හදාගත්ත පුතා ලක්ෂ 31ක රන්වලට විදලා | සිළුමිණ

හදාගත්ත පුතා ලක්ෂ 31ක රන්වලට විදලා

- රන් බඩු උකස් කළේ රුපියල් ලක්ෂ 8කට
- නිවැසියන් විනෝද චාරිකාවක නිරත වෙද්දි කළ සොරකමක්

ල්ලෑල්ල, වේගල්වත්ත ප්‍රදේශයේ පදිංචි 'ගයාන්' හොරණ දික්හේනට එන්නේ අට හැවිරිදි වියේදීය. එතැන් පටන් ඔහුට රැකවරණය ලබා දී හදාවඩා ගන්නේ හොරණ, මූණගම, දික්හේනපුර ඔහු සිටින නිවෙසේ කාන්තාව විසිනි. ඇය ගයාන්ට සැලකුවේ ඇගේම පුතුට සලකන ආකාරයටමය. ක්‍රමයෙන් උස් මහත් වූ ගයාන් ගෙදර වැඩපළ මෙන්ම වතුපිටිවල වැඩ ද සිදු කරමින් නිවැසියන්ට මහත් සහයෝගයක් ලබා දීමට කටයුතු කළත් හොරණ නගරයට පැමිණි අවස්ථාවල ඔහු නොදැනීම වැටුණේ 'පාප මිතුරන්ගේ' ඇසුරටය. 

මේ නිසා ඔහු මත්කුඩුවලට ඇබ්බැහි වී ඇති බව නිවැසියන් දැන සිටියේ නැත. ගයාන්ගේ මෙම පුරුද්ද කොතරම් වැඩි වූවාද කියතොත් මොහු කොළඹ මෝදර ප්‍රදේශයට ගොස් මත් ලෝලීන් ඇසුරු කළේය. ඒ නිවැසියන්ට හොර රහසේය. මේ නිවැසියන් සතුව නිවෙස් දෙක තුනක් ඇති අතර ඉංගිරිය ප්‍රදේශයේ ද වසා දැමූ නිවෙසක් තිබෙන බැවින් එම නිවෙස පිහිටි වතුවල වැඩ කිරීමට යාම ගයාන්ගේ සිරිතය. මේ නිසා ඔහුගේ ගමන් බිමන් රහසිගතව සිදු කිරීමට අපහසු වූයේ නැත.

නිවැසි කතගේ පුතු විවාහ වී එම ඉඩමේ වෙනම පදිංචිව සිටි අතර ඔහු මේ වන විට සිටින්නේ විදේශගතවය. ඒ නිසා පුතුගේ නිවෙසේ පදිංචිව සිටියේ ලේළිය පමණි. ලේළිය පසුගියදා නැන්දම්මා ඇතුළු පවුලේ පිරිස විනෝද චාරිකාවක් යන්නේ නිවෙස වසා දමා ගයාන්ට ඉංගිරිය නිවෙසේ සිටින ලෙස දැනුම් දෙමිනි.

ලේළිය සතුව වටිනා ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් තිබෙන බව ගයාන් දැන සිටියේ කාලයක සිටය. මත්කුඩුවලට මුදල් සෙවීමේ මඟක් නොමැතිව සිටි ඔහුට මතක් වූයේ මෙම රන් ආභරණ පිළිබඳවය.

විනෝද ගමනින් පසුව නිවෙසට පැමිණි ලේළියගේ ඉහ මොළ රත් වෙන්නේ තම ස්වර්ණාභරණ සහ මුදල් අතුරුදන්ව ඇති බව දැන ගැනීමෙන් පසුවය. ඇය මේ පිළිබඳ හොරණ පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරන්නේ ඒ නිසාය.

එදා සිට දරුවකු මෙන් හදා වඩා ගත් විසිනව හැවිරිදි වියේ පසු වූ තරුණයෙකු වන ගයාන් කෙරෙහි ඔවුන්ගේ හිතේ කිසිම සැකයක් ඇති වීමට හේතුවක් තිබුණේ නැත. ඔවුන් ගයාන්ට සැලකුවේ පවුලේම සාමාජිකයෙකු ලෙසය.

මේ පිළිබඳව හොරණ පොලිසියේ විමර්ශන මන්දගාමි වන ලකුණු පහළ වූ බැවින් කළුතර අපරාධ කොට්ඨාසයට මෙම කාර්ය බාරදීමට ඉහළ නිලධාරීන් කටයුතු කළේ පොලිස් පරීක්ෂක තිලංග සංජීවගෙන් සැදුම්ලත් එම ඒකකය විසින් විසඳු මෙවැනි භාරධූර කාර්යන් ඕනෑතරම් ඇති නිසාය.

කළුතර අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ඩී. ක්‍රිෂාන්ත, සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 2 චන්ද්‍ර පද්මලාල් යන අයගේ අධීක්ෂණය සහ උපදෙස් මත කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උප පොලිස් පරීක්ෂක අතුල කුමාරට මෙහි විමර්ශන කටයුතු භාර දෙන්නේ ඔහු අතගැසූ වැඩක් වැරදි ගොස් නොමැති නිසාය.

පැමිණිල්ලට අනුව තොරතුරු සොයා බැලූ උප පොලිස් පරීක්ෂකවරයා මෙම නිවැසියන් පිළිබඳ සහ අදාළ නිවෙසට යන එන අය පිළිබඳ කරුණු සොයන්නට පටන් ගත්තේ රහසිගතවය. මෙහිදි ගයාන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට අතුල කුමාර කටයුතු කළේය.

“සර් ඒ ගෙදර හදාගත්ත ගයාන් කියන තරුණ හාදය අතේ මේ දවස්වල සල්ලි ටිකක් වැඩිපුර ගැවසෙනවා වගේ පේනවා. මිනිහා‍ ගමන් බිමන් යනවත් වැඩියි වගේ...“

ඒ ගයාන් අත වෙනදාට වඩා වැඩිපුර මුදල් තිබෙන බවට ඔත්තුකරුවෙකුගෙන් උප පොලිස් පරීක්ෂකට ලැබුණ තොරතුරු අනුවය.

“ඇහැ ගහගෙන ඉන්නවා... මිනිහා කරන කියන දේ ගැන මට කියනවා...“

උප පොලිස් පරීක්ෂක අතුලගෙන් ඔහුට උපදෙස් ලැබුණේ මෙම තරුණයා ගැන ඇති වූ සැකය කිසිවෙකුට නොපෙන්වමිනි.

“සර් ගයාන් මේ ටිකේ ගමේ ගිහින් ඉඳල... අන්න ඇවිත් පොකුණුවිට ඉන්නවා...“ 

උප පොලිස් පරීක්ෂක මධූෂාන්, සැරයන්වරුන් වන 55301 ගුනේන්ද්‍ර, 41104 සමන්තිලක, කොස්තාපල්වරුන් වන 69479 ප්‍රසන්න, 69033 ඒකනායක, 69918 වසන්ත, 88400 පත්මකුමාර සහ 98179 මුදන්නායක යන නිලධාරීන් සමඟ අතුල කුමාර පිටත් වෙන්නේ වැටලීම සඳහා සූදානමිනි.

පොලිස් කණ්ඩායම ගයාන් අත්අඩංගුවට ගන්නා විට ඔහු පසු වූයේ තැති ගත් ස්වභාවයෙනි. ඔහු සොරකම සිදු කර කලබලයට ස්වර්ණාභරණ වලින් කොටසක් උකස් කර තිබුණේ අඩු මුදලටය. ඔහු එදින හොරණට පැමිණ තිබුණේ ඒවා වැඩි මුදලකට උකස් කිරීම සඳහා නැවත මුදල් ගෙවා බේරා ගැනීමටය. ඔහුගේ කරේ එල්ලාගෙන තිබු ගමන් මල්ලේ තිබී 'ප්ලේන් වළලු' තුනක්, කැටයම් වළලු දෙකක් සහ සුදු ගල් සහ රතු ගල් අල්ලන ලද කරාබු ජෝඩු දෙකක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. මේවා ද එදින සොරකම් කරන ලද ඒවාය. එම බඩුවල වටිනාකම අට ලක්ෂ තිස් දාහක් පමණය.

සොරකම් කරන ලද ස්වර්ණාභරණ පොදිය රැගෙන ගයාන් යන්නේ කොළඹ මෝදර ප්‍රදේශයටය. එහිදි කුඩ්ඩන් සමඟ එකතුව ඔවුන්ගේ උපකාරයෙන් ඒවා උකස් කරන්නේ කොළඹ, වත්තල සහ කෑගල්ල ප්‍රදේශවලටය. මිතුරන් සමඟ හිතේ හැටියට කාබි විනෝද වූ ගයාන් රන් මාල, වළලු, මුදු, කරාබු මෙන්ම රිදි මාල, වළලු, හවඩි, ඇතුළු දේපළ මෙලෙස අදාළ නිවසින් සොරකම් කර ඇත්තේ කිසිම අනුකම්පාවකින් තොරවය. පොලිසිය විසින් එම වටිනාකම ගණනය කර බැලීමේදි තහවුරු වී තිබෙන්නේ ඒවායේ වටිනාකම රුපියල් තිස්එක් ලක්ෂ හතළිස් පන්දාහක් පමණ වන බවයි.

මත්කුඩු නිසා උන්හිටි තැනද අහිමි කරගත් ගයාන්ට අවසානයේ ලගින්නට සිදු වූයේ මහ උළු ගෙදර වීම පුදුමයට කරුණක් නොවන්නේ ඊට වඩා සුදුසු තැනක් වෙන නොමැති බැවිනි.

Comments