
මිනුවන්ගොඩ, ගමන්ගෙදර සරුංගල් ආරවුලෙන් හටගත් ඝාතන දාමයේ ත්‍රිපුද්ගල ඝාතනය සිදු වූයේ ඉකුත් 6 වැනිදා පෙරවරු 6.50ට පමණය. ඒ අනුව 2017 අගෝස්තු 26 වැනිදා ඇරැඹි එම ඝාතන දාමයේ ඝාතන සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගියේ නොනවතින ඝාතන වැලක් ලෙසිනි. මෙවර ඝාතනය වූයේ අංක 189/1/ඒ, ගමන්ගෙදර, මිනුවන්ගොඩ නිවෙසේ වාසය කළ 50 හැවිරිදි ලක්ෂ්මන් පුෂ්පකුමාර සිල්වා හෙවත් ‘රාලහාමි‘ සමඟ ඔහුගේ පුතුන් දෙදෙනා වන 25 හැවිරිදි සුරේෂ් ජීවන්ත සිල්වා සහ 23 හැවිරිදි රොෂාන් මධුවන්ත සිල්වාය.
පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් දෙදෙනෙක් සමඟ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් රාලහාමිලාගේ නිවෙසටම පැමිණ නිදි පැදුරේදීම මේ පියපුතු තිදෙනා ඝාතනය කර තිබුණේ අමානුෂික ලෙසිනි.
එම ඝාතන පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියට සැලවීමත් සමඟ මූලික විමර්ශන ඇරැඹෙද්දී පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින්ටද එම ත්‍රිත්ව ඝාතනය සැලවීමත් සමඟ එහි නිලධාරි කණ්ඩායමක්ද ඝාතකයන් සොයා විමර්ශනවලට එක් විය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරි කණ්ඩායම පැය 5ක් වැනි කෙටි කාලයක් තුළදී කිලෝමීටර් 100කට අධික දුරක් ඝාතකයන් පසුපස හඹා ගොස් ඝාතනයට පැමිණි තිදෙනෙක් සහ ඝාතනයට මුදල් වියදම් කළ පුද්ගලයා ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ විශිෂ්ටත්වය කියා පාමිනි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත ගෝනහේන කඳවුරේ ප්‍රධානී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීරගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන එස්.ඩී.පී.එන්. දේශප්‍රිය සහ එස්.පී. ගුණතිලක ඇතුළු කණ්ඩායමක්ද මේ සිද්ධිය වූ සැණින් ගමන්ගෙදර ත්‍රිත්ව ඝාතනය වූ රාලහාමිගේ නිවෙසට ගියේ විමර්ශන සඳහාය.
ඝාතනය සැලවී විනාඩි දහයක් වැනි කෙටි වේලාවකදී එනම් එදින පෙරවරු 7 පමණ වෙද්දී එස්ටීඑෆ් නිලධාරි කණ්ඩායමට එම නිවෙසට යාමට හැකි විය. ඝාතනය සිදු වන විට එස්ටීඑෆ් නිලධාරින් ඝාතනය සිදුවූ නිවෙසට කිලෝමීටර් දෙකක පමණ දුරකින් පිහිටි ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ අපරාධවලට සම්බන්ධ නිවෙසක් පරීක්ෂාවට ගොස් සිටියේය.
එස්ටීඑෆ් නිලධාරින් අදාළ නිවෙසට යද්දී මිනුවන්ගොඩ පොලිසිය එහි පැමිණ මූලික විමර්ශන අරඹා තිබිණි. එස්ටීඑෆ් නිලධාරින් කීප දෙනෙක් සිටියේ සිවිල් ඇඳුමෙනි. ඔවුන්ද විමර්ශනවලට එක් වූහ. එහිදී ඝාතනය වූ නිවෙසේ අවුරුදු 18ක පමණ තරුණියක් සිවිල් ඇඳුමින් සිටි එස්ටීඑෆ් නිලධාරියෙක්ගෙන් විමසුවේ ‘ඔබතුමාලා එස්ටීඑෆ් එකෙන්ද?‘ යන්නයි.
‘ඔව්... අපි එස්ටීඑෆ්...‘ නිලධාරියෙක් කීවේය.
“සර්... මේ අපරාධකාරයෝ ආපු කාර් එකේ නම්බර් එකනම් අපි දන්නවා...“ යැයි නිවෙසේ සිටි එම තරුණිය පැවැසුවාය.
ඒ අනුව පොලිස් පරීක්ෂක දේශප්‍රියට ඝාතකයන් පැමිණි මෝටර් රථයේ අංකය ද ලබා දෙමින් නිවැසියන් තවත් තොරතුරුද ලබා දුන්නේ සැක සහිත කිහිප දෙනෙකුගේ නම්-ගම්ද පවසමිනි. එම නම්-ගම් අතර ඝාතනයට පැමිණ සිටි පිරිසද සිටි ආකාරය පසුව අනාවරණය විය.
මේ ත්‍රිත්ව ඝාතනය සිදු කිරීම සඳහා මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පස්දෙනෙකු පැමිණි බවත් දෙදෙනෙකු පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරැසි සිටි බවත් හෙළි විය. පොලිස් නිල ඇඳුම් ලා සිටි එක් අයකු අත ටී56 ගිනි අවියක්ද තිබී ඇත.
එම තොරතුරුද ලබාගත් එස්ටීඑෆ් කණ්ඩායම නිවෙසින් පිටවී මඳ දුරක් එද්දී ගෝනහේන එස්ටීඑෆ් කඳවුරෙන්ද විමර්ශන නිලධාරින් අමතා කීවේ, බඩල්ගම පොලිස් වසමේ කිසියම් ස්ථානයක මෝටර් රථයක් අත්හැර දමා ගොස් ඇති බවයි.
ඒ වන විට වේලාව පෙරවරු 7.40ට පමණය. එස්ටීඑෆ් නිලධාරින් එසැණින් අදාළ මෝටර් රථය තිබූ බඩල්ගම එම ස්ථානය සොයා ගියේය. ඒ අතරේ එස්ටීඑෆ් නිලධාරින්ට තොරතුරු ලැබුණේ මෝටර් රථය අත්හැර දැමු තිදෙනා ත්‍රිරෝද රථයක නැඟි පලා ගොස් ඇති බවටයි. එම ත්‍රිරෝද රථය පසුපස එස්ටීඑෆ් නිලධාරින් හඹා ගියහ. ත්‍රිරෝද රථය අතරමඟදි හමු විය.
“සර්... මගේ ත්‍රිවිල් එකේ ඒ තුන්දෙනා යද්දි මට යාළුවෙකුගෙන් කෝල් එකක් ආවා... ‘උඹගේ ඔය ත්‍රිවිල් එකේ යන තුන්දෙනා කාර් එකක් මඟ දාලා යන්නේ... පරෙස්සම් වෙයන්... මොකුන්ද දන්නෙ නෑ...‘ කියලා. ඊට පස්සෙ මං ඒ අයට යන්න බෑ... ත්‍රිවිල් එකෙන් බහින්න කිව්වම මාත් එක්කත් රණ්ඩු වුණා... පස්සේ මට කිව්වා අහවල් ගෙදර ළඟට ගිහින් දාන්න කියලා. ඒ ගෙදර ගෑනු කෙනා තමයි පස්සේ මට හයර් එක දුන්නේ...“
බඩල්ගම පොලිස් වසමේ දෙවලපොළ පිහිටි එකී කාන්තාව සිටි නිවෙසට එස්ටීඑෆ් නිලධාරින් කඩා වදින්නේ ඒ අනුවය. නිවෙසේ සිටි කාන්තාවකගෙන් විමර්ශන නිලධාරින් ප්‍රශ්න කරන්නේ ඒ අනුවය.
“සර්... ඒ තුන්දෙනා මෙහාට ඇවිල්ලා මගෙන් සල්ලිත් ඉල්ලගෙන ගියා... මිරිස්වත්තෙන් බස් එකට නඟින්න මේ දැන් ගියේ...“ යැයි ඇය කීවාය.
ඇගේ එම ප්‍රකාශය අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ඊළඟ හඹා යෑම සිදු කරද්දී බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින්ද සැකකරුවන් තිදෙනා සොයා විමර්ශන සිදු කළහ. ඒ අතරේ සැකකරුවන් පසුපස හඹා යන එස්ටීඑෆ් කණ්ඩායමට ගෝනහේන එස්ටීඑෆ් කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ද එක් විය.
සැකකරුවන් මිරිස්වත්ත හන්දියෙන් අනුරාධපුරය බලා යන ලංගම බස් රථයට ගොඩ වුණු බවට තහවුරු වූයේ ත්‍රිරෝද රථයට මුදල් දුන් කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය. ඒ එම කාන්තාවට සැකකරුවන් ලංගම බස් රථයකට නැඟ දුරකතන ඇමැතුමක් ගෙන තිබූ හෙයිනි.
එහිදී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් අනුරාධපුරයට යනෙන දඹුලු මාර්ගයේ ගමන් කරද්දී එස්ටීඑෆ් කණ්ඩායම පාදෙනිය හරහා අනුරාධපුරයට දිවෙන මාර්ගයේ ගමන් කෙළේය. ඒ එස්ටීඑෆ් නිලධාරින්ට තොරතුරු ලැබී තිබුණේ එම බස් රථය පාදෙනිය මාර්ගයේ ගමන් කරන බවටයි. ඒ අනුව 12 දෙනෙකුගෙන් සමන්විත එස්ටීඑෆ් කණ්ඩායම රැගත් වෑන් රථය වාරියපොළ පසුකොට එම මාර්ගයේ ගමන් කරද්දී ඒ වන විට එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ කීපයක දුරකතන අංක සොයා ගත් එස්ටීඑෆ් නිලධාරින්ට එම බස් රථවලින් මහත් සහායක් ලැබී තිබුණේ සැකකරුවන් ගමන් ගන්නා බස් රථය සොයා ගැනීමටයි.
“මෑතකදී කොළඹ අනුරාධපුර දුවන බස්වලින් (බස් රථවල නම කියයි) කොළඹදි කප්පම්කාරයෝ රුපියල් දාහ... දෙදාහ ගන්න නිසා ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ වෙලාවේ ඒ බස්වල රියැදුරන් මට කතා කරලා විස්තර කිව්වා. අන්න ඒ අය ඒ දවස්වල කතා කළ නම්බර්ස්වලට මං කතා කරලා ඇහුවා ඒ වෙලාවේ අනුරාධපුරයට යන බස් ගැන... ඒ අය ලොකු සපෝට් එකක් දුන්නා. ඒ මිනිස්සු මට ෆෝන් නම්බර් එකක් දුන්නා. ‘සර් මේ ටයිම් එකට මෙන්න මේ දුරකතන අංකයේ බස් එක අසවල් තැන තියෙන්න පුළුවන්... කියලා. මම ඒ දුරකතන අංකයට කතා කළා. ඒ රියැදුරා කිව්වා... ‘සර් දැන් ඒ අයට ඉස්සර වෙලත් සීටීබී එකක් යනවා... පස්සෙනුත් සීටීබී එකක් එනවා කියලා. අපි ඒ බස් දෙක ගැනම අවධානයෙන් ගියේ... මොකද අපි දැනගත්තා ලැබුණ තොරතුරු අනුව ඔය බස් දෙකෙන් එකක අනිවාර්යයෙන්ම කට්ටිය සිටිය යුතුයි කියලා...“ ඒ ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් පසුපස හඹා ගිය එස්ටීඑෆ් කණ්ඩායමේ ප්‍රධානියකු එම මෙහෙයුම ගැන කීවේ එවැනි කතාවකි.
එස්ටීඑෆ් නිලධාරින් ඇමැතුම ගත් ඒ වන විට ධාවනය වෙමින් තිබූ අදාළ දුරකතන අංකය සහිත පෞද්ගලික බස් රථ රියැදුරා තවත් හෝඩුවාවක් දී තිබුණේ එක් සීටීබී බස් රථයක් ගල්ගමුවට මෙපිටින් තේ පානයට නතර කර තිබෙන බව කියමිනි. ඒ වන විට වේලාව උදෑසන 11ට ආසන්නය. තේ පානයට නතර කළ බස් රථය යළි ධාවනය විය. එස්ටීඑෆ් කණ්ඩායම රැගත් වෑන් රථය බස් රථයට ඉස්සර කරන්නේ එහිදීය. අනතුරුව බස් නැවතුම් පොළකදී සිවිල් ඇඳුමින් සිටි එස්ටීඑෆ් නිලධාරින් දෙදෙනෙක් වෑන් රථයෙන් බැස්සේ තේ පානය කොට පැමිණෙන බස් රථයට ගොඩ වන ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දුන් උපදෙස් මතයි. ඒ වන විට සැකකරුවන් ඇඳ සිටි ඇඳුම් මෙන්ම ඡායාරූපද එස්ටීඑෆ් කණ්ඩායම සතු විය.
මඳ වේලාවක් යද්දී එහි පැමිණි බස් රථයට බස් නැවතුමේ සිටි එස්ටීඑෆ් කොස්තාපල් මධුෂංක ගොඩ විය. ඔහු බසයේ සිටි රතු පැහැති ෂර්ටයකින් සැරැසුණු පුද්ගලයා ත්‍රිත්ව ඝාතනයට පැමිණි අයකු බව සනාථ කරගත්තේ ඔහුගේ හැසිරීම් රටාද නිරීක්ෂණය කරමිනි. එසේම සෙසු දෙදෙනාද බසයේ සිටින වග ඔහු හඳුනා ගත්තේය. සැණින් මධුෂංක ඇමැතුමක් ගත්තේ වෑන් රථයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියාටයි.
“සර්... මේ බස් එකේ තුන්දෙනාම ඉන්නවා...“ යැයි ඔහු කීහ.
ඒ වන විට වේලාව දහවල් 12ට ආසන්න විය. සැණින් වෑන් රථයේ සිටි පිරිස ක්‍රියාත්මක වූහ. ඊළඟ බස් නැවතුමට ළඟා වූ බස් රථයේ මඟ හරස්කොට වෑන් රථය නතර කෙරිණි. සිවිල් ඇඳුමින් සිටි නිලධාරින් බස් රථයට ගොඩ වූහ. එසැණින් බස් රියැදුරුද දැනුවත් කෙරිණි. බස් රථයේ තුන් තැනක වාඩිගෙන සිටි සැකකරුවන් තිදෙනා එස්ටීඑෆ් බාරයට ගත්තේ සැකකරුවන්ට කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි ලෙසිනි.
තිදෙනා අත්අඩංගුවට ගැනුණේ NC 1146 දරන කොළඹ සිට අනුරාධපුරය බලා ගමන් කළ ලංගම බස් රථය ගල්ගමුව පසුකොට අනුරාධපුර දිස්ත්‍රික් සීමාවට ළඟා වෙමින් තිබියදීයි. අත්අඩංගුවට පත් තිදෙනා වූයේ මිනුවන්ගොඩ පෙදෙස් වන හීනටියන පදිංචි 24 හැවිරිදි සහන් මධුරංග, ගමන්ගෙදර පදිංචි 30 හැවිරිදි සංජය ෂානක සහ මිනුවන්ගොඩ මඩවල පදිංචි 24 හැවිරිදි ජනිත් මධුෂාන්ය. ඔවුන් තිදෙනාම ඥාති හිතවතුන්ය. රාලහාමි සහ පුතුන් දෙදෙනාගේ ඝාතනයෙන් පසු ඔවුන් තිදෙනා පලා ගියේ රඹෑවේ සිටින සහන් මධුරංගගේ වැඩිමල් සහෝදරියකගේ නිවෙසට ගොස් සැඟවී සිටීමේ අටියෙනි. අත්අඩංගුවට පත් තිදෙනාගෙන් සහන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත ඔහුගේ බිරියගේ පියා ඝාතනයට මුදල් වියදම් කළ ගමන්ගෙදර පදිංචි 50 හැවිරිදි නිහාල් ප්‍රේමරත්න හෙවත් ‘ටෂ්මින්‘ද අත්අඩංගුවට ගත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේදී WP 20-3675 දරන වෑන් රථයක්ද සමඟිනි.
ටෂ්මින් ත්‍රිත්ව ඝාතනයට අදාළව රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත් මුදල පවුලේ අයගේ රත්රන් බඩු උකස් කොට මුදල්කොට ඩුබායිහි සිටින ‘හීනටියන මහේෂ්‘ නමැත්ත යැවීම සඳහා ඔහු රඹෑවට පැමිණෙන්නට නියමිතව සිටියේ ඝාතනයෙන් පසු දාය. එහෙත් එස්ටීඑෆ් නිලධාරින් ටෂ්මින්ගේ බෑනා, අත්අඩංගුවේ පසුවූ සහන් ලවා ටෂ්මින්ට දුරකතන ඇමැතුමක් දුන්නේය.
“තාත්තේ... මට මෙහේ ඉන්න බැහැ... ඕගොල්ලෝ කොහේද ඉන්නේ... මාත් ඕගොල්ලෝ ඉන්න තැනකට එන්නම්...“
“වෙන කරන්න දෙයක් නෑ... ඒක තමයි අපි උඹට ඕව කරන්න ඉස්සෙල්ලා කිව්වේ... ඔච්චර බයනම් මොකටද ඕවා කළේ... මං උඹට එදත් කිව්වනේ... සල්ලි දෙන එක නෙවෙයි ප්‍රශ්නෙ... ඕවා කරලා බේරෙන විදිහක් ගැන හිතන එකනේ...“ යැයි ටෂ්මින් කීවේය. සහන් නැවත නැවතත් පෙරැත්තය පෑවේ රඹෑවේ සිටිය නොහැකි බවම කියමිනි. “හරි එහෙනම් උඹ ගිරිඋල්ලට ඇවිත් කෝල් එකක් දියන්...“
එසැණින් එස්ටීඑෆ් නිලධාරිහු සැකකරුවන් තිදෙනා රැගෙන ගිරිඋල්ලට ගොස් දුරකතන ඇමැතුමක් ගත්තේය. ඒ වන විට ටෂ්මින් ගිරිඋල්ල - මීරිගම මාර්ගය යාබද ගාමන්ට් හන්දියේ හිතවත් නිවෙසකට පැමිණ සිටියේය. අනතුරුව උපක්‍රමශීලීව එම නිවෙස හඳුනාගෙන ටෂ්මින්ද අත්අඩංගුවට ගත්තේ එදින රාත්‍රී 7ට පමණය.
සිවුදෙනා එලෙස එස්ටීඑෆ් අත්අඩංගුවට පත්වෙද්දී සැකකරුවන්ට පලා යාමට සහාය දුන් දෙවලපොළ නිවෙසේ 37 හැවිරිදි කාන්තාව සහ 38 හැවිරිදි ඇගේ සැමියා ද මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ එදින සවසමය. එස්ටීඑෆ් අත්අඩංගුවට පත් සිවුදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුල-මුල අනාවරණය වන්නේ මෙලෙසිනි.
2017 වසරේ අගෝස්තු 26 වැනිදා සරුංගල් ආරවුලට ලක්ෂ්මන් හෙවත් රාලහාමිගේ පාර්ශ්වයෙන් මුලින්ම ඝාතනය වන්නේ ටෂ්මින්ගේ සහෝදරයා වන කරවල වෙළෙඳාමේ නිරත වූ ලාල් ප්‍රේමසිරි සහ ඔහුගේ එකම පුතු සුරාජ් ධනංජයයි.
එම ද්විත්ව ඝාතනයට පසුගිය 6 වැනිදා ඝාතනය වූ රාලහාමි, ඔහුගේ පුතුන් දෙදෙනා සහ රාලහාමිගේ වැඩිමල් සහෝදරයා ජස්ටින් රත්නසීලද බන්ධනාගාරගත විය. මාස කීපයකට පසු පිරිස ඇප මත මුදා හැරිණි. 2018 අගෝස්තු 5 වැනිදා දහවලේ 65 හැවිරිදි ජස්ටින් ඝාතනය විය. ඒ ටෂ්මින්ගේ පුතු 23 හැවිරිදි ලක්ෂිත ලක්ෂාන් හෙවත් සුද්දා සහ තවත් කෙනෙකු අතිනි. ඔවුන් දෙදෙනා එම ඝාතනයට බන්ධනාගාර ගත විය. අනතුරුව ඇප මත මුදා හැරුණු සුද්දා, ටෂ්මින් පාර්ශ්වය සහ රාලහාමිගේ පාර්ශ්වය අතර ගමේ විහාරස්ථානයේ හිමිනමගේ මැදිහත් වීමෙන් සාමදානයට එලැඹියේ විහාරස්ථානයට රැස් වෙමිනි. එම සාමදාන දින සුද්දාගේ ‘ගැන්සියේ‘ අයෙක් වන ‘හීනටියන මහේෂ්‘ද සුද්දාගේ පාර්ශ්වය නියෝජනය කරමින් විහාරස්ථානයට පැමිණියේය.
කෙසේ හෝ සාමදාන කාලය නිමා කරමින් 2021 ජුනි 20 දා ලක්ෂිත ලක්ෂාන් හෙවත් සුද්දා කපා-කොටා ඝාතනය කරන්නේ මිනුවන්ගොඩ, කොටගෙදරදියි. එම ඝාතනයට සැකපිට රාලහාමි සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකු බන්ධනාගාරගත විය.
මීට මාස පහකට පමණ පෙරදී රාලහාමි ඇතුළු පුතුන් තිදෙනා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නිවෙසට පැමිණියෝය. ඒ අතරේ සිය පුතු ලක්ෂිත ඝාතනයට එකට එක කිරීමට ඔහුගේ පියා ටෂ්මින් සැලැස්මක් සිතුවේය. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉක්මන් වූයේ රාලහාමිලා විසින් ඝාතනය වන්නට පෙර දින දෙක තුනක් ඇතුළතදී ටෂ්මින්ගේ දෙපා වෙන් කරන බවට තර්ජනය කර තිබීමයි.
ඊට පෙර ඉක්මන් වූ ටෂ්මින්, සිය බෑනා සහන් සමඟ එක්ව ඩුබායිහි සිටින සුද්දාගේ මිතුරෙක් වන හීනටියන මහේෂ් ඇමැතීය. මහේෂ් ගම්පහ පාතාලයේ කෙහෙල්බද්දර පත්මේගේ පාර්ශ්වයේ අයෙකි. පසුගියදා සිදුවූ පස් පොඩ්ඩා ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා යොදවා තිබුණේද මහේෂ් විසිනි. හීනටියන නීල් සහ නුවන් පුතාගෙන් බේරීමට මහේෂ්ද ඩුබායි රටට පලා ගියේ සුද්දාගේ ඝාතනයෙන් මාස හතරකට පමණ පසුවය. ටෂ්මින්, මහේෂ් සමඟ සම්බන්ධ විය. මහේෂ්ද සිය මිතුරා ඝාතනය කිරීම නිසා රාලහාමිලා සමඟ අවුලෙන් සිටියේය.
“අංකල් ලක්ෂ 20ක් රෙඩි කරගන්න... මං ෂූටර් කෙනෙකුයි තව කෙනෙකුයි එවන්නම්... වැඩේ තිතට කරාවි... මට සත පහක් එපා... උන් දෙන්නට 10 ගානේ දෙන්න ඕන...“
අනතුරුව සිය පවුලේ අයගේ කනකර බඩු උකස් කොට ටෂ්මින් විසින්ලක්ෂ 20 සොයාගෙන ගැනීමට සැලැසුම් කරන අතරේ තිදෙනා ඝාතනයටද සූදානම් විය. ඒ අනුව සහන් විසින් මෝටර් රථයක් කුලියට ගෙන ජනිත් විසින් තම ලොකු තාත්තාගෙන් යතුරුපැදියක්ද ඉල්ලාගෙන මහේෂ් විසින් එවන ලද වෙඩික්කරු ‘ලක්මාල්‘ සහ ‘මාමා‘ නමැත්තාට පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් අන්දවා මෝටර් රථය සහ යතුරුපැදියෙන් ගොස් ත්‍රිත්ව ඝාතනය සිදු කර තිබුණේ ම්ලේච්ඡ ලෙසිනි.
ඝාතනයෙන් පසු පොලිස් නිල ඇඳුම් ලා ගත් දෙදෙනා එම ඇඳුම් බඩල්ගම පොලිස් වසමේ බෝක්කුවක් අසල ගලවා දමා අතුරුදන් වූයේ එස්ටීඑෆ් අත්අඩංගුවට ගැනුණු තිදෙනාටත් නොදන්වායි.
මුලින් අත්අඩංගුවට ගැනුණු තිදෙනා රඹෑවට ගියේ සැඟවෙන්නටය. ටෂ්මින් ගල්ගමුවෙන් ඩුබායිහි සිටින මහේෂේට මුදල් යවා රඹෑවට ගොස් සැඟවී සිටින්නට සැලැසුම් කෙළේය. එස්ටීඑෆ් නිලධාරින්ගේ දක්ෂ විමර්ශනශිලී භාවය නිසා මේ සැලැසුම ව්‍යාර්ථ විය.
අත්අඩංගුවට ගැනුණු සහන්ගෙන් ප්‍රශ්න කෙළේ ඝාතනයට පැමිණි සෙසු දෙදෙනා ගැනය. ඔහු ඒ ගැන කිසිවක් නොකීවේය. එහෙත් එස්ටීඑෆ් සාමාජිකයන්ගෙන් ගැලවීමට නොහැකි බව දත් සහන් ඔහු දැන සිටි තොරතුරු හෙළි කරන්නට විය.
“සර්... ඒ දෙන්නා යුනිෆෝම් ගලවලා වැගන්ආර් කාර් එකකින් අරගෙන ගියා වගේ දැක්කා... දෙන්නගෙන් එක්කෙනෙක් ගම්පහ. එයා ලකී...“ සහන් කීය. පිරිස 6 වැනිදා අලුයම ඝාතන සැලැසුමට පසුදා එනම් පස්වැනිදා රාත්‍රියේ සිටම සූදානම් වූයේ එක් තැනකට එක් වෙමිනි. ඝාතනය සඳහා පොලිස් වෙස් ගැනීමට නියමිතව සිටි ලක්මාල් හෙවත් ලකීගේ නිල ඇඳුමේ ‘පටිය‘ අමතක වී ඇත. ඔහු සහන් සමඟ මෝටර් රථයෙන් එම පටිය ගෙන ඒම සඳහා ගම්පහ නිවෙසකට ගොස් ඇත.
ඒ නිසා සහන්, ලක්මාල් සිටින ස්ථානය දැන ගත්තේය. ඒ අනුව ලක්මාල් ගැන හෙළි නොවන්නට ‘ලක්මාල්‘ සහ ‘මාමා‘ ගැන එම තිදෙනාද කිසිවක් නොදන්නා බවකි. එම ඝාතන කොන්ත්‍රාත්තුව ගත් දෙදෙනා ගැන නිසි තොරතුරු දන්නේ ඩුබායි සිටින මහේෂ් පමණක් බව ද සැල වේ.