රතිඤ්ඤා කරලෙන් ඇවිළෙන ඌරගහ ඝාතන රැල්ල | සිළුමිණ

රතිඤ්ඤා කරලෙන් ඇවිළෙන ඌරගහ ඝාතන රැල්ල

සමන් කුමාර ඝාතනය වූ කුරුඳු වාඩිය සහිත නිවෙස

- යක්කලමුල්ලේ 'මරුවා' කුරුඳු වාඩියේදී මරුවා අරන් ගියා
- කුරුඳු වාඩියේදී සිදු වූ ඝාතනයත් ඌරගහ මිනිමැරුම්වල දිගුවක්
- සමන් කුමාර අවසන් ගමන් යැවූ ඝාතකයන් සොයා පොලිස් විමර්ශන
- ආරවුල පටන් ගන්නේ 2015 වසරේ නොවැම්බර් 03 වැනිදා

කුණු පළාතේ ක්‍රියාත්මක වන නාඳුනන තුවක්කුකරුවන්ගේ ක්‍රියාකාරකම්හි නිමක් නැත. දකුණේ අපරාධ රැල්ල මර්දනය සඳහා පොලිසිය මොන තරම් උත්සාහ කළද නාඳුනන තුවක්කරුවන් අතින් පත්තු වන උණ්ඩවලට ‘තිත‘ තැබිය නොහැකි බවක් පෙනෙන්නේ ගෙවී ගිය දින කීපයේදී නැවතත් දකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුවීම නිසාය. ඉකුත් 12 වැනිදා අහුන්ගල්ලේදි සිදු වූ වෙඩි තැබීමේදි වෙඩික්කරුගේ ඉලක්කය සපුරාගත නොහැකි වීමෙන් අදාළ පුද්ගලයා අනූ නවයෙන් ජීවිතය බේරා ගත්තේය. ඉකුත් 19 වැනිදා දහවල් 12ට පමණ ගාල්ල, යක්කලමුල්ලේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු ඝාතනයට ලක්විය. එහිදී සිවු හැවිරිදි දරුවකු සහ එම දරුවාගේ පියාගේ සහෝදරයකුද බරපතළ තුවාල ලබා රෝහල්ගත කරන ලදි. 

ගාල්ල දිසාවේ යක්කලමුල්ල, කරුවලගල, මාගෙදර කුරුඳු වාඩියක දෛනික වැටුපට කුරුඳු තළමින් සිටි සය දෙනෙකුගෙන් යුත් පිරිස අතර සිටි 33 හැවිරිදි 'වෙඩික්කාරගේ සමන් කුමාර' හෙවත් 'මරුවා' නමැත්තා එම වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්විය. ඔහු කරන්දෙණිය, ඌරගස්මංසන්දියේ පදිංචිකරුවෙකි. සමන් විවාහ වී සිටියේ යක්කලමුල්ල, කරුවලගල පදිංචි කාන්තාවක සමඟිනි. සමන්ට ඒකේ 47 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ ඌරගහ සිට යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු බව යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේවගේ සිදු කළ විමර්ශනවලදී හෙළි විය. එසේම එම ඝාතනයද ඌරගස්මංසන්ධිය පොලිස් වසමේ ඉකුත් කාලයේ සිදු වූ ඝාතනවලට අදාළ ව සිදු වූ ඝාතනයක් බව පොලිස් විමර්ශනවලදී හෙළි වූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය. එම තිදෙනා වෙඩි ප්‍රහාරය එල්ලකොට පලා යද්දී මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවකු ද බිය ගන්වා එම යතුරුපැදිය පැහැරගෙන ගොස් ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි විය. සමන්ගේ ඝාතකයන් සොයා පොලිසිය විමර්ශන සිදු කරන බවත් නුදුරේදීම ඝාතකයන් කොටුකරගත හැකි වනු ඇති බව විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කුරුඳු වාඩිය ඇතුළේදි ඝාතනය වූ සමන් කුමාර ද මිනීමැරුම් චෝදනාවකට බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත මුදා හැරීමෙන් පසුව පැමිණ සිටි අයෙකි. වසර 7ක පමණ කලක සිට ඌරගස්මංසන්ධිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේ සැප්තැම්බර් මස 06 වැනිදා ඇල්පිටිය, අටකොහොට, බෝගහ වංගුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගමන් කරමින් සිටි 41 හැවිරිදි රංජිත් ජයවර්ධන බස් රථය ඇතුළේදීම වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි පස්දෙනාගෙන් සමන් කුමාර ද එක් අයෙකි. සමන් කුමාරට අමතරව එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පස්දෙනාගෙන් කෙනෙකු වූ 30 හැවිරිදි තොටමුණගේ ධම්මික විමලවීර ඉකුත් අගෝස්තු මස 24 වැනිදා සවස් යාමයේ ඌරගස්මංසන්ධියේදී මරා දමන ලදි. ධම්මික විමලවීර ඌරගස්මංසන්ධියේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ සැලුන් එකක් පවත්වාගෙන යමින් සිටි අයෙකි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු ඉහළ මහලේ ධම්මික කොණ්ඩා කපන ස්ථානයටම ගොස් ඔහුට වෙඩි තැබීය. වෙඩි තැබීමත් සමඟම එම ස්ථානයෙන් පලා යාමට තැත් කළ ධම්මික ඉහළ මහලේ සිට පහළ මහලේ ඇස්බැස්ටස් ෂීට් ඇතුරු වහලයට පැන තිබිණි. එම වහලේ ෂිටයක්ද කඩාගෙන වැටි සිටි ධම්මිකට වෙඩි තබා ඝාතනය කර තිබුණේ වහල මත සිටියදීමය. එම ඝාතනය 2019 සැප්තැම්බර් 06 වැනිදා අටකොහොටේදී රංජිත් ජයවර්ධන ඝාතනයට එකට එක කිරීමක් සේම ඉකුත් 19 දා යක්කලමුල්ලේදී ඝාතනය වූ සමන් කුමාරගේ ඝාතනයත් රංජිත් ජයවර්ධනගේ ඝාතනයට එක එක කිරීමක් ලෙස සැලකිය හැකිය.

ඌරගස්මංසන්ධියේදී වසර හතක් වැනි කාලය ඇතුළතදී මෙසේ සිදු වූ ඝාතන රැල්ල සමන් කුමාරගේ ඝාතනයත් සමඟ 8 දක්වා ඉහළ ගොස් ඇත. එම ඝාතන රැල්ල ආරම්භයේ සිට සමන් කුමාරගේ ඝාතනය දක්වා දිග හැරෙන්නේ මෙවැනි කතාවකි.

2015 සිංහල අවුරුදු අවසන් වූ සැණින්ම වෙසක් උත්සවයද එළැඹෙන්නට නියමිතව තිබූ විශේෂ වසරක් ලෙස සැලැකිණි. ඉන්දික මහේෂ් රණවීර ඌරගස්මංසන්ධිය කුඩා ඌරගහ පදිංචි තරුණයෙකි. ඉන්දිකගේ නිවෙස පිහිටියේ ඌරගස්මංසන්ධිය ඉහළ මාලවල, රන්තොටුවිල පදිංචි සමන් සුරේෂ්ගේ නිවෙසට කිලෝමීටර් 5ක පමණ දුරකිනි. ඔවුහු සම වයස්හි යාබද ගම්වල තරුණයයෝය. වඩු වැඩ කළ සමන් සුරේෂ් කලක් යුද හමුදාවේද සිටි අයෙකි. සමන්ට බාල සහෝදරයෙක් ද විය. ඔහු සුරංග සුරේෂ්ය. සුරංග සුරේෂ් ඌරගහ රථවාහන ‘ටින්කරින්‘ වැඩපළක් පවත්වාගෙන ගිය අහිංසක තරුණයෙකි. ඔහුගේ මිතුරා උෂාන් රන්දිකයි. උෂාන් ‘වලිය‘ට බර අයෙකි. 2015 වසරේ අප්‍රේල් 16 වැනිදා ඌරගස්මංසන්ධිය, නුගුඩුමුල්ලේදී අවුරුදු උත්සවයක් පැවැත්විණි. එදින සමන් සුරේෂ් විසින් දල්වන ලද රතිඤ්ඤා කරලක් ඉන්දික මහේෂ්ගේ දෙපා අසල පුපුරා ගියේ අත් වැරැදීමකිනි. ඊට පෙර අසල්වාසි ගම්වල තරුණයන් ලෙස කිසිම ගැටුමකින් තොරව ජීවත් වූ සමන්ලාගේ පාර්ශ්වය සහ ඉන්දික මහේෂ්ලා අතර එම රතිඤ්ඤා කරල පුපුරා යාමත් සමඟ ගැටුමකට මුල පිරිණි. මුල් දිනවලදී දෙපාර්ශ්වය අතර අතින්-පයින් ගැටුම් ඇති විය. ඉන්දික මහේෂ් ඌරගහ, මාලවල වැලි ව්‍යාපාර කටයුතුවල නිරත තොම්මයාහකුරු සරත් කුමාර හෙවත් බොස් සරත්ගේ ව්‍යාපාරයන්ට සහාය දෙමින් ඔහු ළඟ රැකියාව කළ අයෙකි. ඉන්දික 'බොස් සරත්ගේ' ව්‍යාපාරවලට අයත් වාහනවල රියැදුරකු ලෙස සේවය කළේය. ඉන්දිකලාගේ පාර්ශ්වයේ ‘බොසා‘ ලෙස සරත් කටයුතු කළ හෙයින් ඔහු ගම්වාසින් අතර ‘බොස් සරත්‘ ලෙස ප්‍රකටව සිටියේය. සරත් මුල් කාලයේ විවිධ නොහොබිනා ක්‍රියාවන්හිද නිරතව නඩුහබවලටද පැටලී සිටියේය. එහෙත් පසුව ඔහු කිසිම ගැටුමක මැදි නොවී සාමකාමි දිවි පෙවෙතක් ගත කෙළේ ඌරගහ ජනයාගේද හිත් දිනා ගනිමිනි. 

ඉන්දික සහ සමන්ලාගේ ගැටුමේ පළමු මාරක ගැටුම ඇතිවන්නේ 2015 වසරේ නොවැම්බර් මස 03 වැනිදායි. එදින ‘ටින්කර්‘ වැඩපළේ වැඩට ගිය සමන්ගේ බාල සොහොයුරු සුරංග අසනීප තත්ත්වයකින් පසු විය. ඔහු සිය මිතුරා උෂාන්ද කැඳවාගෙන යතුරුපැදියෙන් ආරෝග්‍ය ශාලාවට යමින් සිටියේය. ඒ වන විට උෂාන්, සුරංගටත් නොකියා ඉන්දික මහේෂ්ලාගේ පාර්ශ්වය සමඟ ගැටුමක් ඇතිකර ගෙන තිබිණි. එදින එම ගැටුමට මැදි වූ ඉන්දිකගේ පාර්ශ්වයේ එම තරුණයන් ඒ බව ඉන්දිකගේ කුඩා ඌරගහ නිවෙසට ගොස් ඔහුට පවසා තිබිණි.

“ඉන්දික අයියා උෂානයා අපට ගැහැව්වා... ඒකට මොකක්හරි කරන්න ඕනේ...“ කේන්තිය ඉහවහා ගිය ඉන්දික, බොස් සරත්ගේ නිවෙසට ගියේය. බොස් සරත්ගෙන් ඔහු ගිනිඅවියක්ද ඉල්ලා ගත්තේය. අනතුරුව ඉන්දික ඔහුගේ මිතුරෙක් වන අසංක සමඟ එක්ව එදින පෙරවරුවේ ආරෝග්‍ය ශාලාවට යමින් සිටි සුරංග සහ උෂාන් කොටුකර ගත්තේ ඌරගස්මංසන්ධිය හඹුරුගල ප්‍රදේශයේදීය. බොස් සරත්ගෙන් රැගෙන ආ පිස්තෝලයක්ද ඉනේ ගසාගෙන සිටි ඉන්දික යතුරුපැදියකින් ආරෝග්‍ය ශාලාවට යමින් සිටි සුරංග සහ උෂාන් කොටුකරගෙන දෙදෙනාටම වෙඩි තබා ඝාතනය කරන්නට තරම් සැහැසි විය. ඉන්දික මහේෂ් විසින් සිදු කළ එම වෙඩි තැබීමෙන් 27 හැවිරිදි සුරංග සුරේෂ් සහ 26 හැවිරිදි උෂාන් රන්දික එම ස්ථානයේදීම මරණයට පත් විය. ඒ සමඟම ඉන්දික මහේෂ් සහ ඔහුට සහාය දුන් අසංක ඌරගහ පොලිසියට බාර වූහ. පොලිසිය ඒ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙළේය. අහිංසකයකු වූ සිය සොහොයුරු සුරංග සහ ඔහුගේ මිතුරු උෂාන් ඝාතනය කිරීම නිසා සමන් සුරේෂ් මාරාවේශ විය. සමන් සුරේෂ් දින දින සිතුවේ නිරපරාදේ ඝාතනය වූ තම සොයුරු සුරංගගේ සහ උෂාන්ගේ ඝාතකයා ඉන්දික මහේෂ් බන්ධනාගාරගතව සිටින හෙයින් ඊට උදවු කළ අයගෙන් හෝ පළි ගැනීමටයි.

ඒ අනුව සමන් සුරේෂ්ට සැලවී තිබුණේ සුරංග සහ උෂාන් ඝාතනයට ගිනිඅවිය දී තිබුණේ බොස් සරත් බවටයි. දෙදෙනාගේ ඝාතනයට හරියටම මසක් සපිරුණු එනම් 2015 දෙසැම්බර් 04 වැනිදා පෙරවරුවේ සමන් සුරේෂ් විසින් බොස් සරත්ව ඌරගහ, ගල්මංගොඩවත්ත මාර්ගය අසලදී ඝාතනය කළේ සුරේෂ් සහ උෂාන්ගේ ඝාතනයට ලෙයට ලෙය පළිගැනීමක් ලෙසය. සරත් ඝාතනය කිරීමෙන් නොනැවතුණු සමන් සුරේෂ්, සරත්ගේ මළකඳ ඔහු ඝාතනය වූ ස්ථානයේ තිබියදී හිස කොටස ඌරගස්මංසන්ධිය, ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල මාර්ගයට ගෙනැවිත් දැමීය. එම ස්ථානය බොස් සරත්ගේ නිවෙසටද මීටර් 150ක් පමණ දුරකින් පිහිටි අතර ඔහුගේ හිස තිබූ ස්ථානය සමන්ගේ සොහොයුරා සහ ඔහුගේ මිතුරු උෂාන්ද ඝාතනය වූ ස්ථානයයි. සමන් සුරේෂ් අතින් ඝාතනය වූ බොස් සරත් ඌරගහ ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහු ප්‍රදේශයේ දන්සල් දෙමින්, තොරණ ඉඳිකරමින් කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙක්ව සිටියේය. එහෙත් ඔහුගේ මුල් කාලයේ දිවිය එතරම් හොඳ නොවීය. බොස් සරත් ඝාතනයෙන් දින තුනකට පසු සමන් සුරේෂ් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ පාළුවට ගිය තේ වත්තක නිවෙසක සැඟවී සිටියදිය. 

සමන් සුරේෂ් බන්ධනාගාරගත වෙද්දී ඉන්දික මහේෂ්ද බන්ධනාගාරයේ පසු විය. මාස ගණනකට පසු ඉන්දික ඇප මත මුදා හැරීමෙන් පසුව පැමිණෙන්නේ බන්ධනාගාරයට ගිය පුද්ගලයාට වඩා හාත්පසින් ම වෙනස් ‘වැඩ්ඩෙක්‘ වෙමිනි. ඒ බන්ධනාගාරයේදී ඇතිකර ගත් සබඳතා මත එවකට පාතාලයේ මහ කෙරුමාට ඇඳගෙන සිටි මාකඳුරේ මධුෂ්ගේ තවත් ‘ගෝලයෙක්‘ ලෙස අභිෂේක ලබමිනි. ඒ අනුව ඉන්දික මහේෂ් ඌරගහ අවට පෙදෙස්වල මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන නියමුවා බවට ද නිතැතින්ම පත් විය. කලකට පසු සමන් සුරේෂ්ද බන්ධනාගාරයෙන් මුදා හැරිණි. සමන්ගේ මිතුරෙක් වූයේ සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස සේවය කළ චමිල දීපාල් රණසිංහයි. චමිල ඒ වන විටද යම් යම් චෝදනා යටතේ කිහිප වරක්ම බන්ධනාගාර ගතවද සිටි අයෙකි. සමන්ගේ සොහොයුරු සුරංග සමඟ ඝාතනය වූ උෂාන්, චමිලගේ ඥාති සහෝදරයෙකි. චමිල දීපාල් දකුණේ පාතාල නායකයෙක් වූ කොස්ගොඩ සුජීගේ ළඟම හිතවතෙකි. ඔහුට එම හිතවත්කමට මඟ පෑදි තිබුණේ සුජිගේ ප්‍රධානම සහ විශ්වසවන්තම ගෝලයෙක් වූ ප්‍රදීප් කුමාර හෙවත් ඌරගහ මයිකල් හරහායි. දකුණේ ඝාතන වැලකටම ප්‍රධාන වගකිවයුත්තෙක් වන මයිකල් ද ඒ දිනවල රටින් පලා ගොස් සිටියේය. මයිකල් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති 48 හැවිරිදි ඩොනල්ඩ් සම්පත් රණවීර 2018 වසරේ ජූනි 08 වැනි දා ඝාතන කිරීම සඳහා, ඝාතකයන්ට ගිනිඅවිය සපයමින් එම ඝාතනය පිටරට සිට මෙහෙයවූ තැනැත්තා බවත් පසුව පොලිසිය අනාවරණය කරගත්තේය. චමිලගේ මවගේ තාත්තා හෙවත් ඔහුගේ සීයා සහ ප්‍රදීප් කුමාර ජයවර්ධන හෙවත් මයිකල්ගේ මවගේ තාත්තා හෙවත් මයිකල්ගේ සීයා යන දෙදෙනා සහෝදරයන්ය. ඒ අනුව චමිල සහ මයිකල් ළඟම ඥාතින්ය. 2018 වසර වෙද්දී සමන් සුරේෂ්, බොස් සරත් ඝාතනයට ඇප මත මුදා හැරිණි. ඒ වන විට සමන් සුරේෂ් විවාහ වී සිටියේය. චමිල දීපාල් අවිවාහක පුද්ගලයෙකි. සමන් සුරේෂ් ඇප මත නිදහස් වීමෙන් පසු මාස කීපයක් ගත විය.

දිනය 2018 වසරේ සැප්තැම්බර් මස 30 වැනිදාය. එදින අධික වැසි දිනයකි. සවස් යාමයේ චමිල සහ සමන් ඌරගහ, ඉහළ මාලවල, රන්තොටුවිල චමිලගේ නිවෙස ඉදිරිපිට කුරුඳු වාඩියේ කතාබස් කරමින් සිටියේ මධුවිතින්ද සප්පායම් වෙමිනි. ඒ වන විට එම නිවෙසේ වෙසෙන චමිලගේ මවුපියන් සහ සහෝදරිය අසල නිවෙසකට ගොස් සිටියහ. සමන් සහ චමිල ඉඩක් ලද සැණින් සෑම දිනෙකම පාහේ සවස් යාමේ චමිලගේ නිවෙසේ එලෙස හමු වූහ. එදින රාත්‍රී 7.30ට පමණ දෙදෙනා සිටි ස්ථානයට කඩා වැදුණේ සිවු දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. එම පිරිස සමන් සහ චමිලට පිට පිට වෙඩි තබමින් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම ඝාතනය කළහ. එවකට ඇල්පිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයා වූ වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගේ උපදෙස් මත ඌරගස්මංසන්ධිය පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වූයේ සමන්ට සහ චමිලට වෙඩි පහරවල් 25ක් පමණ ගිනිඅවි දෙකක් භාවිත කරමින් එල්ල කර තිබූ බවයි. එම ගිනිඅවි දෙක ඒ දිනවල මහත් කතාබහට ලක්වූ මාතර නිලේඛා පුවලරි කොල්ලයේදී අත්අඩංගුවට ගැනුණු මිනිඌෂි වර්ගයට අයත් ගිනිඅවි දෙකක් බවටද පොලිසිය සැක කළේය. එම ගිනි අවි පොලිස් විශේෂ කාර්ය බළකාය පාවිච්චි කරන ඒවාය.

අනතුරුව ඝාතකයො සමන්ගේ හිස කඳින් වෙන්කොට හිස කොටස ඊට මීටර් 300ක් පමණ ඈතින් පිහිටි ඉහළ මාලවල රන්තොටුවිල සමූපකාරය අසලට රැගෙන ගොස් දමා තිබිණි. ඝාතකයන් චමිලගේ හිස කොටසද වෙන් කිරීමට තැත් කර තිබුණත් පසුව එම උත්සාහය අත්හැර පලා ගොස් තිබුණි. සමන්ගේ හිස ඝාතකයන් විසින් රන්තොටුවිල සමූපකාරය අසලට දමා ගොස් තිබුණේ සමන් විසින්ද ඝාතනය කළ බොස් සරත්ගේ හිසද එම ස්ථානයට දමා ගොස් තිබූ හෙයිනි. බොස් සරත් ඝාතනයට පළි ගැනීමක් ලෙස සමන් සුරේෂ් සහ චමිල දීපාල් ඝාතනයට ඌරගහ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ ඌරගහ, කුඩා ඌරගහ පදිංචිව සිටි 48 හැවිරිදි චාමින්ද වීරසිංහ, ඌරගහ මැන්ඩෝරාවල ලිපිනයේ පදිංචිව සිටි 45 හැවිරිදි සිසිර සේනාරත්න සහ කුඩා ඌරගහම පදිංචි 32 හැවිරිදි තොම්මයාහකුරු අසංක චමිල කුමාර නමැති බොස් සරත්ගේ සහෝදරයෙක් වන අයෙකි.

කාලය කෙමෙන් ගෙවී ගියේය. ඌරගහ දෙපාර්ශ්වයේ මරා ගැනිල්ල එක්වරම නැවතුණු බවක් පෙනිණි.. එහෙත් සමන් සුරේෂ් සහ චමිල දීපාල් ඝාතනයට හරියටම වසරක් පිරීමට ආසන්න වෙමින් තිබිණි. 2019 වසරේ සැප්තැම්බර් මස 06 වැනිදාට උදා විය. ඌරගහ ඝාතන වැලේ එම නිහඬතාව බිඳ හෙළමින් හයවන ඝාතනය එදින සිදු විය. කුඩා ඌරගහ පදිංචි 41 හැවිරිදි මාවනාහේවා රංජිත් ජයවර්ධනයි. ඔහු තිදරු පියෙකි. ඔහු සමන් සුරේෂ් සහ චමිල දීපාල්ගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනාගෙන් පළමු සැකකරු වන චාමින්ද වීරසිංහගේ බාල සොහොයුරිය වන නයනා ඩෙන්සි වීරසිංහ සමඟ විවාහ වී සිටියේය. සැප්තැම්බර් 06 වැනිදා පෙරවරුවේ රංජිත් ජයවර්ධන ඌරගස්මංසන්ධියෙන් අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ධාවනය වූ WP NA-1275 අංකය දරන ලංගම බස්රථයට ගොඩ විය. එම බසයට රංජිත් සමඟ ඔහුගේ බිරිය, මව සහ නැඟණිය ගොඩ වූහ. පිරිස ඇල්පිටියට ගමන් කළේ එදින විභාග වීමට නියමිතව තිබූ පවුලේ ඉඩම් ආරවුලකට සම්බන්ධ නඩුවකට සහභාගි වීමටයි. ඒ රංජිත්ගේ මාමා කෙනෙකු සමඟ තිබූ ඉඩම් ආරවුලකි. රංජිත්ලා ගමන් ගත් බස් රථයට යතුරුපැදියක පැමිණි අයෙක්ද එම බසයට නඟින මඟින් සමඟ බසයට ගොඩ වූයේ අතරමඟය. යතුරුපැදියද බසයට පසුපසින්ම ධාවනය විය. හරියටම එදින පෙරවරු 8.20ට පමණ බසය ඇල්පිටිය, අටකොහොට, බෝගහ වංගුව පසු කරද්දී බස් රථයේ පසුපස දොර අසලම අසුනේ සිටි රංජිත් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. බසයේ සිටි පිරිස බිරාන්ත වූහ. වෙඩි ප්‍රහාරය එල්ල කළේ යතුරුපැදියෙන් පැමිණ අතරමඟදී බස් රථයට නැඟුණු පුද්ගලයාය. 

එසැණින් බස් රථය නතර කිරීමත් සමඟ ඝාතකයා බසයෙන් බැස බසය පිටුපස තිබූ යතුරුපැදියට නැඟි ඌරගහ දෙසටම පලා ගියේ ත්‍රාසජනක චිත්‍රපට දසුනක් ලෙසය. රංජිත් ඝාතනය වන විට ඔහුගේ බිරියද රංජිත් ළඟම අසුනේ සිටියේය. එම ඝාතනය සමන් සුරේෂ් සහ චමිල දීපාල් ඝාතනයට පළි ගැනීමක් ලෙස සිදුකැර තිබිණි. ඒ වන විට සමන් සහ චමිල ඝාතකයන් බන්ධනාගාරගතව සිටි හෙයින් දෙදෙනාගේ ඝාතනයේ පළමු සැකකරු චාමින්දගේ නැඟණිය නයනාගේ සැමියා වන රංජිත් ඝාතනය කෙරිණි. ඒ රංජිත් සමන් සහ චමිල ඝාතනයට අනුබල දෙමින් දෙදෙනා ඝාතනයෙන් පසු නිවෙසේ සාදයක්ද පවත්වා ඇති බව සමන්ලාගේ පාර්ශ්වයට සැල වී තිබූ හෙයිනි.

ඒ වන විට ඉන්දික මහේෂ් රටින් පලා ගොස් සිටියේ ඌරගහ මයිකල් ඇතුළු කොස්ගොඩ සුජිගේ පාර්ශ්වයට බියෙනි. රංජිත් ජයවර්ධන ඝාතනයට පසුව පොලිසිය සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. එම පස්දෙනා අතර ඉකුත් අගෝස්තු මස 24 වැනිදා ඌරගහ සැලුන් එකකදි ඝාතනය වූ ධම්මික විමලවීර මෙන්ම පසුගිය 19 වැනිදා යක්කලමුල්ලේ කුරුඳු වාඩිය ඇතුළදී ඝාතනය වූ සමන් කුමාර හෙවත් ‘මරුවා‘ද විය. ඔවුන් දෙදෙනා මෑතකදී ඇප මත මුදා හැරීමෙන් පසු සමාජගත වූ අය වෙති.

2019 රංජිත්ගේ ඝාතනයෙන් පසු වසර 3ක පමණ කාලයකට පසු නැවත ධම්මික සහ සමන් කුමාර ඝාතනය වූයේ එම ඝාතන වැලෙහි නොනවතින ඝාතන රැල්ලක් ලෙසිනි. මේ වන විට මෙකී ඝාතන වැලෙහි 2015 සිට අවස්ථා හයකදී ඝාතන 8ක් සිදුව අවසන්ය. ඌරගහ ප්‍රදේශයම කම්පාවට පත් කරමින් රතිඤ්ඤා කරලින් ඇවිළුණු ඝාතන රැල්ලෙහි අවසානය කොතනද... කවදාද යන්න ප්‍රහේලිකාවකි. එම ඝාතන රැල්ල අවසන් කිරීමට ආරක්ෂක අංශවලට හැකියාවක් නොමැතිකමත් ප්‍රදේශවාසී ජනතාවට තිබෙන ගැටලුවකි.

ඡායාරූප - චන්ද්‍රසිරි ගුණසේකර 
(ඇල්පිටිය සමූහ)

Comments