මිකී දැන් රටම දන්නා සුනඛයෙක් බල්ලෙක් කළ උතුම් වැඩක්... | සිළුමිණ

මිකී දැන් රටම දන්නා සුනඛයෙක් බල්ලෙක් කළ උතුම් වැඩක්...

මිකී මුදල් පසුම්බිය සමඟ

- සෙරෙප්පු සපත්තු හැපුවත් පර්ස් එකට එහෙම කළේ නෑ 
- පසුම්බිය ඇතුළේ රුපියල් 5600ක් සහ රන් මාලයක්

පේ ජන වහරේ 'බලු වැඩ' යැයි කියමනක් තිබේ. මිනිස්කමට නිගා දෙන වැඩක් කළ විට එය 'බලු වැඩක්' ලෙස හැඳින්වීමට මුතුන් මිත්තන්ගේ කාලයේ පටන් අපි පුරුදු වී සිටිමු. මේ දිනවල පවතින ආර්ථික අර්බුද හමුවේ සමාජය තුළ මේ කියන 'මිනිස් බලු වැඩ' තරමක් ඉහළ ගොස් තිබියදී මනුසතුන්ටත් එහා ගොස් උතුම් වැඩක් කරන්නට බල්ලෙකු ක්‍රියා කළ පුවතක් අපට අසන්නට ලැබුණේ කටුගස්තොට කුළුගම්මන මහතැන්න ග්‍රාමයෙනි.

මේ 'බලු රාලගේ' නම 'මිකී' ය. ගමේ කවුරුත් 'සපත්තු කන්නා' ලෙස හැඳින්වූ මිකී දැන් රටම දන්නා බල්ලෙකි. සපත්තුවක්, සෙරෙප්පුවක් දැක්කොත් එය කීතු වනතුරු සපා කෑම මිකී ගේ පුරුද්දකි.

මේ නිසා අහල පහල ගෙවල්වල උදවිය පවා සපත්තු සෙරෙප්පු මිකී ගේ ඇස නොගැටෙන සේ තබන්නට සෑම විටම වගබලා ගනිති. 'මිකී' පදිංචි නිවසට සෙරෙප්පු දෙකක් දාගෙන පැමිණි බොහෝ දෙනෙකුට ආපසු යෑමට සිදු වූයේ තනි සෙරෙප්පුවෙන් හෝ ඇතැම් විට ඒ දෙකම නැතුවය. සපත්තු, සෙරෙප්පු කෑම නිසා ගමේ අය අතර පමණක් ප්‍රචලිතව සිටි මිකී ගැන දැන් රටම දන්නේය. ඒ මිකී පසුගියදාක කළ අපූරු වැඩක් නිසාය.

ඒ ගැන සුනඛයාගේ හිමිකරු වන චමින්ද ලෝරන්ස් ලියනගේ ඒ පිළිබඳව මෙසේ විස්තර කළේය. 

“මිකීට වයස අවුරුදු එකහා මාරක් විතර වෙනවා. පුංචි කාලේ ඉඳලම අපේ ගෙදර හැදුණේ. මෙයා සපත්තු, සෙරෙප්පු, සම් බෑග්, බෙල්ට් වගේ දේවල් ගෙරදට ගෙනල්ලා කෑලි වෙනකල් හපා කනවා. අපි වුණත් සපත්තු සෙරෙප්පු එළියේ තියන්නේ නැහැ. මීට කලින් අවස්ථා කිහිපයකදීම අලුත් සෙරෙප්පු සපත්තු මෙයා කීතු කරලා තියෙනවා. මගේ නෝනගේ වටිනා සාරි පවා කනවා.

පසුගිය 16 වැනිදා රෑ 7.00 ට විතර මිකී පර්ස් එකක් උස්සන් ඇවිත් ළඟ තියාගෙන ඉඳලා අම්මා තමයි මුලින්ම දැකලා තිබුණේ. අම්මා මුලින් හිතලා තියෙන්නේ කවුරුහරි වීසි කරපු එකක් කියලා. වෙනදට මෙයා අරන් එන දේවල් අපිට ගන්න දෙන්නේ නැහැ. එයා කකුල් දෙක අස්සේ හිර කරගෙන ඒක කෑලි වෙනකල් හපනවා.

මේ පර්ස් එක කකුල් දෙකෙන් අල්ලගෙන ඉව කරමින් ඉද්දී අම්මා නිකමට අරන් බලලා. ඒකේ සල්ලි වගයක් තියෙනවා දැකලා මට කතා කරලා කිව්වා බලන්න කියලා. පර්ස් එකේ රුපියල් 5600 ක් විතර මුදල් තිබුණා. පර්ස් එකේ ෂිප් එක ඇරලා බලනකොට ඒකේ පවුම් භාගයක විතර රන් මාලයක් තිබුණා. හැඳුනුම්පතක් හෝ වෙනත් කිසිම දෙයක් නොතිබුණු නිසා පර්ස් එකේ අයිතිකාරයා හොයා ගන්න විදිහක් තිබුණේ නැහැ.

පස්සේ මම පර්ස් එකක් වැටිලා තිබිලා හම්බ වුණා කියලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා.

ඒකට කවුරුවත් ප්‍රතිචාර නොදැක්කුව නිසා පහුවදා උදේ ගෙවල් ළග කඩමණ්ඩියට ගිහින් පර්ස් එක ගැන කිව්වා. ඇතුළේ තිබ්බ දේවල් ගැන කාටවත්ම කිව්වේ නැහැ. එහෙම වුණොත් සැබෑ අයිතිකාරයා හොයා ගන්න අපිට අමාරු වෙනවා.

ලෝරන්ස්ගේ පණිවිඩය කටින් කට ගොස් පසු දින දහවල් වන විට මුදල් පසුම්බියේ සැබෑ හිමිකාරිය වෙත ද එම පණිවිඩයේ කටකතාව කනට වැටිණි.

සිද්ධිය කන වැකුණු ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන දිනේෂ් චානුක මෙත්තානන්ද මේ සිද්ධිය අලදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සේනාරත්නට දැනුම් දී තිබුණේ සුනඛයාගේ හිමිකරුවන් රුපියල් ලක්ෂයක පමණ වටිනාකමින් යුත් රන් මාලය සහ මුදල් හිමිකරුට බාර දීම ගත් පියවර යම් අගය කිරීමකට ලක් කළ යුතු නිසාය.

ඒ අනුව ස්ථානාධිපතිවරයා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ ලෝරන්ස්ගේ නිවසට පැමිණියේය.

පොලිසිය පැමිණෙන විට මුදල් පසුම්බියේ හිමිකාරිය හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් මහනුවර නගරයට ගොස් තිබූ බැවින් ඇය වෙනුවෙන් එය බාර ගැනීමට පැමිණ තිබුණේ ඇගේ මාමා ය.

මෙම දිනවල නිවාසවලට සොරු පැනීම සහ ගෙල බැඳි රන් මාල පැහැර ගන්නා කොල්ලකරුවන් වැඩි වීම නිසා අදාළ කාන්තාව නිවසින් පිටව යන විට රන් මාලය මුදල් පසුම්බියේ දමාගෙන ගොස් ඇත. කුළුගම්මන මහතැන්න කඩමණ්ඩියට ගිය අවස්ථාවේ රන් මාලය සහිත පසුම්බිය වැටී තිබෙන අතර එය යළි ඇයට ලැබී තිබුණේ ඒ පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැර තිබූ අවස්ථාවකය.

“අපේ ගෙදර සහ කඩමණ්ඩිය අතර මීටර් 800 ක විතර දුරක් තියෙනවා. මිකී ගමේ හැමතැනම ඇවිදිනවා. කඩමණ්ඩියටත් ඉඳලා හිටලා යනවා. එතන වැටිලා තිබ්බ පර්ස් එක මෙයා අරන් ඇවිත් තිබුණේ හොඳ වෙලාවට.

වෙනදා මේ වගේ දෙයක් අහුවුණොත් කෑලි වෙන්නම සපා කන සතා පර්ස් එකට එහෙම නොකළේ ඇයි කියන එක අදටත් අපිට ප්‍රශ්නයක්...“ ලෝරන්ස් වැඩිදුරටත් කීවේය.

මුදල් පසුම්බිය යළි හිමිකරුට බාර දීමේ අවස්ථාවට එක්වූ අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි සේනාරත්න පැවසුවේ මුදල් හමුවේ මිනිසත්කම් වළ දමමින් මිනිස් ඝාතන පවා කරන්නට පෙළඹෙන මිනිසුන් සිටින සමාජයේ ලෝරන්ස් මහතාත් ඔහුගේ මව වන එල්.කේ සුනීතා මහත්මිය ඇතුළු පිරිසත් කළ උතුම් ක්‍රියාව සැමට ආදර්ශයක් බවයි.

Comments