
- වෙඩි තැබූ උප පරීක්ෂක රිමාන්ඩ්
- මුළු ගමම තිහගොඩ පොලිසිය වටකරයි
ඔක්තෝබර් මාසයේ 28 වැනි දා පස්වරුවේ මාතර, තිහගොඩ ප්‍රදේශවාසින් කම්පා කළ පුවතක් වාර්තා විය. ඒ පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩි පහරකින් 14 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබීමයි. තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල, කටුවන, තුඩුව ගම්මානයේ මේ සිද්ධිය විය.
මාතර, තුඩාව සුදර්මාරාම විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ පෙරහර මංගල්‍යය යෙදී තිබුණේ ඉකුත් 29 වැනිදා ය. මෙහි කාවඩි සඳහා ද අවස්ථාවක් ලබා දී තිබිණි. මොනර පිල් විදහා ගනිමින් සිදුකරන කාවඩි රංගනය පෙරහරට අපූර්වත්වයක් එක්කරනු ඇතැයි සංවිධායකයෝ විශ්වාස කළහ. මිදෙල්ලවල තරුණ පිරිසක් ද ඊට සූදානම් වූහ. මේ දිනවල මොනරුන්ගෙන් නම් මේ ප්‍රදේශයට අඩුවක් නැත. මිදෙල්ලවල විහාරස්ථානය අවට ද මොනරුන්ට කදිම වාසස්ථානයකි. මේ ගමේ පදිංචි හරිෂ් නමැති තරුණයා ඇතුළු පිරිස ත්‍රීවිලයක නැගී කාවඩිවලට යොදා ගන්නට මොනරු පිහාටු සොයන්නට පිටත් වූහ. ඔවුහු මොනර පිහාටු රැගෙන ත්‍රිවිලයෙන් නැවත පිටත් වූහ. තමන් පසුපස පොලිසියෙන් එන වගක් ඔවුනට නොදැනුණද, පොලිසියේ පිරිසක් ද හරිෂ්ලා ගමන් කළ ත්‍රීවිලය අසලටම පැමිණියෝය. එක් නිලධාරියෙකු හැර අනෙක් අය පැමිණ සිටියේ සිවිල් ඇඳුමින්ය. උප පරීක්ෂකවරයා අත පිස්තෝලයක් තිබිණි. එය අතට ගත් උප පොලිස් පරීක්ෂකවරයා හරිෂ් දෙසට ගිනි අවිය එල්ල කරමින් ‘උඹ මොකද? කියන්නේ‘ කියා ප්‍රශ්න කළේය. එක්වරම නොසිතූ ලෙස පිස්තෝලය ක්‍රියාත්මක විය.
මිදෙල්ලවල, කටුවනතුඩුව ගමම වෙඩි ශබ්දයකින් දෙදරා ගියේය. මේ වන විට ගම්මානයේ බොහෝ දෙනෙකු මාතර තිහගොඩ පාරේ පිහිටා ඇති මිදෙල්ලවල පන්සලේ පින්කමට යාමට සූදානම් වී සිටියෝය. කටුවනතුඩුව ගමේ කුඹුරු යායට මායිම්ව තිබෙන අතුරු මාර්ගයේ නවතා තිබුණ ත්‍රීරෝද රථ දෙකක් අසල සිදු වූ යම් සිද්ධියකදි කිසිවකු හට පොලිසියෙන් වෙඩි තබා ඇතැයි ගමේ පිරිසට දැන ගැනීමට එතරම් වේලාවක් ගත වූයේ නැත.
" හරිෂ් පුතාට පොලිසියෙන් වෙඩි තියලා" යන ආරංචිය ගම පුරාම පැතිර ගියේ ක්ෂණයකිනි. එහි සිට කිලෝමීටර් භාගයක් ඈතින් මහහේන වත්තේ හරිෂ් ගේ පවුලේ අයටද මෙම ආරංචිය ලැබුණේය.පොලිස් නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයකු එම ස්ථානයේ සිටි නිසා වෙඩි තැබීම සිදු වී තිබෙන්නේ පොලිසියේ අතින් බව වටවී සිටින පිරිස තේරුම් ගියේය. හරීෂ් සමඟ සිටි අනෙත් අය ද වයස අවුරුදු දාහතර 14, 15, 16 යන වයස් කාණ්ඩවල දරුවන් ය.
වෙඩි වැදුණු හරීෂ්ගේ ලේ පාර පුරාම දක්නට ලැබුණි. එම ලේ මතම හරීෂ් වැටී සිටියේය. ඔහු ගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුව තිබුණි. තිහගොඩ පොලිසියේ නිලධාරින් පැමිණ සිටි ත්‍රිරෝද රථයෙන්ම හරීෂ් ඔසවාගෙන මාතර මහ රෝහලට ගෙන එන ලදි. ඒ පසුපසින් හරීෂ් ගේ ඥාතින්, මිතුරන් සහ ප්‍රදේශවාසින්ද වාහනයක නැඟ මාතර රෝහල කරා පැමිණියෝය. මෙහිදී පොලිසිය දැඩි දෝෂරෝපණයට ලක්විය.
හරීෂ්ට මාතර මහ රෝහලේදී මූලික ප්‍රතිකාර සිදුකර වහාම කරාපිටිය රෝහලට මාරුකර යවන ලදි. හරීෂ්ගේ මව වන එම්.පී. ධම්මිකා මල්කාන්ති මහත්මිය මෙසේ කීවාය.
" පොලිසියෙන් වෙඩි තියලා තියෙන්නේ මගේ බාල දරුවාට. මට ළමයි හය දෙනෙක් ඉන්නවා. පුතා ඉස්කෝලේ ඇරිල ආවෙ තුනට විතර. තුඩාව පන්සලේ පෙරහරට පුතා ඇතුළු යහළුවෝ සුදානම් වුණා. පුතා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තාත්තාගෙන් බයිසිකලේ ඉල්ලුවා මොනර පිල් ගේන්න යන්න කියල. තාත්තා වැඩකට යන්න තියෙන නිසා බයිසිකලේ දෙන්න බැහැ කිව්වා. ඒ පාර පුතා හා මං පයින් යන්නම් කියල ගිහිල්ලා තමයි අර කට්ටියගේ ත්‍රීවීල් එකේ ගිහින් තියෙන්නෙ. අපේ ගෙදර වීල් එකක් නෙවෙයි ඒක. මගේ දරුවට සාධාරණය ඉටුකර දෙන්න. මගේ අසරණ පුතාට සිද්ධ වුන දේට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. ඒ වගේම මගේ දරුවගෙ ජීවිතය බේරෙන්න ඕන. වෙඩිල්ලක් පත්තු වුණා කියලා කියන්න බැහැ. අර දරුවෝ කියනව එළියට අරගෙන තමයි වෙඩි තිබ්බෙ කියල. නිකම් පත්තු වුණා නම් ඔළුවට පත්තු වෙන්න විදියක් නෑනේ. දරුවා එළියට ඇදල තමයි අරගෙන තියෙන්නෙ. මම අද දැක්ක කකුලෙ සීරීම් තියෙනව. කලින් තිබුණෙ නැහැ. මෙතන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. අර ඩ්‍රයිවර් පුතාත් ඉඳිද්දි තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. මගේ දරුවාට විතරක් මොකක්ද? මේ උනේ ඔය වෙඩි තියපු නිලධාරියා කවුද? කියලවත් අපි දන්නෙ නැහැ. ඔය සිද්ධියෙන් පස්සෙ තමයි දන්නෙ ඒ කවුද ? කියල. මම කියන්නෙ මගේ දරුවාට වෙච්ච අසාධාරණයට නිලධාරියා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියල. මේ දේ කරපු නිලධාරියාට උපරීම දඬුවම ලබා දෙන්න ඕන. අපි ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන්. මහත්තයා කුලී වැඩක් කරල තමයි අපි ජීවත් කරන්නෙ. ගෙදරට ආවහම පේනවා අපි ඉන්න හැටි“යැයි ඕ පැවසුවාය.
ගිනි අවියක් අත දරන කුමන හෝ නිලධාරියෙකුට පවතින නීතිමය හෝ විනයමය රාමුව එහා යමින් සිදු කරන ලද වෙඩි තැබීම සැබැවින්ම පොලිස් දෙපාර්මෙන්තුවට කළු පැල්ලමක් එක්කර ඇත්තේය. වෙඩි තැබීමේ සිද්ධිය සිදුවී හෝරාවක් යන්නට මත්තෙන් හරීෂ් වෙනුවෙන් සාධාරණය ඉල්ලා ගම්වාසීන් තිහගොඩ පොලිසිය වෙත පැමිණියෝය. ජනතාවට පොලිසියට ඇතුළුවීමට ඉඩ නොදෙන්නට එහි සිටි නිලධාරීන්ට නොහැකි විය. දුක වේදනාව කේන්තිය පිට කිරීමට කීපදෙනකු පියවර ගත්තේ පොලිසියේ ජීප් රථයට ද අලාභහානි සිදු කරමිනි. පැය දෙකකට ආසන්න කාලයක් ජනතාව පොලිසිය තුළ රැඳී සිටියේ හරීෂ් වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතු බව පවසමිනි. දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ තිහගොඩ පොලිසියට පැමිණීමෙන් එතෙක් එහි රැඳී සිටි හරීෂ්ගේ ඥාතීන්ට යම් සහනදායි පිළිතුරක් ලැබිණි.
“මේ සිද්ධියෙන් තුවාල ලබා තිබෙන්නේ පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්. මේ සිද්ධිය පිළිබඳව අපි විශේෂ විමර්ශනයක් සිදු කරනවා. කිසිසේත් මෙය සාමාන්‍ය සිද්ධියක් විදියට අපි සලකන්නේ නැහැ. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීම සිදුකළා. ඒ වගේම ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු හෙට දින අපි අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඔහුට එරෙහිව සියලුම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවලා මේ සම්බන්ධව සියලුම සාක්ෂි සටහන් කරගෙන පරීක්ෂණ පවත්වනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙන බව“ අජිත් රෝහණ අවධාරණය කළේය.
දැනටමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු උප පොලිස් පරික්ෂක සුනිල් ගමගේ නැමැත්තා ලබන 4 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේය. එසේම ඔහු වැඩ තහනමකට ලක්කර ඇත්තේය. මේ අතර මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාල නිලධාරින්ද පැමිණ වෙනමම පරීක්ෂණයක් පවත්වනු ලබයි.
හරීෂ් හංසක දේශාන් තවමත් කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ හිසේ අභ්‍යන්තරයට සිදුවී ඇති හානිය බරපතළය. හරීෂ්ට ඉක්මන් සුවය ලැබේවායි යන්න හැමෝගේම එකම ප්‍රාර්ථනය යි.