මළවුන් සැමරුණු හැලොවීන් උලෙළේ හැබැහින් මරු වසඟයට ගිය ජිනාත් | සිළුමිණ

මළවුන් සැමරුණු හැලොවීන් උලෙළේ හැබැහින් මරු වසඟයට ගිය ජිනාත්

ජිනාත්ගේ ගැබිනි බිරිය තවමත් හැඬු කඳුළෙන්

දකුණු කොරියාවේ  සෝල් නුවර ඛේදවාචකයෙන් පාතදුම්බර ජිනාත් අවසන් ගමනේ

ටිරෝනි වෑවලගේ

අසේල කුරුළුවංශ

පසුබිම් තොරතුරු සහ ඡායාරූප

ඔක්තෝබර් 29 වැනිදා රාත්‍රියට දකුණු කොරියාවේ සියොල් නුවර වැසියන් සූදානම් වූයේ දින ගණනාවකට පෙර සිටමය. හැලෝවීන් යනු ඔවුන් දැඩි සේ ප්‍රිය කළ උත්සවයක් විය. ඒ දිනට හොල්මන් අවතාර මෙන් සැරසී වීථිවල සංචාරය කරමින් විනෝද වීම ඔවුන්ගේ අභිලාෂය විය. මෙවර හැලෝවීන් උත්සවය ඔවුන් සියල්ලන්ට විශේෂ වූයේ කොවිඩ් වසංගතයෙන් පසු මුව ආවරණ විරහිතව පැවැත්වෙන ප්‍රථම හැලෝවීන් උත්සවය එය වූ බැවිනි.

සිතුවාටත් වඩා ජන ගංගාවක් සවස් කාලය වන විට සියෝල් නගරයේ වීථි දිගේ ඇවිද යන්නට වූ අතර එක් අවසනාවන්ත සිදුවීමක පෙරනිමිති නගරයේ ඉතායෙවොන් දිස්ත්‍රික්කයේ එක් කුඩා වීථි කොණකින් දිස් වන්නට විය. එ ඉතා කුඩා පටු මාර්ගයක මිනිසුන් දහස් ගණනක් එක්රොක් වන්නට පටන් ගැනීමෙනි. එහි සංවිධානය කර තිබූ හැලෝවීන උත්සවයට ආකර්ෂණය වූ මිනිසුන් දහස් ගණන මඳ වේලාවකින්ම ලක්ෂයකට වඩා වැඩි වන්නට වූ අතර ඒ වන විටත් මාර්ගයේ පිරී සිටි මිනිසුන් බෙහෙවින් තදබදයකට මුහුණ පාන්නට වූහ. තවදුරටත් එහි නොපැමිණෙන ලෙස පවසමින් බොහෝ දෙනා මරහඬ තැබුවද එය නොඇසුණු මිනිසුන් තව තවත් ඒ මාර්ගය දෙසටම තෙරපෙන්නට වූහ. හැලෝවීන් රාත්‍රිය මර උගුලක් වන්නට විය. බියකරු අවතාර හොල්මන් අතරට සැබැවින්ම මරණය පැමිණ තිබිණි. මාර්ගයේ තැන තැන ප්‍රාණය නිරුද්ධ සිරුරු වැටී තිබුණු අතර තවත් සිහි මුර්ජා වූ බොහෝ දෙනා මළසිරුරු හා සමානව බිම ඇද වැටී සිටියේ සැබෑම හැලෝවීන් රංගනයක් මවා පාමිනි.

මේ සිදුවීම වූ ස්ථානයට ගිනි නිවන හමුදාව ඇතුළුව ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන විට මිනිසුන් හැටකට අධික සංඛ්‍යාවක් එම ස්ථානයේදීම අවසන් හුස්ම මුදා හැර තිබිණි. මාර්ගයේ තැන තැන සිහි මුර්ජා වූවන්ගේ හදවත් තෙරපමින් පණ ගන්නට කැස කවන මුදා ගැනීමේ කණ්ඩායම් හොලිවුඩ් සිනමාපටයක දර්ශන සැබැවින් දකින්නාක් බඳු විය. ඔක්තෝබර් 30වනදාට හිරු පහන් වන විට සියෝල් නගරය මුළුමනින්ම මළ ගෙයක් බවට පත්ව තිබිණි. තෙරපීමෙන් මියගිය ගණන 151ක් වූ අතර ඒ අතරින් විස්සක් විදේශිකයෝ වූහ. මියගිය විදේශිකයන් අතර ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙක්, චීන වැසියන් සිවු දෙනෙක් සමඟ ඉරාන, උස්බෙකිස්තාන, නෝර්වේ, ඔස්ට්‍රේලියානු ජාතිකයන් සමඟ එක් ශ්‍රී ලාංකිකයෙක්ද විය. මෙරට විශාල පිරිසක් කොරියාවේ රැකියාවල නිරතව සිටින බැවින් කොරියාවේ සිදු වූ එම අවාසනාවන්ත සිදුවීමෙන් එක් ශ්‍රී ලාංකිකයෙක්ද මියගොස් ඇතැයි දැන ගැනීමත් සමඟම, ඔවුන්ගේ පවුල්වල උදවියගේ හදවත් මොහොතකට හෝ නතර වන්නට ඇත්තේ තම ඥාතියාත් ඒ අතර සිටියා ද යන සැකය හේතුවෙනි. සිද්ධියෙන් මෙසේ මියගොස් ඇත්තේ මහනුවර පාතදුම්ර උඩතලවින්නේ පදිංචි මුනාව්වර් මොහොමඩ් ජිනාත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය එරට තානාපති කාර්යාලය ඔස්සේ තහවුරු කරගනු ලැබුවේ සිද්ධියෙන් පැය ගණනාවකට පසුවය. ඒ වන විටත් ජිනාත්ගේ රෝගි මව සහ පියා පමණක් නොව දෙමස් ගැබිනියක වන බිරිය ද කිසිවක් නොදැන සිටියහ. සෝල් නුවර කුඩා වීදියකට රැස්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතර ඇතිවූ තෙරපුමකින් තම ජිනාත් මියයාවි යැයි ඔවුන් මොහොතකට හෝ නොසිතුවේ ඔහු එවැනි උත්සවවලට සහභාගි නොවන බව සක්සුදක් සේ දැන සිටි නිසාය. කෙසේ වුවත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක ජිනාත් මෙලොව හැරගොස් ඇත.

ශිෂ්‍ය වීසා මත කොරියාවට ඇතුළු වී තිබෙන ජිනාත් වසර දෙකහමාරක පමණ කාලයක් කොරියාවේ රැකියාවක් කරමින් සිට යළි මෙරටට පැමිණ තිබෙන්නේ මීට තෙමසකට ඉහතදීය. ඒ තම සිත්ගත් තරුණිය වූ සප්නාගේ අත ගැනීමේ අපේක්ෂාවෙනි. තම මාමාගේ දියණිය වූ 24 හැවිරිදි සප්නා හා විවාහ වන විට ජිනාත්ගේ වයස අවුරුදු 27 කි. විවාහ වී මාස එකහමාරක් වැනි කෙටි කාලයක සප්නා මවක් වන ලකුණු පහළ කළේ ජිනාත්ගේ පමණක් නොව පිළිකා රෝගයකින් පෙළෙන ඔහුගේ මවගේ ද බලාපොරොත්තුවලට පණ දෙමිනි. දරු සුරතල් බැලීමේ නොතිත් ආශාවෙන් සිටි ජිනාත් යළි කොරියාව බලා ගියේ දින, සති, මාස ඉක්මනින් ගෙවී ගොස් යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙනි. එහෙත් මෙලොව උපදින්නට සිටින දරුවා දකින්නටත් පෙර ඔහු මෙලොව හැර ගියේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදිය.

“ජිනාත් කසාද බැඳලා ඉන්නේ මගේ දුවයි... ඔවුන්ගේ විවාහ උත්සවය පවත්වලා දැන් මාස තුනකට කිට්ටුයි. විසි හතර හැවිරිදි දියණිය දැන් දෙමස් ගැබිනියක්. එයාට දැන් කාගේ පිහිටක් ද කියලා හිතාගන්න බැහැ...“ ජිනාත්ගේ බිරිය වන එෆ්. සප්නාගේ පියා වන මොහොමඩ් උමාර් එසේ පැවසුවේ තම බෑනාගේ මෘත දේහය කඩිනමින් මෙරටට ගෙන ඒමට සහය වන ලෙස ඉල්ලා ලිපියක් බාර දීමට විදේශ අමාත්‍යාංශයේ මහනුවර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය. දැන් ඔවුන්ගේ එකම අපේක්ෂාව කෙසේ හෝ ජිනාත්ගේ දේහය මෙරටට රැගෙනවිත් ඉස්ලාම් ආගමානුකූලව ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමය.

“මගේ බෑනාට සිද්ධ වුණේ මොකක් ද කියලා අපිට හිතා ගන්න බැහැ. පුතා බබාව දකින්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ හැමදේම විනාශ වෙලා ගියා.“ උමාර් පවසන්නේ දෙනෙත්වලින් පිටතට පනින්නට වෙර දරන කඳුළු කැට වළක්වා ගන්නට අසාර්ථක උත්සාහයක නිරත වන අතරේය.

මුනාව්වර් මොහොමඩ් ජිනාත්ගේ පියා වන 64 හැවිරිදි ජී.අයි.එම්.මුනාව්වර් පැවසුවේ මෙවන් අදහසකි. “මාස තුනකට විතර කලින් ලංකාවට ආව පුතා විවාහ වෙලා මාස දෙකකට විතර කලින් ආපහු කොරියාවට ගියේ පවුලේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගන්නා අදහසින්. අපිටත් සලකලා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුතාට ලොකු ආසාවක් තිබුණා. සෝල් නුවර මිනිස්සු තෙරපිලා මැරුණා කිව්වට අපි හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ අතර මගේ පුතත් ඉන්නවා කියලා. මගේ බිරිය පිළිකා රෝගයකින් පෙළෙනවා. මමත් රෝගියෙක්. අපිට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. පුතාලා තුන්දෙනයි දුවයි. දෙවැනි පුතා තමයි මියගියේ.“

මියගිය මුනාව්වර් මොහොමඩ් ජිනාත්ගේ වැඩිමහල් සහෝදරයා වන එම්.එම්.මුජාහිඩ් ද මෙසේ පැවසුවේය. “රට ගියාට පස්සේ මල්ලී දවස් දෙකකට සැරයක් කතා කරනවා. කලින් අවුරුදු දෙකක් වැඩ කරපු තැනින් අයින් වෙලා මල්ලී මේ පාර අලුත් තැනක තමයි වැඩට ගියේ. පහුගිය 29 වැනිදා උදේ 10.00 ට විතර එයා මට කතා කළා. එයාගේ රියදුරු බලපත්‍රය ඉන්ටනැෂනල් කරගන්න ඕන කිවුවා.

අම්මාගේ අසනීප තත්ත්වය ගැනත් තාත්තා ගැනත් එයා කතා කළා. එදා හවස 4.30ට විතර පොඩි මල්ලිට කතා කරලා තියෙනවා. මමයි තාත්තායි මාතලේ ගිහින් ඉද්දී අපේ මාමා කෙනෙක් කතා කරලා කිවුවා ඉක්මනට ගෙදර එන්න කියලා. පොඩි මල්ලී වත්තේගම ඉඳලා කතා කරලා කිවුවා මාමා ඉක්මනට එන්න කියනවා ඔයාලත් ඉක්මනට එන්න කියලා. ඒ මාමා කොරියාවේ හිටපු කෙනෙක්. එයත් එක්ක එකට කොරියාවේ හිටපු යාළුවෙක් නිවාඩුවට ලංකාවට ඇවිල්ලා. එයාට යාළුවෙක් කියලා තියෙනවා මල්ලි රූම් එකට ආවේ නැහැ කියලා. ඊට පස්සේ එයා හොයලා බලලා තමයි මාමාට කතා කරලා කියලා තියෙන්නේ අපේ මල්ලිට කරදරයක් වෙලා කියලා දැනුම් දෙන්න. ඒ පණිවිඩේ දෙන්න තමයි මාමා අපිට එන්න කියලා තිබුණේ.“ ජිනාත්ගේ වීසා කාල සීමාව අවසන් වීමට නියමිතව තිබී ඇත්තේ ඔක්තෝම්බර් 31 වැනි දිනය. එරට තුළ දිගටම රැඳී සිටීමට නම් වීසා අලුත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් ජිනාත් පසුගිය දින කිහිපයේදීම උත්සාහ කර තිබුණේ ඒ සඳහාය.

“මල්ලී රට යන්න කලින් ජංගම දුරකතන සිම් බිස්නස් කළා. එයා පේමන්ට්වල කුඩ හයි කරගෙන සිම් විකුණන එක කරලා පස්සේ පොඩියට ෆෝන් බිස්නස් කළා. එතකොට අම්මා අසනීප වුණා. වියදම් වැඩිවුණ නිසා එයා කල්පනා කළා රට යන්න ඕන කියලා. මාස හයකට වතාවක් එයා වීසා අලුත් කරගන්න යනවා. 

මල්ලීගේ වීසා ඉවර වෙන්න තිබුණේ මේ මාසේ පළවෙනිදා. වැඩ ඇරිලා මල්ලී ඒ වැඩේ ගැන බලන්න ගිහින් තියෙනවා.

ඉෆාම් කියලා අයියා කෙනෙක් එහේ ඉන්නවා. එයා තමයි වීසා අලුත් කරන වැඩේට උදවු කරන්නේ. වීසා අලුත් කරන්න ලෝයර් කෙනෙක් හම්බවෙන්න මල්ලී නිවාඩු දාලා එයා වැඩ කරන තැන ඉඳන් කෝච්චියෙන් ඉෆාම් අයියා මුණගැහෙන්න ඇවිත් තියෙනවා.

මල්ලී රෑ 10 ට විතර ඉෆාම් අයියාගේ කාමරයට එන අතර තමයි මේ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ. සෝල් අගනුවර හැලොවින් උත්සවය කොරෝනා නිසා අවුරුදු තුනක් ම පවත්වලා නැහැ. අවුරුදු තුනකට පස්සේ පවත්වපු නිසා වෙනදට තිස් දාහක් හතළිස් දාහක් විතර එන උත්සවේට මේ පාර ලක්ෂයක් විතර ඇවිල්ලා. සෙනඟ වැඩිවෙලා හැමෝම තෙරපිලා.

ඒ අතර මල්ලිත් ඉඳලා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ..“ එම්.එම්.මුජාහිඩ් එසේ පැවසුවේ තම පවුලේ ශක්තිය වූ ජිනාත්ගේ වියෝව තුළින් ඇතිවන හිඩැස කෙසේ පුරවාලන්නද යන දෙගිඩියාව ද සමඟිනි. සිදුවීම වාර්තා වීමත් සමගම දකුණු කොරියානු ජනාධිපති යුන් සුක්- යිඔල් ද ඒම ස්ථානයට පැමිණි අතර සතියක කාලයක් මුළු රටටම ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

මිනිසුන් දහස් ගණනක් තෙරපීමට ලක් වූ එම ස්ථානයේ මේ වන විට මියගිය අයගේ ඥාතීන් විසින් තබන ලද මල් පොකුරුවලින් පිරී ඇති නමුත් ලංකාවේ සප්නාද ඇතුළුව ඔවුන්ගේ ඥාතීන්ගේ සිත්වල නම් කිසිදාක පිරවීමට බැරි හිස්තැනක් තිබෙනු ඇත.

Comments