
මහජනතාවට ආරක්ෂාව සැපයීමට රැයක් දවාලක් නොමැතිව සැදි පැහැදී බලා සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ නිල දරුවන් බොහෝ අවස්ථාවල කටයුතු කරන්නේ තමන්ගේ දිවි පරදුවට තබාය. ඒ අපරාධ මර්දනයේ භාරදූර කාර්යභාරය ඔවුන් මත පැටවී ඇති නිසාය.
යම් අත් වැරදීම් සමහර නිලදරුවන් අතින් සිදු වුවද බහුතරයක් කටයුතු කරන්නේ රාජකාරිය සිය දේවකාරිය ලෙස සලකාගෙන යැයි පැවසීම මුසාවක් නොවන බව පැහැදිලිය. එවන් වීර වික්‍රමාන්විත ක්‍රියාවක් සිදු කළ පොලිස් නිල දරුවන් දෙදෙනෙකු ඇගයීමකට ලක් කර උපහාර පිදීමේ අවස්ථාවක් පසුගිය දා වාර්තා වූවේ පාණදුර දකුණ පොලිස් ස්ථානයෙනි. ඒ අන් කවරෙකුවත් නොව පාණදුර දකුණ පොලිසියේ රාජකාරියේ නිරත
පොලිස් කොස්තාපල්වරුන් වන 72555 විදානගම සහ 103484 සුබෝධය.
මත්කුඩු සම්බන්ධයෙන් ඇතිවන ගැටලු විවිධාකාරය. මේවා කෙළවර වන්නේ ඇන කොටාගෙන හෝ මිනී මරාගෙන බව දිනෙන් දින වාර්තා වන සිදුවීම්වලින් පැහැදිලි වන කරුණකි. මේ කියන සිද්ධිය පාදක වන්නේද එවැනි මත්ද්‍රව්‍ය ගැටලුවක් මුල් කරගෙනය. පසුගිය දා කළුතර ප්‍රදේශයේ පදිංචි 'කුඩු කල්ලි' දෙකක් අතර ගැටුමක් ඇති වී තිබුණේ ඒ අනුවය. එක් පාර්ශ්වයක පුද්ගලයකු ප්‍රතිවාදි පිලේ තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත් කර තිබුණේ ගැටුම උච්ඡ අවස්ථාවට ළඟාවීමේ ප්‍රතිඵල ඉතා භයානක බව පෙන්වා දෙමිනි. ඊළඟ හෝරාවේ සිදු වූයේ තරුණයා රෝහලටත් ප්‍රහාරකයා පලා යාමටත් කටයුතු කිරීමය. එහෙත් තුවාලකරුවන්ගේ පාර්ශ්වය මෙම සිද්ධිය අමතක කර දැමීමට සූදානම් වූයේ නැත. ඔවුන් මෙම පහර දීමට එකට එක කිරීමට විශාල සැලසුමක් දියත් කළේ පලිගැනීම මනදොළ සපුරාලන ක්‍රියාවක් බව සලකාගෙනය.
“මල්ලිට හොඳටම අමාරුයි. මං ඕකුන්ගෙන් ඔය පලිය ගන්නවා ගන්නවාමයි...“
තුවාලකරුගේ සහෝදරයා ගුගුරන්නට වුයේ ඔහුගේ මිතුරු කැලද වටකරගෙනය.
“ඔව්... ඔව්... ගේමට ගේමක්ම දෙන්න වෙනවා... අදම බහිමු වැඩේට...“
මිතුරන්ගෙන්ද ඔහුට ලැබුණේ විශාල සහයෝගයකි. මේ සඳහා ඔවුන් සංවිධානය වුවේ ඉතාමත් සුක්ෂමවය. සියලු දෙනාගේම එකඟතාවයෙන් මේ ගමනට කුලි පදනම මත මෝටර් රථයක් තෝරා ගත්තේ පාණදුර ප්‍රදේශයේ ආයතනයකිනි. ප්‍රහාරයට දෑත වන වනා ගොස් පලක් නැත. තියුණු කඩු හයක්ද සොයා ගත්තේ ඒ නිසාය. කළු පාටින් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන ලෙස සැකසු මුහුණු ආවරණ පහක්ද සුදානම් කර ගත්තේ ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි කිසිවෙකුටත් හඳුනාගත නොහැකි වන ලෙසය. තුවාලකරුගේ සහෝදරයා සමඟ තවත් තිදෙනෙකු මෝටර් රථයට නැඟුණේ ජැකට් පැලඳ සියලු මඟ සලකුණු නිවැරදිව හඳුනා ගැනීමෙන් පසුවය.
මේ අතර පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේට තොරතුරක් ලැබෙන්නේ ආයුධ සන්නද්ධව පිරිසක් යම්කිසි අපරාධයක් සඳහා කොළඹ දෙසින් කළුතර දෙසට ගාලු පාරේ ගමන් කරන බවටය. පාණදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු දැනුම්වත් කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ගැනද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දැනුම්වත් කළේ මේ සඳහා ඉක්මනින් සුදානම් වන ලෙසටද ඔහුට දැනුම් දෙමිනි. පාණදුර දකුණ පොලිසියේ අපරාධ මැඬලීම සම්බන්ධ විශේෂ පුහුණුව ලත් අධිවේගි යතුරුපැදි දෙකකින් කොස්තාපල්වරුන් වන 72555 විදානගම සහ 103484 සුබෝධ ගාලු පාරේ, පාණදුර ගුවන් පාලම අසල රැකවල්ලා සිටියේ ඒ අනුවය. නොනවත්වා ඇද හැලෙන අධික වර්ෂාවේ වුවත් ඔවුන් දෙදෙනාගේ උකුසු ඇස් යොමු වී තිබුණේ මාර්ගයේ ධාවනය වන වාහන දෙසය. කොතරම් වාහන ධාවනය වුවත් විදානගමට හා සුබෝධට නම් හොණ්ඩා වර්ගයේ KH 7694 සුදු පැහැති මෝටර් රථය දකිනතුරු ඉවසිල්ලක් තිබුණේම නැත.
“ඔන්න දැං වාහනේ පාණදුරේට කිට්ටු කරලා...“
විශේෂ ඔත්තුකරුවෙකුගෙන් ලැබුණ තොරතුරෙන් කලබල නොවු සුබෝධ සහ විදානගම මේ කල්ලිය පැමිණි මෝටර් රථයට නතර කරන ලෙස අණ කළත් මාර්ග බාධක යොදා තිබියදීත් එය ගණනකට නොගෙනම වාහනය ඉදිරියටම ධාවනය වුයේ පොලිසියෙන් පලා යාමට විය යුතුය. පොලිස් කොස්තාපල් වරුන් වන විදානගමටත් සුබෝධටත් මතකය ඇත්තේ පොලිස් යතුරුපැදියට නැඟි එය පණ ගන්වනවා පමණය. පවනට බඳු වේගයෙන් ඔවුන් දෙදෙනා මේ ලුහුබැඳ යන්නේ අපරාධකරුවන් රැගත් වාහනය පසුපසය. පාණදුර නගරයේ සිට කිලෝ මීටර 05 ක් පමණ කළුතර දෙසට ගිය මෝටර් රථය අවසානයේ තල්පිටිය පාලමත් පසුකරගෙන ගොස් පීරිස් වෙද මාවතට හැරවූවේ සැඟවී පලා යාමට මඟක් සොයා ගැනීම සඳහාය.
එම මාර්ගය පටු මාර්ගයක් බැවින් මෙම කල්ලියට කර කියාගත හැකි දෙයක් ඉතිරි නොකරම මෝටර් රථය හිර වුවේ පොලිස් නිලධාරින් දෙදෙනා එන බව පෙනි පෙනීය. දනි-පනිගා එළියට පැන ගත් කල්ලියේ දෙදෙනෙකු පලා ගියත් තවත් දෙදෙනෙකු කරන්නේ ඉක්මනින් මෝටර් රථයේ තිබු කඩු අතට ගැනීමය. ඒ පොලිස් නිලධාරින්ට පහර දීමටය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ කොස්තාපල් විදානගමගේ අතේ තිබුණ ගිනි අවියේ කොකා ගැස්සුණේ පුද්ගලයන් ඉලක්ක කරගෙන නොව අහස දෙසටය.
පසුගිය ඔක්තෝබර් 13 වැනිදා මහ දහවලේ 2.00 ට පමණ දෙනෝදහක් යන එන ගාලු පාර ආසන්නයේ දෙමළ චිත්‍රපටයක ත්‍රාසජනක ජවනිකාවක් රූගත කරන අයුරින් සිදු වු මෙම සිද්ධියෙන් බියට පත් වු දෙදෙනාද ආයුධ අතහැර දමා පලා දුවන්නේ වැඩේ වැරදුණු බව අවබෝධ කරගෙනය. වෙඩි තබා ඉන් නොනැවතුණු විදානගම ඔවුන් පසුපස ලුහුබැඳ එක් අයකු අල්ලා ගත්තේ කෙසේවත් පොලිසියෙන් ගැලවී යාමට ඉඩ නොතබාය. මත් කුඩු මිලි ග්රෑම් 5200 ක් ද ඔවුන් සතුව තිබියදී සොයා ගැනීමට හැකි වූයේ සැකකරු පරීක්ෂා කිරීමේදීය.
වාහනයට එබිකම් කළ පොලිස් නිලධාරීන්ගේ ඇස් අදහා ගැනීමට නොහැකි වූයේ එය ආයුධ ගබඩාවක් වු නිසාය. සැකකරු සමඟ වාහනය පොලිසියට රැගෙන ආවේ ඒ අනුවය.
සැකකරු පසුගිය 12 දින කපාකොටා තුවාල ලැබු තරුණයාගේ වැඩිමහල් සහෝදරයා බව අනාවරණය වන්නේ ඉන් පසුවය.
ඔහු කළුතර බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි. ඔහුගේ සහෝදරයාට පහර දුන් පුද්ගලයා මිතුරෙකු සමඟ පලාවිත් සැඟවී සිට ඇත්තේ වාද්දුව පස්මං හන්දිය ප්‍රදේශයේ නිවෙසකය.
ඒ මෙම සිද්ධිය වු ස්ථානයේ සිට මිටර් 500 ක් පමණ දුරිනි. විදානගම සහ සුබෝධ වහා ක්‍රියාත්මක නොවුණානම් මෙම කල්ලිය විසින් ඔවුන් දෙදෙනාම කපා කොටා ඝාතනය කිරීම වැළැක්විය හැක්කේ කාටදැයි ඇසිය යුතු පැනයකි.
ඒ නිසා ඔවුන් දෙදෙනාට එම උපහාරය ලැබුණේ දිවි පරදුවට තබා ඔවුන් දෙදෙනා සිදු කළ වීර වික්‍රමාන්විත ක්‍රියාව අගයමිනි. තිස්හත් වැනි වියේ පසුවන විදානගම මාතර, බෙලිඅත්ත ප්‍රදේශයේ උපත ලද්දෙකි. බෙලිඅත්ත නිහිලුව මහා විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූයේ උසස් පෙළ විභාගයෙන් පසුවය. ඒ 2007 වසරේදීය. වැඩිමල් සහෝදරයකුට සහ සහෝදරියකට බාල සහෝදරයකු ලෙස හැදි වැඩුණ විදානගම මොනරාගල, සියඹලාණ්ඩුව, වැල්ලවාය, වවුනියාව, නුවර, මාතර, තංගල්ල ආදි දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි අත් දැකීම් ලබමින් පාණදුර පොලිසියට රාජකාරි සඳහා අනුයුක්ත වුවේ මිට වසර දෙකකට පමණ පෙරය.
එහෙත් සුබෝධ තවමත් පොලිස් දෙපාර්තමේන්තුවට ළා බාලය. ඒ ඔහු මේ වසරේ මාර්තු 10 දින බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළුව පුහුණුව ලබා මුල්ම පත්වීම මීට මාසයකට පමණ පෙර ලබා ගෙන ඇත්තේ පාණදුර පොලිසියට වීම නිසාය. එහෙත් ඔහු අපරාධ මැඬීමේ රාජකාරියේදී නම් බාලයෙකු නොවන බව පැහැදිලි වන්නේ මෙම සිද්ධියෙන් පසුවය. මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුබෝධ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින පවුලේ දෙවැනියා මෙන්ම බාලයාය.
දම්පාගල කනිෂ්ඨ විද්‍යාලය හා බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල ඔහුට සිප් සතර ලබා දුන් විදුහල්ය. තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන සුබෝධ මේ ඇරඹු ගමන නොනවතින එකක් වනු නියතය.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ අතින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ පනස් දාහ බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමටද කටයුතු කරන ලදි. රටටම ආදර්ශයක් දී ජීවිත දෙකක් බේරා ගත් මෙවැනි නිලධාරින් පොලිස් දෙපාර්තමේන්තුව සදා ආලෝකයෙන් බබළවන රන් තරු කැට දෙකක් බව පුන පුනා පැවසීමටත් වඩා වටින්නේ මේ ඇගයීම අනෙකුත් පොලිස් නිල දරුවන්ටද ආදර්ශයක් විය යුතු බැවිනි. මන්ද කිරි කළයකට ගොම බිඳක් දැමුවා මෙන් මහජනශිලී සේවයක් ඉටු කරන පොලිසියේ උත්තරීතර නාමය කිලුටු කරන අතළොස්සක් පොලිස් නිලධාරින් පිරිසක්ද මේ අතර සිටින බැවිනි.