මුල්ලේරියාවෙන් ඇල්ලූ පෙතියාගොඩ සංඛට අපරාධ චෝදනා | සිළුමිණ

මුල්ලේරියාවෙන් ඇල්ලූ පෙතියාගොඩ සංඛට අපරාධ චෝදනා

අත්අඩංගුවට ගත් T-54 පිස්තෝලය, උණ්ඩ, මැගසින සහ ස්මාට් දුරකතන

- මීට කලිනුත් අත්අඩංගුවට ගත් සැකකරුවෙක්
- මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බළකායෙන්
- ටී 54 පිස්තෝලයක් ජීව උණ්ඩ ජංගම දුරකතන සමඟ ගෝලයන් දෙදෙනාත් ඇහැළියගොඩදී දැලේ

පරාධයක් සිදු කර නීතියෙන් ගැලවී සිටීමට නොහැකිය. එසේම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සංවිධානාත්මකව අපරාධ සිදු කරන්නන්ට නීතියේ රැහැනින් පැන යෑමට කොහෙත්ම ඉඩක් නැත. මේ කියන්නට යන්නේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන්ගේ 'උකුසු ඇසට' හසුව අත්අඩංගුවට ගැනුණු කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් 'පෙතියාගොඩ සංඛ' කොටු කර ගත් මෙහෙයුම ගැනය. 

රටේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම් දිනෙන් දින වැඩි වෙද්දී පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද ඒ පිළිබඳ පසුවන්නේ දැඩි විමසිල්ලෙනි. පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන්නේ ඉදිරියට සිදු විය හැකි මිනිස් ඝාතන වළක්වා ගැනීමටය.

බස්නාහිර පළාතේ ද දිගින් දිගට සිදු වූ වෙඩි තැබීම් පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණවලදී 'පෙතියාගොඩ සංඛ' ගැන ද අවධානය යොමු වන්නේ මේ වන විට ඔහු ඇප මත මුදාහැර සිටිනා නිසාය. තම ආරක්ෂාව වෙනුවෙන් එක තැනක නොසිටින 'පෙතියාගොඩ සංඛ' ගැන දිනෙන් දින පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් සොයමින් සිටියදී විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තොරතුරක් ලැබෙන්නේ හිටිහැටියේමය.

“සර් 'පෙතියාගොඩ සංඛ මුල්ලේරියාවේ ගෙදරට ඇවිත්...“ ඒ තොරතුර පොලිස් ඔත්තුකරුවෙකුගෙනි.

මේ තොරතුර ලද සැණින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් මුල්ලේරියාව බලා පිටත්ව යන්නේ 'පෙතියාගොඩ සංඛ'ව කෙසේ හෝ කොටු කර ගැනීමටය. තොරතුර නිවැරදිය. මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි පෙතියාගොඩ සංඛට අයත් සුඛෝපභෝගී නිවෙස වටා පොලිස් රැකවල් යොදන්නේ කිසි ලෙසකින් හෝ ඔහුට පැන යෑමට නොහැකි අයුරිනි.

ඒ මොහොතේම අත්අඩංගුවට පත් වන පෙතියාගොඩ සංඛ එස්.ටී.එෆ්. නිලධාරීන් නොමඟ යැවීමට බොහෝ දේ කීව ද ඒ වන විට ඔහු ගැන නිලධාරීන් සියලු තොරතුරු හෙළි කර ගෙන තිබිණි.

පෙතියාගොඩ සංඛට අයත් නිවාස දෙකක් සහ අවට නිවාස ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂා කළ අතර එහිදී කිසිම සැක කටයුතු දෙයක් සොයා ගැනීමට හැකි වන්නේ නැත. එතැන් පටන් සිදු කරනා දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් සියල්ල වසන් කර සිටීමට සංඛට නොහැකි විය. රත්නපුර ප්‍රදේශයේ පතල් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයකු ළඟ සඟවා තිබෙන පිස්තෝලයක් ගැන තොරතුරු එළියට එන්නේ ඉන් අනතුරුවය.

මෙය පොලිසිය නොමඟ යවන පෙතියාගොඩ සංඛගේ තවත් උප්පරවැට්ටියක්දැයි නිලධාරීන්ට සිතිනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරීන් මේ පිළිබඳ දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ද උපදෙස් හා මඟ පෙන්වීමෙන් ඉදිරි මෙහෙයුම් ඇරඹෙන්නේ එතැන් සිටය.

එස්.ටී.එෆ්. නිලධාරීන්ගේ ඊළඟ ඉලක්කය වූයේ පිස්තෝලය සහ එය ළඟ තබාගෙන සිටිනා සැකකරු අත්අඩංගුවට ගැනීමය. පෙතියාගොඩ සංඛ ද රැගෙන එස්.ටී.එෆ්. නිලධාරීන් ඇහැළියගොඩ බලා පිටත් වන්නේ අනෙක් සැකකරුවන් අල්ලා ගන්නා සැලසුම් ද සකස් කරමිනි.

ඒ අනුව සංඛ විසින් පිස්තෝලය තබාගෙන සිටිනා පුද්ගලයාට දුරකතන ඇමතුමක් දෙමින් කියන්නේ පිස්තෝලය ද රැගෙන තමා හමු වීමට පැමිණෙන ලෙසය. මේ හසුවන්නට යන්නේ එස්.ටී.එෆ්. නිලධාරීන්ගේ උගුලකට කියා දුරකතනයේ අනෙක්පස සිටි පුද්ගලයා කෙසේවත් සිතන්නට නැත.

පිස්තෝලය ද රැගත් සැකකරු තවත් අයකු සමඟින් ත්‍රීවිලරයකින් කොළඹ - රත්නපුර මාර්ගයේ ගල්පුස්සැල්ල වතුයාය ප්‍රදේශයට පැමිණෙන්නේ ඔය අතරය. ගල්පුස්සැල්ල වතුයාය ආසන්නයේ සැකකරුවන් පැමිණෙන තෙක් එස්.ටී.එෆ්. නිලධාරීන් ද සිටියේ දැඩි විමසිල්ලෙනි. ගත වූයේ සුළු මොහොතකි. ත්‍රිරෝද රථය නැවැත් වූ එස්.ටී.එෆ්. නිලධාරීන් රියැදුරු සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ සැකකරුවන්ට මොහොතක් හෝ විරාමයකට ඉඩ නොතබමිනි.

එතැනදීම සැකකරුවන්ව පරීක්ෂා කරනා නිලධාරීන්ට ඔවුන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත T-54 වර්ගයේ පිස්තෝලයක්, එම අවියට යොදන මැගසිනයක්, මිලිමීටර 9 උණ්ඩ 5ක් සහ ස්මාට් ජංගම දුරකථන 2ක් සොයා ගැනීමට හැකි විය.

මෙලෙස අත්අඩංගුවට පත් වන්නේ 25 හැවිරිදි පරකඩුව ප්‍රදේශයේ පදිංචි හේවාපේඩිගේ සචින්ත නිදුකාන් වීරසිංහ සහ පරකඩුව ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි කොක්කෝවිට මීමනගේ එරන්ද දිනේෂ් කුමාර හෙවත් රාජු යන දෙදෙනාය.

පෙතියාගොඩ සංඛ ඇතුළු සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා ඇහැළියගොඩ පොලිසියට භාර දෙන අතර මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. 

පෙතියාගොඩ සංඛ මීට පෙර බළන්ගොඩ, පින්නවල, කනකිරියන්වල ප්‍රදේශයේ තේ වත්තක වාඩියක සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබිණි. අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගෝලයකු වූ මොහු මාකදුරේ මධුෂ්ගේ ද සිත දිනා ගනිමින් දෙදෙනාගේම මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පස් ජාවාරම්, උන්ඩියල් ක්‍රමයට සිදු කරන මුදල් ජාවාරම් මෙන්ම කොන්ත්‍රාත් ඝාතන, ඝාතනවලට අවශ්‍ය ආයුධ සහ පුද්ගලයන් සැපයීම් ද සිදු කර ඇත්තේ කාලයක සිටය.

මුල්ලේරියාව පොලිස් වසමේ 2016දී පස් ජාවාරමක් මුල් කර ගනිමින් රංග නමැත්තකු ඝාතනය කිරීම, 2016දී නීතිඥයකුට පහර දී බරපතළ තුවාල සිදු කිරීම සහ 2017දී ඝාතනයක් සඳහා යමින් සිටියදී පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගැනීම යන චෝදන සම්බන්ධයෙන් පෙතියාගොඩ සංඛට අධිකරණවල නඩු විභාග වෙමින් පවතින අතර තවත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග සහ උපදෙස් පරිදි අධ්‍යක්ෂ (බුද්ධි) ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි වී.ජී. රොහාන් කරුණාරත්නගේ අධීක්ෂණය යටතේ බුද්ධි/විශේෂ මෙහෙයුම් සහ මත්ද්‍රව්‍ය නාශක සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ මඟපෙන්වීමෙන් බුද්ධි කොට්ඨාස ඒකකයේ ස්ථානාධිපති නදීක සිල්වා, පොලිස් පරීක්ෂක කෝසල ප්‍රනාන්දු ඇතුළු නිලධාරීහු වැටලීමට එක් වූහ.

ගයාන් සංජය

Comments