
- රූපලාවණ්‍ය ශිල්පිනියගේ මාලය කඩාගෙන යද්දී පොලිස් වෙඩි පහරින් මහ මඟම අවසන් ගමනේ
- මීගමුව කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොල්ලකරුවන් පසුපස හඹා යයි
රන්මාල කොල්ලකරුවන් ගමන් ගත් මෝටර් බයිසිකලයක් ලුහුබැඳ ගිය මීගමුව කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එක් කොල්ලකරුවකු ජීවිතක්ෂයට පත් වෙද්දී තුවාල ලැබූ අනෙකා අත්අඩංගුවට ගැනීමට හැකිවීම මීගමුව පොලිස් කොට්ඨාසයේ දිවි ගෙවන ජනතාව ලත් ජයග්‍රහණයකි.
පසුගිය 23 වැනිදා දහවල් මීගමුව කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් මීගමුව ඔරලෝසු කණුව ආසන්නයේ රාජකාරියේ යෙදී සිටියහ. මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙක් කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩා ගෙන පලා යන බවට ජනතාවගේ කෑගැසීම ඇසුණු එම පොලිස් නිලධාරීන් දෙදෙනා රථවාහන රාජකාරිය පසෙකලා කොල්ලකරුවන් ගමන් කරන යතුරු පැදිය ලුහු බැඳ යන්නට පටන් ගත්තේ අපරාධ වැළැක්වීම මෙන්ම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමද පොලිස් නිලධාරින්ගේ යුතුකමක් සහ වගකීමක් බවට කියවෙන පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය සිහියට ගනිමිනි.
මීගමුව නගරයේ හෝරා ස්ථම්භය අසලදී මෙම කොල්ලකරුවන් දෙදෙනා රන් මාලය පැහැරගෙන ඇත්තේ රූපලාවණ්‍ය ශිල්පිනියකගේය. ඇය සිය සේවා ස්ථානය වසා අවශ්‍යතාවට පා ගමනින් යමින් සිටියදී මෝටර් බයිසිකලය නවතා එක් අයෙකු ඇගේ ගෙල මිරිකා මාලය කඩාගෙන යතුරු පැදියේ නැඟී පලා ගොස් තිබිණි. මේ සිදුවීමත් සමග වික්ෂිප්ත වූ තරංගා දිල්හානි නමැති එම රූපලාවණ්‍ය ශිල්පිනිය කෑ ගසා අසල සිටි අයට මේ බව දැනුම් දුන්නේ පිළිසරණක් බලාපොරොත්තුවෙනි.
මේ සිද්ධිය ඇසින් දුටු අවට ජනතාව භීතියට පත් වෙද්දී ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි රථ වාහන පොලිස් නිලධාරින් දෙදෙනා කාන්තාවගේ කෑගැසීම සිය අවධානයට ගෙන පලා යමින් තිබූ මෝටර් බයිසිකලය පස්සේ පන්නන්නට පටන් ගත්නේ රාජකාරිය දේවකාරියක් සේ සලකමිනි.
දෙනෝ දහක් බලා සිටියදී පවුමක් තරමේ වන රන් මාලය පැහැරගත් සැකකරුවන් ගමන් ගත් මෝටර් බයිසිකලය මිනුවන්ගොඩ දෙසට වේගයෙන් ධාවනය වෙද්දි පොලිස් නිලධාරීන්ද ඔවුන් පසුපස හඹා ගියේ මහත් අසීරුවෙනි. ආඬිඅම්බලම පසුකරද්දී කොල්ලකරුවන් ආසන්නයට පැමිණීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. නතර කර යටත් වන ලෙසට ඔවුන් නියෝග කරද්දී කොල්ලකරුවන් ඊට අවනත වීම පසෙකලා එක් අයෙකු අත තිබූ පිස්තෝලය පොලිස් මෝටර් බයිසිකලයට එල්ල කළේ පොලිස් නිලධාරින් බිය ගැන්වීම සඳහාය.
තමන් දෙසට එල්ල කළ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් තම ජීවිතයට අනතුරක් විය හැකි බව ක්ෂණිකවම තේරුම් ගත් මෝටර් බයිසිකලය පැදවූ පොලිස් නිලධාරියා වහා ක්‍රියාත්මක වූයේ පුද්ගලික ආරක්ෂාවේ ප්‍රතිපාදන අනුවය. පොලිස් වෙඩි පහරත් සමඟ කොල්ලකරුවන්ගේ මෝටර් බයිසිකලයේ ගමන අඩාළ විය. එය කෝවින්නට යන රාහුල මාවත අසල දී පෙරළිණි. එහි ගමන් කළ දෙදෙනාම තුවාල ලබා සිටියහ. පොලිස් නිලධාරීන් වහාම ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කරනු ලැබීය.
මෝටර් බයිසිකලයේ පිටුපස අසුනේ ගමන් ගත් පොලිසියට වෙඩි තැබීමට කටයුතු කළ පුද්ගලයා රෝහල් ගත කරන විට ජීවිතයෙන් සමු ගෙන තිබිණි. අනෙකාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කෙරිණි.
මියගිය පුද්ගලයා කොටදෙනියාව පොලිස් වසමේ නාවාන පදිංචිකරුවකු වූ විදානආරච්චි දසනායකගේ දර්ශන සම්පත් හෙවත් ‘යාපා‘ නමැති 20 හැවිරිදි පුද්ගලයා බවට හඳුනා ගනු ලැබිණි. අත්අඩංගුවට පත්ව රෝහල් ගත කර ඇත්තේ ආඬිඅම්බලම කෝවින්න පදිංචිකරුවකු වන අලහකෝන් ආරච්චිගේ මනෝජ් ප්‍රියංකර නමැති 25 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලබා සිටින සැකකරුද කලින් පදිංචිව සිට ඇත්තේ වෙඩි පහරින් මියගිය සැකකරුගේ නාවාන නිවස අසල බවද මූලික පරීක්ෂණවලදී හෙළි විය.
තුවාල ලැබූ සැකකරුගේ පියා වෙනත් කාන්තාවක සමඟ කෝවින්න ආඬිඅම්බලම ප්‍රදේශයේ දිවි ගෙවන නිසා ඔහුද එම නිවසේ කල්ගත කර ඇතැයිද ඔහුගේ මව නාවාන නිවසේ සිටින බවද හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ හේතුවෙන් සැකකරුවන් දෙදෙනා කලක් තිස්සේ සමීප මිතුරන් සේ කටයුතු කර ඇතැයිද පොලිසිය කියයි.
සැකකරුවන් ගමන් කළ මෝටර් බයිසිකලය තුවාල ලබා සිටි සැකකරු විසින් කිරිබත්ගොඩ පෙදෙසින් සොරා ගත් එකක් බවට තොරතුරු හෙළිවී ඇතැයිද එම සැකකරු මත්කුඩු වැරදි සම්බන්ධයෙන් පෙර වැරදි තුනක් ඇති පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කළේය. වෙඩි වැදී මියගිය සැකකරු 2002 වසරේ උපන් අයකු බවද අවිවාහකයෙකු වන ඔහු පියා මව සහ සොහොයුරා සමඟ නාවාන නිවසේ කල් ගත කරමින් මෙසේ කලක් තිස්සේ විවිධ වැරදිවල යෙදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.
සැකකරුවන් පොලිසියට වෙඩි තැබීමට යොදාගත් ත්‍රී ටයිට් වර්ගයේ නිකල් පැහැති රිවෝල්වරය යතුරුපැදිය පෙරළුණු ස්ථානයේ වැටී තිබියදී සොයා ගැනීමට හැකි විය. කොටදෙනියාව පොලිස් වසමේදී පසුගිය දිනක ග්‍රාම නිලධාරිනියකගේ රන් මාලය කඩා ගැනීම ඇතුළු අපරාධ රැසකට මෙම සැකකරුවන් සම්බන්ධ බවට පොලිසිය සැක පහළ කරයි. ඔවුනට උදවු උපකාර කරන තවත් සාමාජිකයන් සිටීදැයි හෙළි කර ගැනීමටද පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මකය. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ මෙහෙයවීම යටතේ මීගමුව සහ කටුනායක පොලිස් ස්ථාන මඟින් මූලික පරීක්ෂණ පවත්වා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
ඒ අනුව ඉකුත් 23 වැනිදා රාත්‍රි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී.තේනබදු විසින් ස්ථානීය පරීක්ෂණය පැවැත්වූවාය. කොල්ලකරුවන් ගමන් කළ මෝටර් බයිසිකලය, කොල්ලකරුවන් සන්තකයේ තිබී බිම වැටී තිබූ රිවෝල්වරය, බිම වැටී තිබූ උණ්ඩ, ඇතුළු දේපළ ආදියද මහේස්ත්‍රාත්වරිය නිරීක්ෂණයට ලක් කළාය.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණු සැකකරුගේ දේහය සහ රෝහලේ ප්‍රතිකාර ලබන අනෙක් සැකකරුවාද නිරීක්ෂණය කර වාර්තාවක් ලබා දෙන ලෙස මීගමුව මහේස්ත්රාත්වරයාට දන්වනු ලැබීය.
මියගිය අයගේ දේහය මීගමුව මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කිරීමෙන් පසු එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කර මරණයට හේතුව ලබා දෙන ලෙස මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාටද නියෝග කරනු ලැබුවාය.