
පසුගිය දිනක ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයෙන් අසන්නට ලැබුණු පුවත ඛේදනීයය. සිය නැගණියට සිදු වූ අසාධාරණයක හිලව්වට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ ඇය නමින් මුත්තු මල්ලිකාය. දෙමළ කාන්තාවක වූ මල්ලිකා 51 හැවිරිදිය. බඩෝවිට දෙවන අදියරෙහි පදිංචිකාරියක වූ ඇය රැකියාවක නිරත නොවූ අතර, සිය නිවසේ මෙන්ම සැමියාගේත්, දරුවන්ගේත් කටයුතු නොපිරිහෙළා ඉටු කරමින් සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කළාය.
ඇගේ නැගණිය වූයේ මුත්තු මහේෂ්වරීය. මුත්තු මල්ලිකාගේ දිවියට අඳුරක් එක් කිරීමට එක් කුසේ උපන් සිය නැගණිය හේතු කාරණයක් වනු ඇතැයි මල්ලිකා කිසි දිනක නොසිතන්නට ඇත.
මේ සියල්ල ආරම්භ වන්නේ කිසියම් පුද්ගලයකු මුත්තු මල්ලිකාගේ නැගණිය වන මුත්තු මහේෂ්වරීට කරන පහර දීමත් සමඟිනි.
පොලිස් පැමිණිල්ලට අනුව විමසා බැලීමේදී මෙම පහර දීමට සාධාරණ හේතුවක් නොමැති විය. පහර දීමක් ලෙස පැවසුවද එය තියුණු ආයුධයකින් කළ බරපතළ තුවාල සිදු කිරීමකි.
30 හැවිරිදි තරුණයෙකු වන අදාළ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ඇරඹිණි. ගල්කිස්ස පොලිසියේ ගොනු කෙරුණු පැමිණිල්ලත් සමඟම සැකකරු පොලිස් ඇසට වසන්වී සැඟව තිබුණේ දුරදිග නොබලා තමන් සිදු කළ අපරාධයේ තරම පසුව වැටහුණු නිසා වන්නට ඇත.
කාලය මෙලෙස ගතව සැකකරු දිනක් තම සමීප මිතුරෙකුද සමඟින් එක්ව විනෝද වන්නට සිතුවේ බොහෝ දිනකින් සුහද මිතුරු ආශ්‍රයක් නොලද දුක තුනී කරගැනීමටය. ඊට මත්වතුර බෝතලයක්ද එක්ව තිබුණි.
මත්වතුර 'රතු කට්ට' ඉක්මවා යමින් උපරිම සීමාව ද පසු කරමින් තිබියදී දෙදෙනා අතර කතාබහට බඳුන් වූයේ ඉහත සඳහන් කළ පහර දීමේ සිදුවීමයි.
"උඹ කොච්චර කාලයක් ඔහොම පොලිසියෙන් හැංගිලා ඉන්නද බන්. කවදමහරි උඹව අහුවෙනවනේ..." මිතුරා කීවේය. "ඉතින් වෙන මොනවා කරන්නද බං. උඹ කියන්නෙ මට ගිහින් පොලිසියට බාර වෙන්න කියලද....?" සැකකරු එලෙස විමසුවේ මිතුරාගෙනි.
"පිස්සුද යකෝ, බාරවෙන්න පිස්සු හැදිලයෑ. ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා කරනවා නම්...."මිතුරා කියන්නේය. "ඊට වඩා හොඳ ක්‍රමයක්? අනේ මචං කියහන්කො...." සැකකාර තරුණයා අනෙකා දෙස දෑස් දල්වා බලාසිටියේ 'වඩා හොඳ ක්‍රමය' ගැන දැනගැනීමටය.
"මෙහෙමයි, දැන් ඔය උඹ 'කපපු ගෑනිගෙ' අක්කා ඉන්නවනෙ ගෙදර. උඹ ගිහින් පොඩි සද්දයක් කාරිය එහෙම දාලා ඒකිට තර්ජනය කරපන් දාපු පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න කියලා. එච්චරයි. ඔය ගෑනු හෙණ බයයි යකෝ. ඔය පොඩ්ඩක් ගෙම්බර් පාරක් දාපු ගමන් ඔවුන් සරෙන්ඩර්...."
මිතුරාගේ යෝජනාව නම් කදිමය. බැලූ බැල්මට එහි කිසිම වරදක්ද නැත. නමුත් තමා පිළිබඳ පොලිසිය සෙවිල්ලෙන් පසුවන නිසා සෑම දෙයක්ම කළ යුතු වන්නේ මනා සේ සැලකිලිමත්වය. 'මත ඉහට ගසා' අමුතු නිර්භීතකමක් ඇතිව තිබුණද තනිවම මෙම කටයුත්ත කිරීමට සැකකරුට ඇති වූයේ චකිතයකි.
"අනේ බන්, එහෙනම් උඹත් වරෙන් මාත් එක්ක. අපි දෙන්නෙක් යනකොට ඒකි නිකන්ම බය වෙයි...." සැකකරු මිතුරාගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටියේ තම ඉල්ලීමක් ඔහු කිසි ලෙසකින්වත් ඉවත නොදමන බව දන්නා බැවිනි.
'ආයි මොනවා අහනවද, මම එන්නම් උඹත් එක්ක. තව කල්දදා ඉන්න ඕනි නෑ. යමං මේ දැන්මම. දෙකෙන් එකක් බේරාගමු අපි. අද තමා උඹ හැංගිලා ඉන්න අන්තිම දවස...." යැයි පැවසූ මිතුරා සැකකාර තරුණයා ද සමඟින් පිටත් වූයේ තමන් දෙදෙනා කතිකා කරගත් ඒ මහා වික්‍රමය දියත් කිරීමටය.
මුත්තු මල්ලිකාගේ නිවසේ ඒ වනවිට ඇගේ සැමියා ද රැඳී සිටි අතර බීමත් දෙමිතුරන් නිවස ඉදිරිපිටට සිදුකළ කෑගැසීම ඇසුණු ඔහු පිටතට පැමිණියේ එලෙස හඬ තලන්නේ කවුරුන්දැයි බැලීමටය.
"අඩෝ, කෝ උඹේ ගෑනි? එන්න කියපන් එළියට. මේ අපේ එකාට විරුද්ධව බොලා පොලිසි ගිහින් තියෙනවා. උඹගෙ ගෑනිට කියපන් ඒ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න කියලා. මේ දැන්ම..." සැකකාර තරුණයා වෙනුවෙන් ඉදිරිපත්ව කතා කළේ ඔහුගේ මිතුරාය. සැකකාර මිතුරාගෙන් ලද මත් වතුර සංග්‍රහය වෙනුවෙන් සිය පණ වුවත් දීමට ඒ වන විට ඔහු සූදානම්ව සිටියේය.
"ඇයි අස්කර ගත්තෙ නැත්නම් තෝ මොනවා කරන්නද අපිට...?" මල්ලිකාගේ සැමියාද දෙමිතුරන්ට දෙවැනි වූයේ නැත.
මහ හඬින් කෑගසමින් දෙපිරිසම කරට කර සිදුකළ වාග් සංග්‍රාමය නතර කිරීමට හෝ පරාජය බාර ගැනීමට දෙපාර්ශවයෙන් කිසිවකුගේ කැමැත්තක් තිබුණේ නැත.
එතෙක් වේලා කටින් පමණක් ගසාගත් දෙපිරිස ඉන්පසුව අතපය විසි කිරීමටද පටන්ගත්තේ වදන් හුවමාරුවේ උච්චස්ථානයට පැමිණෙද්දීය.
තවත් විනාඩියක් දෙකක් ගතවෙද්දී අසල සිටි කිසිවෙකු විසින් එල්ල කළ පිහි පහරක් සැකකාර තරුණයාගේ සහයට පැමිණි අනෙකාට එල්ල වූයේ කිසිවෙකුත් නොසිතූ අන්දමිනි.
රුහිරු ගංගාවක් මැද ඔහු මරහඬ තලමින් ඇද වැටෙද්දී රැස්ව සිටි පිරිස එක්ව වහා ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළේ සැකකාර තරුණයාගේ ඉවසීමේ රතු කට්ටද පන්නා දමමිනි.
තම සහයට පැමිණි අතිජාත මිතුරාට සිදුකළ පහර දීම හේතුවෙන් දණ්ඩෙන් පහර ලත් නාගයෙකු සේ කිපුණු සැකකරු මුත්තු මල්ලිකාගේ සැමියාට පහර දීමට පටන් ගත්තේ සිතේ හටගත් කෝපාග්නිය බුර බුරා ඇවිළී යද්දීය.
"අනේ දෙයියනේ, එයාට ගහන්න එපා..." යැයි යටිගිරියෙන් හඬ තලමින් සිය සැමියා බේරා ගැනීමට ඉදිරියට පනිනු ලැබූ මුත්තු මල්ලිකාට සැකකරුගෙන් එල්ල වූයේ දරුණු පාපහරකි.
ඇය බිම ඇද වැටෙද්දී වහා ක්‍රියාත්මක වූ පිරිස කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කළද, සිය ආදරණීය සැමියාගේ රැකවරණය වෙනුවෙන් ඉදිරියට ආ ඇයට තවත් ඔහුට රැකවරණය සැලසීමට තරම් වරම් ඉතුරුව තිබුණේ නැත.
සියල්ලන්ගේම සෝ සුසුම් මැද ඇය සදහටම දෙනෙත් පියා ගත්තේ තවත් එක් ශෝකාන්තයක අමිහිරි මතකයන් ගොන්නක් පමණක් ඇයගේ සැමියාට සහ දරුවන්ට උරුම කර දෙමිනි.
පොලිසියෙන් වසන්ව සිටීමෙන් ගැලවීමට ක්‍රියාත්මක කළ දෙමිතුරන්ගේ මෙහෙයුමෙහි අවසානය එලෙස සටහන් වද්දී, සැකකරුගේ වෙරි සිඳී ගොස් තිබුණේ සිදු වූ සිදුවීමෙහි බරපතළකම ඒ වනවිටත් ඔහුට දැනී තිබුණු බැවිනි.
වහා ප්‍රදේශය අතහැර දෙවන වතාවටත් පලා යාමට ඔහු තීරණය කළේ මෙවර පොලිසියට හසු වුවහොත් ජීවිතාන්තය තෙක් තමාට කිසිදු ගැලවීමක් නොමැති බවට මනාව වටහාගෙන සිටි නිසාය.
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දීලිප සී.පෙරේරාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නාලක අලහකෝන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන සමුදිත්, සංජීව, සැරයන්වරුන් වන 47033 අජිත්, 61189 රත්නායක, කොස්තාපල්වරුන් වන 78800 සිවන්ත, 51508 උදයංග, 82423 වීරතුංග, 88381 සංජීව, 29265 ප්‍රියංකර, 71341 ඉසංක සහ 25426 සංජීව යන පිරිසෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායම මේ වනවිටත් සැකකරු සොයා පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ.