කඳුළෙන් නිම වූ වඩුගම ගිනි බෝල සෙල්ලම | සිළුමිණ

කඳුළෙන් නිම වූ වඩුගම ගිනි බෝල සෙල්ලම

- ගිනි බෝල විදුලි වයරයක ගැටී ඩිහාන් අවසන් ගමනේ
- අපොස සා.පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි තරුණයෙක්

බොදු ජනතාව සිදු කරන පින්කම් අතර කඨින පූජාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. භික්ෂූන් වහන්සේලා වස් වසා වස් පවාරණය සිදු කරමින් පවත්වන කඨින පූජෝත්සවය වර්තමානය වන විට බොදු ජනතාවගේ ගෞරවනීය පින්කමක් බවට පත්ව තිබේ.

මේ නිසා කඨින චීවරය වැඩම වීම සඳහා අලංකාරවත් පෙරහර සංවිධානය කිරීම බොහෝ බැතිමතුන්ගේ ප්‍රධාන කාර්යයකි. බාල මහලු වැඩිහිටි සියල්ලන්ගේම එකතුවෙන් අලංකාරවත් පෙරහර නිර්මාණය වන්නේ ඒ අදහස මුදුන්පත් කර ගනු පිණිසය. ඒ අනුව කළුතර දොඩන්ගොඩ වඩුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ ද කඨින චීවර පූජා පෙරහර සංවිධානය වන්නේ මෙකී අදහස පෙරදැරිවය. එහෙත් එදින පැවැත්වුණු අලංකාරවත් කඨින චීවර පූජා පෙරහර කනගාටුදායක සිදුවීමකින් නිම වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.

පෙරහර මඟ අලංකාරය පිණිස ඇද තිබූ විදුලි පහන් වැලක ගිනි බෝල කරකැවූ තරුණයා ද ගැටෙන්නේ ඔය අතරය.

ගත වූයේ නිමේෂයකි. පෙරහර මඟ ගිනි බෝල එළියෙන් ආලෝකවත් කළ මේ තරුණයා සිය ජීවන ගමන එතැනින් නිම කරන්නේ ප්‍රදේශවාසීන් කම්පාවට පත් කරවමිනි.

කඨින පෙරහරේ ගිනි බෝල කරකැවීමට ගොස් මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කළුතර දොඩන්ගොඩ හර්මන්වත්ත පදිංචිව සිටි ඩිහාන් කවිඳු වික්‍රමරත්නය. දොඩංගොඩ මිරිස්වත්ත මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඩිහාන් පසුගිය අ.පො.ස සා/පෙළ විභාගයට මුහුණ දී ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටියේය.

හර්මන් වත්තේ පදිංචි ගාමිණී වික්‍රමරත්න සහ ධම්මිකා වික්‍රමරත්න ඩිහාන්ගේ මවුපියෝය. 2005 වසරේ අප්‍රේල් මස 18 වන දින උපත ලැබූ ඩිහාන් කුඩා කල සිටම ආගමික ළැදියාවෙන් පසුවූ දරුවෙකි. සිය පුතුගේ වියෝව පිළිබඳව සොවින් තැවෙන ධම්මිකා වික්‍රමරත්න කියන්නේ මෙවැනි කතාවකි. 

"මගේ දරුවාට මේ දේ වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. දරුවා කළේ හොඳ වැඩක්. පින්වන්ත වැඩක්. ඒත් එයා අකාලයේ නැති වුණා. මේ දුක අම්මා කෙනෙක් හැටියට මම දරාගන්නේ කොහොමද?“යැයි පවසමින් ඇය වැළපෙන්නේ එය දකින අයගේ ද සිත්සතන් කම්පා කරවමිනි.

ඩිහාන් සිය මිතුරු මිතුරියන් ඉතා කුළුපගව ඇසුරු කළ අයෙකි. ඔහු වියෝ වූ දා සිට ඔහුගේ දේහය අබියස සිය දහස් ගණනින් මිතුරු මිතුරියන් එක්රැස් වූයේ එනිසාය.

ඩිහාන් සමඟ ගිනි බෝල කරකැවූ සෙසු මිතුරන් ඩිහාන් මුහුණ දුන් කනගාටුදායක සිදුවීම විස්තර කළේ මෙසේය.

"මේ දවස්වල පන්සල්වල කඨින උත්සව පැවැත්වෙනවා. ඉතින් කඨින චීවරය අරන් රාත්‍රී කාලයේ පෙරහරවල යනවා. අපි කට්ටිය කල්පනා කළා මේ පෙරහරවලට ආලෝකයක් එක් කරන්න ඕන කියලා. අපි ගිනි බෝල සකස් කරගෙන අවට පන්සල්වල කඨින පෙරහරවලට ගියා. ඒක කළේ හරිම ආශාවෙන්. ඒවා බලලා ගොඩක් අය සතුටු වුණා. පහුගිය දවසේ අපි 'වඩුගමට' ගියේ ගිනි බෝල කරකවන අපේ යාළුවෙක් එහේ නිසා. පෙරහර පවත්වන වෙලාවේ වැස්සකුත් තිබුණා. පෙරහර වැහි පොදේම ගමන් කළා. ඩිහාන් ළග තිබුණෙ වේවැල්වලින් හදපු ගිනි බෝල වැලක්. ටික දුරක් යද්දි එයා ඒක මාරු කරලා යකඩින් හදපු එකක් ගත්තා. ඔය සිද්ධිය වුණ තැනදී අනිත් අය ගිනි වළලු උඩ දැම්මා. ඩිහාන් ගිනි වළල්ල අතේ තියාගෙන අයිනට වුණා. එතකොට තමයි ගහක තිබුණු බල්බ් වැලේ ගිනි වළල්ල ගෑවුනේ. "

වෙවැල් වළල්ල ඩිහාන් අත තිබුණේනම් මේ ඉරණම ඩිහාන්ට අත් නොවන බවත් කනගාටුවට පත් මිතුරෝ පැවසූහ. ඩිහාන්ට විදුලි සැර වැදුණු මොහෙතේ විදුලිය විසන්ධි වීමක් නොවුණේ කුමක් නිසාද යන්න ගැටලු සහගත බවත් ඔවුහු පැවසූහ.

පොදු කටයුතුවලදී ද ඩිහාන් යහළුවන් සමඟ පෙරට විත් ඒවාට උදවු කිරීමට මැලි වූයේ නැත. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූ විට උසස් අධ්‍යාපනයට සිහින මැවූ ඩිහාන් කොරියානු භාෂාව ප්‍රගුණ කිරීමට ද කටයුතු කළේය.

මෙලොව උපත ලද ඕනෑම අයෙකු කවදා හෝ මරණය කරා යා යුතුය. එයට උස් මිටිකම් හෝ වයස් බේදයක් නොමැත. මරණය සඳහා පාදක වන සිදුවීම කුමක් වුව ද සනාතන දහමට අභියෝග කළ නොහැකිය. හිරු බැස යන සැන්දෑවේ සියල්ලන්ගෙන්ම සමුගත් ඩිහාන් දොඩන්ගොඩ රෙජ්ණාවත්ත සුසාන භූමියේදී දහස් ගණනකගේ සෝ සුසුම් මැද අවසන් ගමන් ගියේ මුළු ගමක්ම හඬවමිනි.

කපිල කුලසිංහ - කටුකුරුන්ද සමූහ

Comments