
රටේ විවිධ ප්‍රදේශවල සිදුවන සොරකම්, කොල්ලකෑම් ඇතුළු අපරාධවල වැඩි වීමක් පෙනෙන්නට ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ද පසුගියදා සඳහන් කළේ ගිය වසරේ මුදල් ඇතුළු දේපළ සොරකම් කිරීම් 17317ක් වාර්තා වෙද්දී මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වන විට මුදල් සහ දේපළ සොරකම් කිරීමේ සිදුවීම් 15606ක් පොලිසියට වාර්තා වී ඇති බවයි.
එසේම බස්, වෑන්, ලොරි, ත්‍රිරෝද රථ, යතුරුපැදි, කාර් සහ වෙනත් වාහන සොරකම් ගිය වසරේ 1405ක් සිදු වෙද්දී මේ වසරේ සැප්තැම්බර් 30 වන විට වාහන සොරකම්ද 1406ක් පොලිසියට වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පසුගිය දා මාතර නගරයේදී රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ යතුරුපැදි සොරකමක් සිදු විය. සොරකම සිදුවී දින 8කදී එම සොරකම සිදුකළ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් මාතර අපරාධ විමර්ශන අංශ නිලධාරින්ට හැකි වීම සුවිශේෂිය. මෑත කාලයේ මාතර නගරයේ සිදුවූ විශාලතම සොරකම වන ලෙස සැලැකෙන රුපියල් ලක්ෂ 28කට අධික මුදල් කන්දරාවක් සහ ලක්ෂ දෙකක් පමණ වටිනා මෝටර් බයිසිකලයක් සොරකම් කළ එම සැකකරුවන් දෙදෙනා කොටුකර ගත් මෙහෙයුම මාතර මූලස්ථාන පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.
ගමගේ චන්ද්‍රසිරි මාතර, වල්ගම පදිංචිකරුවෙකි. ව්‍යාපාර කටයුතුවල නිරත ඔහු ඉකුත් දිනෙක සිය වෑන් රථය රුපියල් ලක්ෂ 90කට විකුණා දැමුවේය. වෑන් රථය විකුණන ලද මුදල් පෞද්ගලික මූල්‍ය ආයතන කීපයක ඔහු තැන්පත් කළේය. පසුව චන්ද්‍රසිරි තීන්දු කළේ එම මුදල් රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමටයි. ඉන් අනතුරුව ඔහු පෞද්ගලික මූල්‍ය ආයතන දෙකක තැන්පත් කර තිබූ රුපියල් රුපියල් විසිඅට ලක්ෂ හතළිස් හතර දහසක මුදල රැගෙන බීඒඩී - 2847 දරන ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පැමිණියේ මාතර දුම්රිය පොළ මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙතටය. ඒ එහි තැන්පත් කර තිබූ මුදල්ද රැගෙන යාමටයි.
චන්ද්‍රසිරි එම මූල්‍ය ආයතනය ඇතුළට ගියේ යතුරුපැදියේ යතුර, බයිසිකලයේම තිබියදී මෙන්ම රුපියල් විසිඅට ලක්ෂ හතළිස් හතර දහසක මුදලද ස්කූටියේ බහාලුමේ තිබියදීය. එලෙස ඔහු යතුර, යතුරුපැදියේ තබා ගොස් තිබුණේ අතපසු වීමකිනි. චන්ද්‍රසිරි මූල්‍ය ආයතනය ඇතුළේ පැයක පමණ කාලයක් ගත කළේය. ඔහු සවස 2.05 පමණ වෙද්දී එම මූල්‍ය ආයතනයෙන් එළියට ආවේ පිටව යාමටයි. එළියට පැමිණි චන්ද්‍රසිරි ‘ගල් ගැසුණේ‘ තමන් පැමිණි යතුරුපැදිය ගාල් කර තිබූ තැන නොමැති බව දුටු හෙයිනි. ඔහු අවට විපරම් කර බැලුවේය. දන්න කියන අයට ද ඇමැතුම් ගෙන විමසුවේ කිසියම් අයකු විහිළුවට හෝ යතුරුපැදිය රැගෙන ගියා ද යන්න විමසමිනි.
අනතුරුව ඔහු රුපියල් විසිඅට ලක්ෂ හතළිස් හතර දහසක මුදලත් සමඟ SP BAD – 2847 අංක දරන රුපියල් දෙලක්ෂයක් පමණ වටිනා තම යතුරුපැදිය දුම්රිය පොළ මාර්ගයේ පෞද්ගලික බැංකුව ඉදිරිපිටදී අතුරුදන් බව සඳහන් කරමින් මාතර මූලස්ථාන පොලිසියට පැමිණිලි කළේය. එම පැමිණිල්ල පිළිබඳව මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ දැඩි අවධානය යොමු විය.
ඒ අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම සිද්ධිය පිළිබඳව ප්‍රදේශය බාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධරයන්ට දැනුම් දෙන්නේ ද ඒ මොහොතේදීමය. ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ගේද උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි එහි විමර්ශන මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ඒ දිනවල වැඩ බලන ස්ථානාධිපති ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක අනිල් කුමාර ඇතුළු නිලධාරින්ට පැවැරුවේ සොරුන් හැකි ඉක්මනින් නීතියේ රැහැනට කොටු කරගන්නා ලෙස උපදෙස් දෙමිනි.
ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ සැරයන් 45635 රංජිත් සහ කොස්තාපල් 97358 වනිගසිංහ එහි මූලික විමර්ශන ආරම්භ කළේ යතුරුපැදිය අස්ථානගත වූ පෞද්ගලික මූල්‍ය ආයතනයේ සීසීටීවී සහ අවට සීසීටීවී කැමරා දර්ශනද නරඹමිනි.
“අපි සීසීටීවී බලද්දී එදා සවස 2.03ට මාතර ටවුන් එක පැත්තේ ඉඳලා දුම්රිය පොළ පාරේ පයින් දෙන්නෙක් එනවා පෙනුණා. එක්කෙනෙක් බයික් එක නවත්තලා තිබුණ බැංකුවට ඇවිත් බොරුවට ඒටීඑම් එකට කාඩ් එකක් දානවා වගේ රඟපානවා. ඒත් එක්කම ඒටීඑම් එකේ ඉන්න කෙනා අනිත් කෙනාට කියනවා බයික් එක අරගෙන යන්න කියලා...“ සැරයන් රංජිත් සඳහන් කළේ විමර්ශන ආරම්භ කළ අයුරු පවසමිනි. එම සියලු දසුන් මූල්‍ය ආයතනයේ සීසීටීවී කැමරාවන්හි සටහන් වී තිබිණි. යතුරුපැදිය ගත් තැනැත්තා මුලින් ගාලු පාරේ ගමන් කිරීමට සූදානම් වුවත් පසුව ඔහු යතුරුපැදියෙන් දුම්රිය පොළ මාර්ගය ඔස්සේ ගොස් එතැනින් වල්පොළ දෙසට ගමන්කර පිලදුව5 වන හරස් මාර්ගයෙන් වේරගම්පිටට ගොස් අතුරු මාර්ග ඔස්සේ තුඩාව ජල පවිත්‍රාගාරය පසුකොට නාදුගලට යන ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වී තිබිණි.
තුඩාව ජල පවිත්‍රාගාරය අසල යතුරුපැදිය නතර කොට තිබියදී පොලිසිය එදිනම යතුරුපැදිය සොයා ගත්තේය. ඒ යතුරුපැදියක් එම ස්ථානයේ දමා ගොස් ඇති බවට පුද්ගලයකු කළ දැනුම් දීම මතයි. එහෙත් යතුරුපැදියේ බහාලුම තුළ තිබූ රුපියල් විසිනව ලක්ෂයක මුදල් එහි නොතිබිණි.
අනතුරුව යතුරුපැදියේ පැමිණි පුද්ගලයා සහ සෙසු පුද්ගලයා නාදුගල, තිහගෙඩ, පසුකොට වැල්ලතොට දක්වා ත්‍රිරෝද රථවල සහ විවිධ ආකාරයෙන් ගමන් ගන්නා ආකාරය සීසීටීවී කැමරා මඟින් පොලිසිය අනාවරණය කරගත්තේය. ඉන් පසුව දෙදෙනා ආගිය අතක් නොවීය.
විමර්ශන නිලධාරින් පැමිණිලිකරු ද සමඟ අවට සීසීටීවී නරඹමින් ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් විමසමින් දින හතක් පුරා එම ප්‍රදේශවල සැරිසරමින් විමර්ශන සිදු කළත් සැක දෙදෙනා ගැන කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
එම නිසා විමර්ශනවලට එක්ව සිටි සැරයන් රංජිත් යෝජනා කළේ සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය සොරාගෙන යාමට මූල්‍ය ආයතනය දක්වා පැමිණෙන ආකාරය සීසීටීවී කැමරා පරීක්ෂා කරමින් සොයා බැලීම දෙදෙනා ගැන හෝඩුවාවක් සොයා ගැනීමට උපකාරයක් වේයැයි පවසමිනි. එහිදී මාතර නගරයේ ගාලු පාරේ ‘අඹ සෙවණ‘ නමැති ස්ථානයේ සීසීටීවී කැමරාවක සැකකරුවන් දෙදෙනා බැංකුව දෙසට එන ආකාරය සටහන් වී තිබිණි.
“ඒ කැමරාවල සටහන් වෙලා තිබුණා ඒ පුද්ගලයන් දෙන්නා වයසක කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු සමඟ කතාබහ කරමින් ඉන්න ආකාරය. ඒත් එක්කම වයසක කාන්තාව එක් සැකකරුවකුට රුපියල් පන්දාහක් දෙන ආකාරයත් එහි දිස් වෙනවා. ඒකෙන් අපිට තේරුණා ඒ වයසක කාන්තාව එක්කෝ සැකකරුවකුගේ ළඟම ඥාතියෙක් නැත්නම් මව විය යුතුයි කියා. ඒත් එක්කම මේ පිරිස අඹ සෙවණ අවන්හලට තේ පානය සඳහා යන ආකාරයක්ද දිස්වුණා. පස්සේ තේ බීලා තරුණ පිරිමි දෙන්නා යන ආකාරයක්ද පෙන්නුම් කෙරුණා...“ විමර්ශන සිදුකළ උසස් පොලිස් නිලධාරියෙක් සැකකරුවන් දෙදෙනා සොයා සිදුකළ විමර්ශන ගැන එසේ හෙළි කෙළේය.
අනතුරුව පොලිස් නිලධාරින් සීසීටීවී කැමරාවේ සටහන් වූ පිරිසේ ඡායාරූප ලබා ගත්තේ වැඩිදුර විමර්ශන සඳහාය. එම ඡායාරූප විමර්ශනවලට එක්වූ සැරයන් රංජිත් සිය පෞද්ගලික ඔත්තුකරුවකුට පෙන්වූයේ මේ පුද්ගලයන් ගැන හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණිනි. එම තොරතුරුකරුවා සාර්ථක හෝඩුවාවක් රැගෙන ආවේ ඉන් අනතුරුවය.
“සර්... මේ අහවලානේ... මෙයාලා තිහගොඩ, කිතලගම පදිංචි අය. මේ වයසක ගෑනු කෙනාගේ නම ඉන්ද්‍රාණි...“ ඔත්තුකරු සැරයන්ට කීවේය.
ඔහු දුන් තොරතුර විමර්ශන නිලධාරින් විසින් මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිද දැනුවත් කරන්නේ ඒ මොහොතේමය. අනතුරුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේද උපදෙස් මත විමර්ශන නිලධාරින් කණ්ඩායමක් සැණින් ඉන්ද්‍රාණිගේ නිවෙස සොයා කිතලගමට ගියහ. ඒ වන විට ඡායාරූපවල සිටි වයසක යුවළ නිවෙසේ සිටියෝය. පොලිස් නිලධාරින් රැගෙන ගිය තරුණ දෙදෙනාගේ ඡායාරූපයක්ද එම යුවළට පෙන්වීය.
“සර්... මේ එක්කෙනෙක් අපේ පුතා තමයි... අනිත් කෙනානම් අඳුරන්නේ නෑ... ඒ පුතාගේ යාළුවෙක් වෙන්න ඕන... හැබැයි සර් පුතා පදිංචි අපේ ගෙදර නෙවේ... තෙලිජ්ජවිල, අලස්වත්ත, කිරිමැටිමුල්ලේ...“ යුවළ පොලිස් නිලධාරින්ට පැවැසූහ.
එම තොරතුර අනුව පොලිස් නිලධාරින් ක්ෂණයෙන් අදාළ නිවෙස සොයා ගියහ. එම නිවෙසේ කාන්තාාවක සමඟ කුඩා දරුවන් තිදෙනෙක් සිටියෝය. පොලිස් නිලධාරින් ඡායාරූපයේ සිටි තැනැත්තා කාන්තාවට පෙන්වමින් ‘ඔහු හඳුනනවා‘දැයි විමසීය.
“ඔව් සර්... මේ එක්කෙනෙක් මගේ මහත්තයා... එයා පහුගිය 15 වැනිදා ගෙදර ඇවිත් ගියාට පස්සේ ආවේ නෑ...“ ඇය කීවාය. පොලිස් නිලධාරින් දරුවන්ගෙන් ද පියා ගැන විමසද්දී දරුවෝ නොයෙක් දේ පැවැසූහ. අනතුරුව පොලිස් නිලධාරින් එදින රාත්‍රිය පුරා එම නිවෙස අවට රැකවලේ සිටියේ සැකකරු කිසියම් හෝ මොහෙතක නිවෙසට පැමිණේවියැයි සැකයෙනි.
පසුදා එනම් 26 වැනිදාට උදා විය. පොලිස් නිලධාරින්ගේ සැකය සක්සුදක් සේ තහවුරු වෙමින් එදින පෙරවරු 10.30 පමණ වෙද්දී සැකකරු නිවෙසට පැමිණියේය. එසැණින් සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනිණි. ඔහු 32 හැවිරිදි දුලිප් මධුරංගය. වසර 5ක පමණ කාලයක් යුද හමුදාවේ සේවය කර ඇති මධුරංග අනුරාධපුරයේදී රන් මාලයක් කඩා ගැනීමෙන් පසු යුද හමුදාවෙන් පලා ගියේය. අනතුරුව ඔහු 2015 වසරේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් විය. පසුව කුලී වැඩ, මේසන් වැඩ කරමින් ජීවිකාව ගෙන ගියේය. පොලිසිය මධුරංගගෙන් රුපියල් ලක්ෂ 29 මුදල් සොරකම ගැන ප්‍රශ්න කළේ ඉන් අනතුරුවය.
“සර්... රුපියල් ලක්ෂ 10ක් මගේ ළඟ තියෙනවා... ඒක් මම පොල්හේනෙ වෙරළේ ගල් පරයක් යට හැංගුවා...“ මධුරංග කීවේය. එම තොරතුර අනුව එම මුදල් සොයා ගැනීමෙන් පසු ඔහු සමඟ සොරකමට එක්වූ සෙසු සැකකරු ගැනත් ප්‍රශ්න කළේය. “එයා මගේ යාළුවෙක්... නම කමල්... පදිංචි වෙලා ඉන්නේ ජාඇළ... සර් ඒකා ගාව ඉතුරු සල්ලි ටික තියෙනවා...“ මධුරංග සිය මිතුරා පාවා දුන්නේ පොලිසියෙන් ගැලවීමක් නොමැති වග තේරුම් ගිය නිසාය.
අනතුරුව පොලිස් නිලධාරින් එදින එනම් මධුරංග අත්අඩංගුවට ගත් 26 වැනිදා රාත්‍රියේම මාතර සිට ජාඇළ බලා පිටත් වූයේය. එම සැකකරුද ජාඇළදී අත්අඩංගුවට ගැනිණි. ඔහු 43 හැවිරිදි කමල් ලක්ෂ්මන් ද සිල්වා නමැත්තෙකි. කුලී නිවෙසක සිටින කමල් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු ‘බ්‍රෝකර්‘ කෙනෙකි. ජාඇළ නිවෙසේ සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේ සොරකම් කළ මුදල්වලින් රුපියල් දොළොස් ලක්ෂ තිස් දහසක මුදල් ප්‍රමාණයක්ද සමඟිනි. ඒ අනුව පොලිසිය සොරකම සිදු වී දින 8කට පසුව සොරකම් කළ මුදලින් විසිදෙලක්ෂ හැත්තෑහතර දහසක මුදලක් සොයා ගනිද්දී ඉතිරි මුදල් ප්‍රමාණයෙන් දෙදෙනා කැසිනෝ සූදුවේදී යෙදී ඇති බව හෙළිදරව් කෙරිණි.
ජාඇළ සහ මාතර පදිංචිකරුවන් වන මේ දෙදෙනා දැනහඳුනාගෙන තිබුණේ මධුරංග රන් මාලයක් සොරකම් කිරීමේ වරදට වවුනියාව බන්ධනාගාරයේ සිටියදීය. කමල් ලක්ෂ්මන් ද කිසියම් වරදකට එම බන්ධනාගාරයේ කල් ගත කර ඇත. ඒ ඔස්සේ දෙදෙනා අතර මිතුදමක් ගොඩනැඟි තිබිණි. පොලිස් නිලධාරින් මෙකී සොරකම දෙදෙනා විසින් සිදුකළ ආකාරයද ප්‍රශ්න කෙරිණි. එහිදී හෙළි වන්නේ මෙවැන්නකි.
මධුරංග ඉකුත් 15 වැනිදා අලස්වත්තේ නිවෙසේ ගතකර ඇත. එදින කතෝලිකයකු වන කමල්ගෙන් මධුරංගට දුරකථන ඇමැතුමක් ලැබිණි. “මධුරංග මම 18 වැනිදා මාතර වෙරළ පාරේ පල්ලියට එනවා පූජාවකට... උඹත් වරෙන්... වැඩක් නැත්නම් මාත් එක්ක එහෙමම කොළඹ යමං...“ කමල් කීවේය.
18 වැනිදා උදා විය. මධුරංගට කොළඹ යාමට මුදල් නොමැත. ඔහු කොළඹ යාමට සිය මවගෙන් මුදලක් ඉල්ලීය. “අනේ පුතේ මගේ අතේ සල්ලි නෑ... මං උඹට මාතර ගිහින් බැංකුවෙන් සල්ලි අරන් දෙන්නම්...“ යැයි මව කීවාය.
ඒ අනුව 18 වැනිදා මධුරංග මාතර පැමිණ කමල් සමඟ පල්ලියට ගොස් පූජාවටද එක් විය. අනතුරුව දෙදෙනා දුම්රියෙන් කොළඹ යාමට මාතර දුම්රිය පොළට ගමන් කළහ. ඒ යන අතරමඟදී මධුරංගගේ මව සහ පියා හමු වූයේ මාතර - ගාලු පාරේ ‘අඹ සෙවණ‘ අසලදියි. මාපියන් මධුරංගට සහ කමල්ට අසල හෝටලයෙන් තේපැන් අරන් දුන්නේය. පසුව මව රුපියල් පන්දහසක නෝට්ටුවක් මධුරංග අතට දෙන්නේ කොළඹ යන ගමනේ මඟ වියදම් ලෙසය.
පසුව මව සහ පියා මධුරංග සහ කමල්ගෙන් වෙන්ව ගිය අතර දෙමිතුරෝ දුම්රිය පොළට යාමට පිටත් වූහ. ඒ සියලු දේ අසල සීසීටීවී කැමරාවේ සටහන් වී තිබිණි. මධුරංග සහ කමල් දුම්රිය පොළ මාර්ගයේ ගමන් කරද්දී එම මාර්ගයේ පෞද්ගලික බැංකුවේ අසල යතුරුපැදියක් එහි යතුර සමඟම නතර කර තිබූ ආකාරය දෙදෙනා දකින්නේ ඒ යන අතරතුරදීය.
හිමින් සීරුවේ යතුරුපැදිය අසලට ළංවූ මධුරංග එම යතුරුපැදියේ නැඟි පලා ගියේ හිස් ආවරණයක්ද නොමැතිවය. යතුරුපැදිය එදින සවස 2.03ට ඔහු රැගෙන පලා යන ආකාරය බැංකුවේ සීසීටීවී කැමරාවන්හිද සටහන් විය. ඒ අතරේ කමල් දුම්රිය පොළට ගියේය. අතුරු මාර්ග ඔස්සේ යතුරුපැදිය රැගෙන මධුරංග මාතර, නාදුගල ජල පවිත්‍රාගාරය දක්වා ගියේය. එම ස්ථානයේදී යතුරුපැදියේ ආදායම් බලපත්‍ර සෙයා බලන්නට වූයේ ස්කූටි වර්ගයේ යතුරුපැදියේ සීටය යට කැබියද අදිමිනි. එසැණින් මධුරංග දුටු දෙයින් දෙනෙත් ඉහළ එසැවුණේ නිරායාසයෙනි.
“දෙයියනේ සල්ලි තොගයක්නේ...“ ඒසා මුදල් කන්දරාවක් දුටු මධුරංග තුෂ්ණිම්භුතව බලා සිටියේ අදහාගත නොහැකිවාක් මෙනි. සැණින් මධුරංග දුරකතන ඇමැතුමක් ගත්තේ දුම්රිය පොළට ගිය කමල්ටය.
“කමල් අයියේ බයිසිකලේ ‘බක්කිය‘ ඇතුළේ සල්ලි ගොඩක් තියෙනවා... මොකද කරන්නෙ...?“
“උඹ ඉක්මනට බයික් එක ඔතන දාලා බස් එකක නැඟපන්...“ කමල් කීවේය.
“හරි මම බස් එකක නැගලා නාදුගල, වේල්ල ගාවට යන්නම්... ඔයා එතැනට එන්න... ත්‍රිවිල් එකක නැගලා... ත්‍රිවිල්කාරයකුට කිව්වම එතනට එක්කගෙන ඒවි...“
කමල්ද දුරකතන ඇමැතුම ලද සැණින් කොළඹ යාම පසෙක දමා ත්‍රිරෝද රථයක නැඟි මධුරංග කී ස්ථානය සොයා ගියේය. එහිදී දෙදෙනා මුණ ගැසී පා ගමනින් තුඩාවට ගියේය. පසුව නාදුගල පාසල අසලදී ත්‍රිරෝද රථයකට ගොඩ වූහ. ඔවුහු එම ත්‍රිරෝද රථයෙන් වැල්ලතොටට ගියෝය. ඒ යන ස්ථානයන්හි සීසීටීවී කැමරාවන්හි දෙදෙනාගේ රුව සටහන් වී තිබී පොලිසිය සොයා ගත්තේය.
“අපි එතැනට යනකල් තමුන්ලා දෙන්නා ගැන සොයා ගත්තා... ඊට පස්සෙ කොහාටද ගියේ... කියනවා බලන්න...“ පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කළේය.
“පස්සෙ අපි දෙන්නා ත්‍රිවිල් එකක නැඟලා කද්දුවට ගියා... එතැනින් තවත් ත්‍රිවිල් එකකින් අකුරැස්සට ගියා... අකුරැස්සෙන් දෙනියායට ගියා...“ සොරකම සිදුකළ 18 දා දෙනියායේ හෝටලයක ගත කළ දෙදෙනා පසුදා රත්නපුරටත් එතැනින් මීගමුවටත් ගොස් දින තුනක් මීගමුවේ හෝටල්හි ගත කර ඇත.
අනතුරුව කමල්ගේ නිවෙසට ගිය දෙදෙනා එම නිවෙසේ ඉඩකඩ මඳ හෙයින් මධුරංග සහ කමල් රුපියල් අටදහසකට වෙනම කාමරයක් කුලියට ගෙන ඇත. මධුරංග කමල්ගේ පවුලේ උදවියට පවසා ඇත්තේ මේසන් වැඩ සඳහා පැමිණි බවකි.
අනතුරුව මධුරංග නැවත මාතර පැමිණියේය. දෙදෙනා බෙදාගත් මුදල් ප්‍රමාණයෙන් මධුරංගගේ කොටස පොල්හේන වෙරළ තීරයේ ගල් පරයක් යට හංගා ඔහු නිවෙසට පැමිණියේය. නිවෙසට පැමිණි සැණින් මධුරංග පොලිසියට කොටු වූයේ පොලිස් ඇසට වැලි ගසා කිසිවක් කළ නොහැකි බව පසක් කරමිනි.
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, මාතර තංගල්ල දිසා බාර නියෝජ්‍ය පෙලිස්පති මහේෂ් සේනාරත්න සහ මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් මත මාතර කොට්ඨාස 3 බාර පොලිස් අධිකාරි අයි.ජී. චන්ද්‍ර සේනගේ අධීක්ෂණයෙන් මාතර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් මාතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ, පොලිස් පරීක්ෂක අනිල් කුමාර, උපපොලිස් පරීක්ෂක දිලිප්, සැරයන් 45635 රංජිත්, කොස්තාපල්වරුන් වන 97358 වනිගසිංහ, 30671 සුලක්ෂණ සහ 99150 වීරසිරි යන නිලධාරිහු සිදු කළහ.
ඡායාරූප - ජයසිරි පේදුරුආරච්චි
- ගන්දර සමූහ