ආදරය වෙනුවෙන් දිවි පිදූ ‘දෙනෙත්’ | සිළුමිණ

ආදරය වෙනුවෙන් දිවි පිදූ ‘දෙනෙත්’

- පෙම්වතියගේ පැරණි පෙම්වතා ඇතුළු කල්ලියේ ප්‍රහාරයෙන් ‘දෙනෙත්’ සදහටම දෙනෙත් පියාගනී
- සැකකරුවෝ පෑලියගොඩ පොලිසියට බාර වෙති

හ අට හැවිරිදි තරුණියක් සමඟ පැවති ප්‍රේම සබඳතාවය බිඳ වැටීම නිසා කෝපයට පත් පෙම්වතා එම තරුණියගේ අලුත් පෙම්වතාව මන්නා පිහියකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් රාගම පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

බටලන්ද පාර, රාගම පදිංචි විසි දෙහැවිරිදි දෙනෙත් පැතුම් ආලෝක තරුණයා මෙසේ ඝාතනය කැරිණි. රැකියාව ලෙස පලතුරු වෙළඳාමේ නිරතව සිටි අයෙකි. 

මෙම ඝාතනය වූ දින දෙනෙත් ඔහුගේ පෙම්වතිය පදිංචි කාලිදාස් විලේජ්, වල්පොල, රාගම ලිපිනයේ පිහිටි ඇගේ නිවසට ගොස් ඇය සමඟ සතුටු සාමීචියේ නිරතව සිටියේය. අනතුරුව පෙම්වතියගේ නිවසේ පුටු සැටියක් මත වාඩිවුණු දෙනෙත්ට පෙම්වතියගේ අතින්ම කෑම කවමින් සිටියදී පෙම්වතියගේ පරණ පෙම්වතා වන 22 හැවිරිදි තරුණයකු ඔහුගේ 19 හැවිරිදි බාල සොහොයුරාත් 16 හැවිරිදි තරුණයකුත් මෝටර් බයිසිකලයකින් එම ස්ථානයට කඩාවැදී දෙනෙත්ට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදු කරන්නේ නිවැසියන් විලාප දෙද්දීය. මන්නා පහරින් බරපතළ තුවාල ලැබූ දෙනෙත්ව ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණේ ඒ මොහොතේමය. ඔහුගේ තත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දින පහක් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

දෙනෙත්ගේ පෙම්වතියගේ මව වන කාලිදාස විලේජ්, වල්පොල, රාගම ලිපිනයේ පදිංචි රාජේන්ද්‍රන් රෙබෙකා සුදර්ශනි රාගම පොලිසියට සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමෙන් අනතුරුව රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක භවන්ත රාජකරුණා සහ සැරයන් (27096) උපනන්ද යන නිලධාරින් සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි. එහිදී මෙම සිද්ධිය වූ ස්ථානයේ මිය ගිය පුද්ගලයා වාඩි වී සිටි පුටු සැටිය සහ අවට ප්‍රදේශය ලෙයින් තෙත් වී ඇති අයුරු ඔවුන්ට නිරීක්ෂණය වී ඇත.

මේ ඝාතනය සිදුවූ නිවස ආශ්‍රිත නිවාසවල වාසය කරන ජනතාව කලින් මෝදර, මට්ටක්කුලිය, මාතර, වැලිගම ආදී මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල වාසය කළ අයයි. පසුව ඔවුන් සුනාමි ව්‍යසනයට ලක්ව අවතැන් වීම නිසා කතෝලික සභාව මගින් ඔවුන් මෙම සුනාමි ගම්මානයට ගෙන්වා පදිංචි කර ඇත. මේ නිවාසවල වාසය කරන වැඩි පිරිසක් අඩු ආදායම් ලබන එතරම් අධ්‍යාපනයක් නොලැබූ පිරිසක් බව අවට ජනතාවගේ මතයයි.

ඝාතනය වූ ස්ථානය අපරාධයක් වූ ස්ථානයක් බවට නම් කර එහි පරීක්ෂණ කටයුතු කිරීම සඳහා කැලණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් සහ කොළඹ ඇඟිලි සලකුණු අංශයේ නිලධාරින් පැමිණ මූලික විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි. පසුව මේ ඝාතනය සම්බන්ධව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් කරුණු වාර්තා කරන ලදි.

ඒ අනුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් දිනූෂි පෙරේරා මේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිය පරීක්ෂණය සිදු කරන ලදි. පසුව මාලිගාකන්ද අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දෙනෙත්ගේ මෘත දේහය තැන්පත් කර ඇති කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ එය පරීක්ෂා කර බලා ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කර තිබේ.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දෙනෙත්ගේ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලදි. මන්නා පහරින් දෙනෙත්ගේ හිසට සිදුවූ දැඩි හානි නිසා හිසට ලේ ගැලීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවට නිගමනය කරන ලදි. පසුව රාගම පොලිසියේ නිලධාරින් මෙම සිද්ධිය සම්බන්ධව ඇසින් දුටු පුද්ගලයන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදි. ඒ අනුව දෙනෙත් ආලෝක ප්‍රේම සබඳතාවය පවත්වාගෙන ගිය තරුණියගේ කලින් පෙම්වතාත්, ඔහුගේ බාල සොහොයුරෙකු සහ තවත් තරුණයකු පැමිණ මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු පොලිසිය විසින් හෙළිකර ගන්නා ලදි. දෙනෙත් ආලෝක ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන සිටි තරුණියගේ කලින් පෙම්වතා වන ප්‍රධාන සැකකරු තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙකි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයෙකි. ඒ නිසා මෙම තරුණිය එම ප්‍රේම සබඳතාවය අතහැර දමා ඇත්තේ මීට ටික කාලයකට කලිනි. මේ නිසා දැඩි ලෙස කෝපයට පත් එම තරුණියගේ කලින් පෙම්වතා වන ප්‍රධාන සැකකරු දෙනෙත් ආලෝකට තර්ජනය කර ඇත්තේ එම සබඳතාවය නවත්වන ලෙස කියමිනි. සැකකරු පෙම්වතියට සේම ඇගේ මවට ද මෙසේ තර්ජනය කර ඇති බවට හෙළිවී තිබේ. එහෙත් දෙනෙත් ආලෝක එම ප්‍රේම සබඳතාවය අත් නොහැරීම නිසා මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.

ප්‍රධාන සැකකරු පෙම්වතියගේ නිවෙසට කඩාවැදී දෙනෙත් ආලෝකට මන්නා පිහියකින් පහරදී ඇති අතර සැකකරුගේ බාල සොහොයුරා වීදුරු බෝතලයක් කඩා දෙනෙත්ගේ හිසට ඇන ඇති බවට හෙළිවී තිබේ. ඝාතනය වූ දෙනෙත් අලෝකගේ මව විදේශගතව සිටින්නීය. ඔහුගේ පියා වෙනත් විවාහයක් කරගෙන ඇති බවට ද තොරතුරු හෙළි විය. මේ නිසා දෙනෙත් ආලෝක හදාවඩා ගෙන ඇත්තේ ඔහුගේ පුංචිඅම්මා විසිනි. ඊට අමතරව දෙනෙත් ආලෝකගේ සහෝදරයන් දෙදෙනා ද ජීවත් වන්නේ පුංචිඅම්මාගේ සෙවණේය.

සැකකරුවන් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මේ ප්‍රධාන සැකකරු හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධව බන්ධනාගාරගතව සිට පැමිණි පුද්ගලයකු බවට හෙළිවී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔවුන් රාගම පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබිණි.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වන රාගම, වල්පොල පදිංචි 22 හැවිරිදි එම තරුණියගේ කලින් පෙම්වතා වන ප්‍රධාන සැකකරුත් එම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ඔහුගේ බාල සොහොයුරා සහ දියගල සුනාමි ගම්මානයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සිය 18 හැවිරිදි පෙම්වතිය සමඟ දෙනෙත් ආලෝක ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය බවත් එම සබඳතාවය නතර කිරීමට කීප වතාවක් ඔහුට පැවසුවත් ඔහු එම සබඳතාවය නතර කර නොමැති නිසා මෙම ඝාතනය සිදුකර ඇති බව එහිදී හෙළි විය.

රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක භවන්ත රාජකරුණා, සැරයන් (27096) උපනන්ද, කොස්තාපල්වරුන් වන (78997) පෙරේරා, (79574) සඳුන් යන නිලධාරින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

Comments