රාගම ‘රන් කැටියා’ කොටු වුණේ මෙහෙමයි | සිළුමිණ

රාගම ‘රන් කැටියා’ කොටු වුණේ මෙහෙමයි

- පාතාල කල්ලියක් හදන්න ගහපු ගේම වරදී
- ගෝලයාත් සැකපිට අල්ලයි
- නිවාස තුනකටම පහරදී අලාභ හානි සිදු කරලා

ත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධි කටයුතුවල නිරත පුද්ගලයන් එම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධි කටයුතු දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් ප්‍රචණ්ඩ ක්‍රියාවල ද නිරත වීම සුලබ සිදුවීමකි. මීට අමතරව ඔවුන් පුද්ගලයන්ගෙන් කප්පම් ගැනීම් සිදුකර ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු වැළැක්වීමේ අරමුණින් අදාළ පුද්ගලයන්ට මරණීය තර්ජන කර ඔවුන් භීතියට පත්කරන අයුරු සඳහන් ප්‍රබන්ධ දුලබ නැත. 

රාගම පොලිස් බල ප්‍රදේශයේ නිවාස තුනකට පහරදී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධීන් සම්බන්ධව රාගම පොලිසියට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කළ පොලිස් නිලධාරින් සැකපිට 33 හැවිරිදි 'රන් කැටියා' යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නේ පසුගියදාය.

මෙම සැකකරු ගල්ඔළුව, මිනුවන්ගොඩ සහ මඟුල් පොකුණ, රාගම යන ලිපිනයන් දෙකේම පදිංචිකරුවකු වන අතර මොහු අවිවාහකයකු බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.

රාගම පොලිසියේ නිලධාරින් පිරිසක් මහබාගේ පොලිස් බල ප්‍රදේශයේදී රන් කැටියා අත්අඩංගුවට ගෙන ඔහු සිදුකළ අපරාධ පිළිබඳව සැකකරුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර තිබිණි.

එහිදී රන් කැටියා පවසා ඇත්තේ පාතාල කල්ලිවල සාමාජිකයන්ගෙන් තමාට එල්ල වී ඇති මරණ තර්ජන නිසා තමා ජීව අත් බෝම්බයක් නිතරම රැගෙන යන බවත් එම ජීව අත්බෝම්බය රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් කිඹුලාඇළ ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබියදී සොයා ගැනීමට රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට හැකි විය.

මේ සැකකරු මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ රාගම පොලිස් බල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් පුද්ගලයකු කපා කොටා බරපතළ තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිලි පොලිසියට ලැබී ඇත. මීට අමතරව සීදූව පොලිස් බල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් ද නඩුවක් අධිකරණයේ විභාග වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

මේ සැකකරු රාගම පොලිස් බල ප්‍රදේශයේ සහ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බිය වද්දා ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

එහෙත් එම ව්‍යාපාරිකයන් 'රන් කැටියාට' ඇති බිය නිසා ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටින බව එහිදී හෙළි විය. 'රන්කැටියා' මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිට ඇති අතර දිනක් රාගම පොලිස් බල ප්‍රදේශයේදි වෙනත් පුද්ගලයකු රන් කැටියාට පිහියෙන් ඇන ඇති අතර එහිදී රන් කැටියා විසින් එම පුද්ගලයාට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. රන්කැටියා සමඟ එක්ව විවිධ අපරාධ සිදු කළ ඔහුගේ සෙසු සාමාජිකයන් අතරින් එක් අයෙකු ද පොලිසිය විසින් මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අපරාධ සිදුකිරීම සඳහා පාතාල කල්ලියක් බිහි කිරීමේ අරමුණින් සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවත් එම නිසා එම ජාවාරම් සිදු කරන බව කියන සෙසු ජාවාරම්කරුවන්ගේ නිවාසවලට මෙසේ පහරදී ඇද්ද යන්න සෙවීම සඳහා පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. රන්කැටියා සමඟ එක්ව මේ අපරාධ සිදු කළ බව කියන සමීපතමයන් කවුරුන් ද යන්න සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද රාගම පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

සැකකාර 33 හැවිරිදි රන් කැටියා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බස්නාහිර පළාත් උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, කැලණිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත, කැලණිය සහකාර පොලිස් අධිකාරි ධනංජය පෙරමුණගේ උපදෙස් මත රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක භවන්ත රාජකරුණා, සැරයන්වරුන් වන (33489) ගලප්පත්ති (33516) ලයනල්, කොස්තාපල් (80636) කුමාර යන නිලධාරින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

Comments