
- වාද්දුව සංචාරක හෝටලයක නාන තටාකයේ තිබී කිම්ගේ සිරුර සොයාගනී
- නාන තටාකයට පනින අයුරු ඔහුගේම කැමරාවේ සටහන් වේ
සොබා සෞන්දර්ය අතින් පළමු තැනක සිටින මෙරටට කවුරු කවුරුත් දක්වන්නේ දැඩි ඇල්මකි. මෙරට සංස්කෘතික අංග මෙන්ම පෞරාණික සිද්ධස්ථාන දැක බලා ගැනීමටත් විවිධ සුන්දර ස්ථානවල රැඳි සිටිමින් ඒවායේ සිරි නැරඹීමටත් විදේශිකයින් දක්වන්නේ දැඩි රුචියකි. ‘ඇවිද්ද පය දහස් වටී‘ යන කියමන සනාථ කරමින් විනෝදයට මෙරට සංචාරය කරන විදේශිකයන් ද අඩු නැතුවම දැක ගැනීමට ලැබෙන්නේ මෙවන් වටපිටාවක් ඇතුළත වීම පුදුමයට කරුණක් නොවේ. මෙවැනි ගමන්වලින් දැනුම විනෝදය මෙන්ම කායික සහ මානසික සුවයද අත්පත් කර ගත හැකි බව ඔවුන් හොඳහැටි දනී.
කිම් මයින්ග්සන් ( kim myugnsun) ද සංචාරයටම තමන්ගේ ජීවිතයම කැප කළ පුද්ගලයෙකු යැයි කීවොත් නිවැරදිය. ඒ ඔහු රටකින් රටකට ඇවිදීම සිදු කරන්නේ දිර්ඝ කාලයක සිට බැවිනි.
43 හැවිරිදි වියේ පසු වන කිම් දකුණු කොරියානු ජාතිකයෙකි. දැනට අනාවරණය වී ඇති පරිදි තනිකඩ ජීවිතයක් ගත කළ ඔහු රටකින් රටකට ගමන් කරමින් සුන්දර පරිසරය හිතේ හැටියට විඳ ගනිමින් විනෝද වෙන්නේ බැඳීම්වලින් තොර වූ ජීවිතයේ නිදහස ඕනෑවටත් වඩා තිබෙන බැවින් විය යුතුය.
අන්තර්ජාලයෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගැනීමට අවස්ථාව තිබියදී එය පැහැර හැරීම අනුවණකමක් බව සිතු කිම්, යූ ටියුබ් නාළිකාවක් ද ආරම්භ කළේ ඔහුගේ ගමන් බිමන්වලින් ලැබෙන බොහෝ වැදගත් තොරතුරු විශ්වය සමඟ බෙදා හදාගෙන කාටත් යහපතක් සිදු කිරීම සඳහාය.
මේ නිසා අධි තාක්ෂණික ඩිජිටල් කැමරාවක් පාවිච්චි කිරීමට ද ඔහු පෙලඹුණේ නිතැතිනි. ඉතා සියුම් දුර්ලභ දර්ශන යන යන තැන රැගෙන යන තම තෙවැනි ඇසේ රඳවා ගන්නා ඔහු සමාජ මාධ්‍ය හරහා ඒවා බෙදා හදාගෙන සතුටු වන්නේ විශාල වින්දයක් ද ලබන අතරය.
රටකින් රටකට ඇවිද ගිය කිම් නේපාලයේ සැරි සැරුවේ හිම කන්දක් නරඹමිනි. එහි දර්ශන ද ඕනෑවටත් වඩා ලබා ගත් ඔහු ඊළඟට හැරුණේ ශ්‍රී ලංකාව දෙසටය. පසුගිය 16 දා ඔහු මෙරටට එන්නේ ඒ අනුවය. ඉන් පසු ඔහු නවාතැන් ගැනීම සඳහා තෝරා ගත්තේ වාද්දුව ප්‍රදේශයේ මුහුදු තීරය ආසන්නයේ ඇති නිවාඩු නිකේතනයකි. ඔහු එහි නවාතැන් ගැනීමට පැමිණෙන්නේ පසුදින සවස 4. 30 ට පමණය.
කැමරා ආම්පන්නත් ඇඳුම් බෑගයත් හැරුණු කොට කිම් සතුව වෙනත් වටිනා වස්තුවක් නොතිබිණ. එදින රාත්‍රිය සුව සේ නින්දට වැටුණු ඔහු පසුදින උදේ ආහාරයද ඇණවුම් කළේ නිවාඩු නිකේතනයේ පිහිනුම් තටාකය දෙසට යාමට පෙරය.
උදෑසන හිරු එළිය මෙන්ම සීතල ජලයද ගතට සුවදායක බව දන්නා කිම් පිහිනුම් තටාකයට බැස ටිකක් විනෝද වීම කළ යුතු යැයි සිතන්නට ඇත.
රැලි පිට රැලි පෙරළෙමින් වෙරළේ හැපෙන නිල්වන් සයුර මායිමේ ඇති පිහිනුම් තටාකයේ ජලයද තිබුණේ රැලි නොනැඟුණත් නිල් පාටින් බැබළෙමිනි. තටාකයේ බැම්ම මත කැමරා ආධාරකය (ට්‍රයි ෆෝඩ්) තැබු කිම් කැමරාව එහි සවි කළේ ජල ක්‍රීඩා කරන අයුරු පටිගත කර ගැනීම සඳහාය.
ඉදිරිපසට හා පිටුපසට කැමරා දෙකක් සහිත මෙම අධි තාක්ෂණික කැමරාව ඔහුගේ ජීවිතයේ වැදගත් සංචාර සටහන් එක්රැස් කර තැබු ගබඩාවක් වැනිය. සියල්ල මනා ලෙස සකස් කළ කිම් මුහුද දෙස සිට දුවගෙන පැමිණ පිහිනුම් තටාකයට පැන්නේ එම දර්ශන පසුව නරඹා විනෝද වීමට සිතාගෙන විය යුතුය.
“පූල් එකේ එක්කෙනෙක් වැටිල ඉන්නවා. මං හිතුවෙ නානව කියලයි. ඒත් හෙළවෙන්නෙවත් නැතුව හිටිය හින්දයි මං ගිහින් බැලුවෙ...“
හෝටලයේ විදුලි අංශයේ සේවකයෙකු කළමනාකාරිත්වයට දුන් මේ තොරතුර වාද්දුව පොලිසියට ලැබෙන විට වේලාව උදෑසන 8. 30 ට පමණ වී තිබුණි. විමර්ශන ඇරඹෙන්නේ ඒ අනුවය. පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ හා සහකාර පොලිස් අධිකාරි සේනාරත්න යන ජ්‍යේෂ්ඨ නිලධාරින් දැනුවත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමේන්ද්‍ර කුමාර සරත්චන්ද්‍ර නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම ස්ථානයට යන්නේ සිද්ධිය නිවැරැදිව නිරීක්ෂණය කිරීමේ වැදගත්කම වටහා ගෙනය.
පාණදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එම්. සිල්වා මෙන්ම පාණදුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අයිලප්පෙරුම මහතා සහ පාණදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර (සොකෝ) නිලධාරීන් කැඳවීමට ද කොරියානු තානාපති කාර්යාලයට මේ බව දැනුම් දීමටද ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශ්ශංක, සැරයන්වරුන් වන 41055 ජගත්, පොලිස් කොස්තාපල්වරුන් වන 36249 චානක, 102431 ධනංජය, 1011652 හේමචන්ද්‍ර යන නිලධාරීන් විමර්ශන ආරම්භ කළේ යුහුසුලුවය.
ඔහුගේම කැමරාවේ ඔහු පිහිනුම් තටාකයට පනින ආකාරය සහ තටාකයේ යට ස්ථානයක හිස වැදී උඩට එන ආකාරය ද සටහන් වී තිබූ අතර ඔහු මුනින් අතට වතුරේ පාවෙමින් මිය ගොස් සිටියේය. එම නිවාඩු නිකේතනයේ 203 වැනි කාමරයේ නවාතැන් ගත් කොරියානු ජාතික කිම් මයිග්න්සන් මෙසේ මියගිය පුද්ගලයා බව එහිදී හඳුනා ගැනීමට අපහසු වූයේ නැත.
කොරියානු තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ද මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සහභාගි වූ අතර මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ඔහුගේ ඥාතීන් ගෙන්වීමෙන් අනතුරුව පාණදුර මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසය.
රටවල් බොහෝ ගණනක සිරි විඳිමින් සංචාරය කළ කිම් නේපාලයේ අනාකුලම් ප්‍රදේශයේ හිම කන්දක් අසලදී ලබා ගත් ඡායාරූප ද ඔහුගේ කැමරාවේ සටහන්ව තිබුණේ පිහිනුම් තටාකයේ අවසන් ජල ක්‍රීඩාවේ රූප රාමු ද සමඟිනි.
කාත් කවුරුත් නොමැති නන්නාඳුනනා රටක දී කිම්ගේ අවසන් මොහොත ඔහුගේම කැමරාවේ සටහන් වී තිබීම ද එක් අතකින් දෛවෝපගත සිදු වීමකි.