
නිලධාරීන් 30ක් සහ නිල සුනඛ බල ඇණියක්
මත්ද්‍රව්‍ය, කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම් ඇතුළු සංවිධානාත්මක අපරාධවල ක්‍රමික වර්ධනයත් සමග ජන ජීවිතයට මෙන්ම රටේ ආරක්ෂාවට ඇති වූයේ ප්‍රබල බලපෑමකි. කොළඹ අපරාධ කොට්ඨාසය අරඹා එවැනි ඒකක කළුතර, කැලණිය, මිරිහාන ආදී ප්‍රදේශවලට ව්‍යාප්ත කර බස්නාහිර පළාතම ආවරණය කරමින් අපරාධ මර්දනයට ක්‍රියා කරද්දී මෙරට සෙසු ප්‍රදේශවල ද අපරාධවල වර්ධනයක් ඇති වෙමින් තිබුණේ බන්ධනාගාරයේ සිට මෙන්ම විදේශයන්හි සිට ද 'අපරාධ මෙහෙයුම්' ක්‍රියාත්මක වීමත් සමඟය. එහි ප්‍රමුඛතම ප්‍රදේශයක්ව තිබුණේ දකුණු පළාතයි.
මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම, කුලියට සහ අණ කිරීම්වලට පුද්ගල ඝාතන සිදු කිරීම මෙන්ම කොල්ල කෑම් ද දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් ඇත්තේ දම්වැලක පුරුක් මෙන් ගොඩනැඟුණු සංවිධානාත්මක ජාලයක ක්‍රියාකාරිත්වය ද සමඟය. එය ක්‍රමානුකුලව මර්දනය කිරීම සඳහා සැලසුම්ගත වැඩසටහනක අවශ්‍යතාව මතු වුණේ අපරාධ රැල්ලේ ප්‍රබලකම නිසාමය.
ඒ අනුව දකුණු පළාතේ අවස්ථා කිහිපයකදීම රාජකාරි කර ලද අත්දැකීම් ඔස්සේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න අලුත් වැඩපිළිවෙළක් සැලසුම් කරන්නේ දකුණු පළාත මූලික කරගෙන සිදු කරන අපරාධ රැල්ල ක්‍රමික ලෙස මර්දනය කිරීමේ අරමුණ ඇතිවය. එහි එක් පියවරක් ලෙස අපරාධ මැඬලීම මෙන්ම අපරාධකරුවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ හසළ අත්දැකීමක් ඇති ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වන්නේ මීට මාස කිහිපයකට පෙරය. එහි දෙවන අදියර හෙවත් ප්‍රමුඛතම අදියර ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවය. ඒ බස්නාහිර පළාතට පමණක් සීමා වී තිබූ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ විශේෂ ඒකකය හෙවත් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මෙන් ඒකක දෙකක් දකුණු පළාත කේන්ද්‍ර කර මාතර සහ ගාල්ලේදී ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමඟය.
බස්නාහිර පළාතෙන් පිටත පිහිටු වූ පළමු ඒකකය මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ ඉලක්ක කර පිහිටුවීම සුවිශේෂීය. එම මුල් අවස්ථාව ලැබී තිබුණේ මාතරටය. ඒ අනුව මාතර අපරාධ කොට්ඨාසය (MCD)ලෙසින් මිරිස්ස ප්‍රදේශයේදී පසුගිය 14 දින පෙරවරුවේදී ආරම්භ කෙරිණි. ඒ දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙනි. එහිදී නව ඒකකය පිහිටුවීමේ අරමුණු සහ එහි ක්‍රියාකාරීත්ව පිළිබඳ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස පැවැසුවේය.
“අපේ අතීත සාහිත්‍යයේ කියැවෙන පැරැන්නන් කියූ කතාවක් තමයි “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යන කතාව. මම මේ කතාව අපරාධ කරන්න සැලසුම් කරන සහ අපරාධ සිදු කරන පුද්ගලයන් සහ කණ්ඩායම්වලට යළි මතක් කරන්න කැමතියි. මේ මාතර 'අපරාධ කොට්ඨාසය' පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මැතිතුමාගෙ අදහසකට අනුව ආරම්භ කළේ මේ රටේ ජනතාවට විඳින්න සිදුව ඇති කරදර හා සංවිධානාත්මක අපරාධ හරහා රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් සිදුව ඇති අනතරු මැඬලීම සඳහායි. අපි මේ සඳහා විශේෂ පුහුණුව ලත් නිලධාරී කණ්ඩායමක් හා අධි තාක්ෂණික සංඥා හා උපකරණ ලබා දී තිබෙනවා. යතුරුපැදියක් හෝ මෝටර් රථයක් භාවිත කොට සිදු කරනු ලබන අපරාධයකදි එම වාහන පැය 48 ක් තුළ හඳුනා ගැනීමටත් අත්අඩංගුවට ගැනීමටත් මෙමඟින් හැකියාව තිබෙනවා. මෙම තාක්ෂණය ඉදිරියේදි පොලිස් ස්ථාන වෙත ලබා දීමට පියවර ගන්නවා. මේ හැම දෙයක්ම පොලිසිය සිදු කරන්නේ රටේත් ජනතාවගේත් ආරක්ෂාව සඳහායි”
මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුවන මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්, කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ පිළිබඳ සැල වූ විගස ඒ පිළිබඳ හඹා ගොස් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම මාතර MCD මඟින් සිදු කරනු ලබන අතර එලෙස අපරාධ කිරීමට කරනු ලබන සැලසුම් ජනතා සහායෙන් කල් තියා හඳුනා ගැනීම තුළ එය වැළැක්වීමට පියවර ගැනීම ද මෙම ඒකකය මඟින් සිදු කරනු ලබයි.
සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මාතර අපරාධ කොට්ඨාසය (MCD) අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් තිස් දෙනෙකුගෙන් සමන්විතය. මෙම ඒකකයට යතුරුපැදි සහ ජීප් රථ බලඇණියක් ද විශේෂ පුහුණුව ලත් නිල සුනඛ කණ්ඩායමක් සමඟ අධි තාක්ෂණික උපකරණ, සංඥා උපකරණ හා ගිනි අවි ද ලබා දී තිබේ.
“රටේ අපරාධ මර්දනය මඟින් සෙත සැලසෙන්නේ රටේ ආරක්ෂාවට සහ ජනතාවටයි. අපරාධ මර්දනයට පොලිසිය කුමන ක්‍රියාමාර්ග ගත්තත්, වැඩසටහන් ක්‍රියාත්මක කළත් ජනතාවගේ සහයෝගය නැත්නම් පොලිසියට පමණක් එය වඩාත් සාර්ථකව සිදු කරන්න බෑ. වඩාත් ඵලදායී සේවාවක් සිදු කරන්නට නම් ජනතා සහායත් මේ වැඩපිළිවෙළ සඳහා අපට අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් ජනතාව කළ යුත්තේ අපට අපරාධ හා අපරාධකරුවන් පිළබඳ තොරතුරු ලබා දීමයි.
අපි එලෙස තොරතුරු ලබා දෙන අයගේ රහස්‍ය භාවය සහ ආරක්ෂාව තහවුරු කරනවා. අපි කණ්ඩායමක් ලෙස ක්‍රියා කළොත් අපරාධකරුවන්ගේ බොහෝ ක්‍රියාකාරකම් මැඬ පවත්වා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මත්ද්‍රව්‍ය සහ කුලී අපරාධකරුවන්ගෙන් අපේ අනාගත දරු පරපුර ආරක්ෂා කරගන්න ඕන. අපරාධකරුවන්ගේ සූක්ෂ්ම ක්‍රියා කලාපය නිසා සහ මත් උවදුර නිසා අපේ දරුවන්ගේ සුරක්ෂිතතාව නැති වෙනවා.
දරුවන් මතින් බේරා ගන්නත්, ජනතාව මහන්සියෙන් හරිහම්බ කර ගන්නා දේ ආරක්ෂා කර ගන්නත් මෙම වැඩසටහන මඟින් ආවරණයක් ලැබෙනවා. එම නිසා මම නැවත නැවත කියන්නේ ජනතා සහාය මේ වැඩසටහන් සඳහා අත්‍යවශ්‍ය බව” මාතර අපරාධ කොට්ඨාසය (MCD) භාර සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරා පැවසුවේය.
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ අධීක්ෂණය සහ උපදේශකත්වය මත මාතර හා හම්බන්තොට කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසාගේ සොයා බැලීම් සහ සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක මාතර අපරාධ කොට්ඨාසයෙහි (MCD) පොලිස් පරීක්ෂක මංජු ප්‍රියදර්ශන එදිරිසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙහෙයුම් භාරව ක්‍රියා කරයි.