
- විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස රඟපා වාලම්පුරිය විකුණන්න හදලා
- යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකුට ලැබුණු තොරතුරකින් සැකකරු කොටු
වාලම්පුරියක් සන්තකයේ තබා ගැනීමෙන් ධනය සහ බලය ලැබීමේ වාසනාව උදාවන්නේ යැයි යන මතය කලක පටන් සමාජගතව පවතින්නකි. ගජමුතු සම්බන්ධයෙන්ද පවතින්නේ එවැනිම මතයකි. විවිධ කූට ක්‍රම මඟින් වාලම්පුරී සහ ගජමුතු අලෙවි කරන්නන් ඒවායේ මිල රුපියල් මිලියන ගණනින් නියම කරන්නේ මෙම මිථ්‍යා මතය දරන පුද්ගලයන් මෝඩයන් බව දන්නා නිසාය. සිතූ පැතූ සම්පත් සියල්ල ලැබෙන්නේ නම් එය තමන් සන්තකයේ තබා නොගෙන වෙනත් අයෙකුට විකුණන්නේ ඇයිද යන ප්‍රශ්නය නොඅසාම ඇතැම් පුද්ගලයන් මේවා අධික මුදලක් ගෙවා මිලට ගැනීමට සූදානම්ය.
රුපියල් කෝටි දෙකකට ගජමුතු දෙකක් අලෙවි කිරීමට ගිය තරුණයින් සිවු දෙනෙකු යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මහනුවර නගරයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 23 දාය. මහනුවර කිරිබත්කුඹුර ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් සිද්ධියේ උණුසුම මැකී යන්නටත් පෙර මහනුවර මැණික්හින්න ප්‍රදේශයේදී තවත් තරුණයන් දෙදෙනෙකු පොලිසියට කොටු වන්නේ ගජමුතුවක් රුපියල් කෝටි එකහාමාරකට අලෙවි කිරීමට යද්දීය. මේ ආකාර සිදුවීම් දාමයක් මහනුවර ප්‍රදේශය මූලික කරගෙන ක්‍රියාත්මක වෙද්දී පසුගිය 03 වැනි දින වාලම්පුරියක් රුපියල් ලක්ෂ 50 කට අලෙවි කරන්නට ගිය තරුණයෙකු යුද හමුදා බුද්ධි අංශයේ සහය ඇතිව පොලිසිය අත්අඩංගුවට ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නුදුරු දුම්රිය මාර්ගය ආසන්නයේදී ය.
මෙම සිද්ධිය සම්බන්ධව කාගේත් වැඩි අවධානයක් යොමු වූයේ එලෙස අල්ලා ගත් පුද්ගලයා විශ්වවිද්‍යාල සිසුවෙකු බවට අනාවරණය වීම හේතුවෙනි. තමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවෙකු බව සැකකරු ප්‍රකාශ කළත් ඔහුගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී ඔහු 27 වැනි වියේ පසුවන බව අනාවරණය වීම හේතුවෙන් පොලිසියට සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක පහළ විය. ශිෂ්‍ය අංකය විමසු විට එය තමන්ට අමතක බව ඔහු පොලිසියට පවසා ඇත. වාලම්පුරිය කොහෙන් දැයි විමසූ විට පාණදුරේ මිතුරෙකුගේ නිවසකින් හමු වූ බව සැකකරු පොලිසියට පවසා තිබේ.
“මගේ පදිංචිය අක්කරෙයිපත්තුවේ. විශ්වවිද්‍යාලයට ආවේ 2013 දී. ආර්ථික අමාරුකම් නිසා විශ්වවිද්‍යාලයේ ඉන්නා අතරතුර පෞද්ගලික පන්ති කළා. ඒවට කාලය වැය කළ නිසා විභාගවලට පෙනී ඉන්න බැරි වුණා.“
සැකකරු එලෙස ප්‍රකාශ කළත් පොලිසිය එය පිළිගැනීමට මැළි වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් තහවුරු කිරීමට යමක් ඔහු සතුව නොමැති වීම නිසාය. සැකකරු ප්‍රකාශ කළ නම සහ ලිපිනය සමඟ සැසඳෙන නමක් සහ ලිපිනයක් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇත් දැයි කළ සොයා බැලීමේදී මොහු පවසන්නේ බොරුවක් බව අනාවරණය වී තිබේ. කෙසේ වුවත් පෞද්ගලික පංති පැවැත්වීමේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බව අඟවමින් සැකකරු එය සිදුකර ගෙන ගොස් ඇත්තේ එමඟින් ඔහුගේ පන්තිවලට සිසු සිසුවියන්ගේ සහ මවුපියන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකි වීම නිසාය.
එලෙස පන්ති පවත්වන අතරතුර පාණදුර ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට මොහු ගොස් ඇත. එම නිවසේ දේව රූප තබා ආගමික වතාවත් කරන ස්ථානයේ පොල් ගෙඩියක් මත කපුරු පත්තු කර වාලම්පුරියකට දුම් අල්ලනු දුටු සැකකරු ඒ පිළිබඳ වැඩිදුර විස්තර මිතුරාගෙන් අසා දැනගෙන තිබේ. එය වාලම්පුරියක් බව ප්‍රකාශ කිරීමෙන් පසු ඒ පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කරුණු එක්රැස් කරගෙන තිබෙන සැකකරු එය රුපියල් ලක්ෂ ගණනකට අලෙවි කිරීමට හැකි බව පවසා ඇත. එවැනි මිලකට වාලම්පුරිය අලෙවි කළ හැකි නම් එය ලබාදිය හැකි බව මිතුරා පවසා තිබේ. මෙම වාලම්පුරිය සම්බන්ධව සැකකරු බදුල්ල ප්‍රදේශය් මිතුරෙකුටද පවසා ඇත. හැකිනම් ගැණුම්කරුවෙකු සොයා ගන්නා ලෙස කළ දැනුම් දීමට අනුව ඔහුද මේ පිළිබඳව පුද්ගලයින් කිප දෙනෙකුටම පවසා තිබේ.
විශ්වවිද්‍යාල සිසුවෙකු වාලම්පුරියක් රුපියල් මිලියන 05 කට අලෙවි කිරීමේ සූදානමක් තිබෙන බව යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ ‘කන‘ වැකෙන්නේ මේ අතරවාරයේදීය. සිසුවාගේ දුරකතනය අංකය අමතා තමන් වාලම්පුරිය මිලට ගැනීමට කැමැති බව බුද්ධි අංශ නිලධාරියා පැවසුවේය. ගනුදෙනුව සිදුවන ස්ථානය තීරණය කරනු ලැබුවේ විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙස පෙනී සිටි තරුණයාය. මුදල් රැගෙන පේරාදෙණිය උද්භිද උද්‍යානයට එන ලෙස කළ දැනුම් දීමකට අනුව බුද්ධි අංශ නිලධාරියා එහි ගියේ සිවිල් ඇඳුමින් සැරසුණු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ කණ්ඩායමක් ද සමඟය. ඒ වන විට පස්වරු 6.00 පසුවී තිබීම හේතුවෙන් උද්භිද උද්‍යානය තිබී ඇත්තේ වසා දමාය. යළින් බුද්ධි අංශ නිලධාරියා දුරකතන ඇමැතුමක් ගෙන උද්භිද උද්‍යානය වසා දමා තිබෙන බව දැනුම් දී තිබේ. වාලම්පුරිය විකිණීමට තැත් කළ පුද්ගලයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන ගලහ මාර්ගයට සමාන්තරව ඊට පහළින් ඇති සරසවි උයන දුම්රිය ස්ථානය දෙසට ඇති මාර්ගය ඔස්සේ එන ලෙස දැනුම් දී ඇත්තේ ඒ අනුවය.
යතුරු පැදියකින් සරසවි උයන දුම්රිය ස්ථානයට ගිය බුද්ධි අංශ නිලධාරියා යළිත් දුරකතන ඇමැතුමක් ගෙන තමන් පැමිණ සිටින බව දැනුම් දුන්නේය. මුල් වරට සැකකරු බුද්ධි අංශ නිලධාරියා ඉදිරියේ පෙනී සිටියේ එම අවස්ථාවේදීය.මුදල් ලෑස්ති දැයි ඔහු ඇසීය. සැකකරු මංජුසාවක බහාලූ වාලම්පුරිය ද සමඟ පොල් ගෙඩියක් රැගෙන ගනුදෙනු කිරීම සඳහා සූදානම් වෙද්දීම සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි.
මේ වන විට ගජමුතු, වාලම්පුරි සහ නිධන්වලින් ගත් බව කියන රන් ආලේපිත තහඩු කැබලි විකිණීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. මේවාහි කිසිම වටිනාකමක් නොමැති බවට මහජනතාව කොතෙක් දැනුවත් කිරීම් කළ ද ඇතැම් අය මේ බොරුකාරයින්ට රැවටී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගන්නා බව පොලිසිය පවසයි. ගජමුතු කියා විශාල මිල ගණන්වලට අලෙවි කරන්නේ ඇත් දළ කැබලි ඔප දමා සකස් කළ ඒවා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.