පිළිබඳව සැක සිතූ පන්ති බාර ගුරුතුමිය මේ ගැන ළමයාගෙන් ඉතා සුහදශීලි ලෙස විමසා ඇත.

එහිදී මේ ළමයා පවසා ඇත්තේ වසර 4ක් තිස්සේ එම නි‍ෙවසේදි සිදු වූ පහරදීම් ඇතුළු වධහිංසාවලට ගොදුරු වූ බවයි. එම අදාළ විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී. ක්වින්ටස් පෝල් මේ ගැන කොළඹ ජාතික ළමාරක්ෂක අධිකාරියට ලබා දුන් දුරකතන ඇමතුමක් මත සිද්ධිය සම්බන්ධව මූලික විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව කොළඹ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් සහ පෑලියගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් එම විදුහලට පැමිණ මේ ගැන විමසා ඇති අතර එහිදී ළමයා සැකකාර යුවළ තමන්ට කළ හිරිහැර පිළිබඳව සම්පූර්ණ තොරතුරු එම නිලධාරින්ට පවසා ඇත.

ඒ අනුව එම නි‍ෙවසේ හිමිකාර කාන්තාව මේ ළමයාට දිගින් දිගටම නිකරුණේ පහර දෙන බව හෙළි වී ඇති අතර එම නිවසේ රෙදි සේදීමටත් නි‍ෙවස අතුපතු ගෑම සහ නි‍ෙවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසලට යාම, නි‍ෙවසේ හැලි වළං සේදීම මේ ළමයාම තනිවම සිදු කර ඇත. මීට අමතරව එම සැකකාර යුවළ එම වැඩ නිසි පරිදි සිදු නොකළ බවට චෝදනා කරමින් එස්ලෝන් බටවලින් මේ ළමයාට පහරදී ඇති බව ද විමර්ශනවලදී හෙළිවී ඇත. මේ සිද්ධිය වූ දින සැකකාර කාන්තාව කිසියම් ඇඳුමක් සොයා දෙන ලෙස පැවසූවත් එම ඇඳුම සොයා නුදුන් නිසා ඇය මේ ළමයාගේ සිරුර නිල් පැහැ ගැන්වෙන තෙක් පහරදී ඇති බවද හෙළි විය. මේ වන විට මේ ළමයාගේ මුළු සිරුරම තුවාල වී නිල්පැහැ ගැන්වී ඇති අයුරු පොලිසිය සහ ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින්ට දැකගත හැකි විය.

මීට අමතරව මේ සැකාකර යුවළ මේ ළමයා අධ්‍යාපන කටයුතු සඳහා පාසලට යැවීමට අකමැත්තක් දක්වා ඇති අතර ළමයාගේ පොත්වල සටහන් පවා ඉරා දමා ඇති බව ද විමර්ශනවලදී හෙළි විය. මේ නි‍ෙවසේ වාසය කරන සැමියා බටලන්ද යුද හමුදා කඳවුරට කෑම පාර්සල් ලබා දෙන අතර එම කෑම පාර්සල් බැඳීම සඳහා ද මේ ළමයා යොදාගෙන ඇති බව ද එහිදී හෙළි විය.

මෙම සිද්ධිය වූ දින එම සැකකාර කාන්තාව මේ ළමයාට පහර දීම නිසා ඔහුගේ සිරුරේ ස්ථාන කීපයක් තුවාල වී ඇති අතර දින තුනක් යන තෙක් ළමයාට පාසල වෙත යාමට ඉඩදී නොමැති බවද එහිදී හෙළි විය.

තුවාල ලැබූ ළමයා නි‍ෙවසේ හිමිකාර කාන්තාවට සහ ඇගේ සැමියාට දැඩි ලෙස බියක් දක්වන අතර 'අනේ සර් නැන්දාගෙන් මාව බේරගන්න' යැයි නිලධාරින් හමුවේ හඬා වැටී ඇත. මේ සිද්ධිය සම්බන්ධව ළමයාගේ මවට පාසලට පැමිණෙන ලෙස විදුහල්පතිවරයා දැනුම් දී තිබේ. එහිදී විදුහල්පතිවරයා මවගෙන් ඉල්ලා ඇත්තේ ළමයාගේ නීත්‍යනුකූල බාරකාරත්වය ලබා ගෙන ළමයා රැකබලා ගන්නා ලෙසය. එහෙත් මේ ළමයාගේ මව දරුවාව තම භාරයට ගෙන රැක බලා ගැනීමට අකමැති වීම නිසා මේ පිළිබඳව කොළඹ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමට තීරණය කර තිබේ. මෙම දරුවා ළමා මෙහෙකාර සේවයේ යොදාගත් සැකකාර යුවළ මෙම දරුවාට වධ හිංසා කිරීම පිළිබඳව ද මෙම දරුවාගේ මව දැන සිට ඇත. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළට වයස අවුරුදු 19 සහ 23 වියැති දියණියන් දෙදෙනකු සිටින අතර ඔවුන්ගේ වැඩකටයුතු පවා මෙම ළමයා ලවා සිදු කරගෙන ඇති බවට හෙළි වී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ කැලණිය, හුණුපිටිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර වයස අවුරුදු 40 සහ 43 හැවිරිදි අඹුසැමි යුවළ සහ දරුවාගේ මව වන 06 කණුව, නුවර පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ අංක 05 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප බැගින් වෙන වෙනම නියම කර මුදා හැර ඇත.

පෑලියගොඩ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. කළුවිතාරණගේ උපදෙස් මත එහි කාන්තා සහ ළමා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා තමරා දුෂාන්ති ද සිල්වා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරිනි ඇතුළු පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති. ්‍

 

Comments