කතුන්ට සිකුරා පෙන්නා මුදල් ගැරූ හොර මනමාලයා | සිළුමිණ

කතුන්ට සිකුරා පෙන්නා මුදල් ගැරූ හොර මනමාලයා

 

“හලෝ... හලෝ... මං රාහුල ජයසිංහ. ඔයාල පත්තරේ දැම්ම මංගල දැන්වීම ගැන කතා කළේ. තව පොඩ්ඩක් විස්තර දැනගන්න කැමතියි...“

'අනංග රාජයෙකු' වන 'රාහුල' ඉරිදා පුවත්පතක මංගල යෝජනා තීරයේ පළ වූ එම දැන්වීම දුටුවනම දහසක් ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව දුරකතනය අතට ගත්තේ ඉක්මනින් තොරතුරු දැන ගැනීමේ අටියෙනි. ඔහුට ලැබුණ පිළිතුර ඉතාම සුබදායක වූ අතර ඔවුන් පවසා සිටියේ මනාලියට විශාල දේපළක් සහ රුපියල් ලක්ෂ ගණනින් මුදල් ද ලබා දෙන බවය.

“වැඩේ හරි අම්මේ... තව යෝජනාවක් තියෙනවා... ඒකත් ඉක්මනට බලන්න යමු...“ ඔහු තම මව අමතා එලෙස පැවසුවේ මනාලිය බැලීමට මව සමඟ යා යුතු බැවිනි.

“ඔයා පත්තරේ දාපු එකටත් කීප තැනකින්ම කතා කරලයි තියෙන්නෙ... මං ඒ අයගෙ නොම්මර ටිකත් දෙන්නම්... කතා කරල බලන්න...“

මේ වැඩ කටයුතුවලට රාහුලට මවගෙන්ද ලැබෙන්නේ විශාල සහයෝගයක් වීම ඔහුට ඉමහත් ශක්තියක් වී තිබිණි. රාහුල සිටින්නේ පාණදුර, හිරණ කුලි නිවෙසක වුවත් මව සිටින්නේ ගම්පහ, උඩුගම්පළ ප්‍රදේශයේය. මව සහ පුතු දෙපොළක සිටියත් නිතර නිතර කතාබස් කරගෙන මනාලියන් බැලීමට යාම සිරිතය. ඔහු හිරණ ප්‍රදේශයේ නිවෙස රුපියල් විසිපන්දාහක මාසික කුලි පදනම මත ලබා ගත්තේද කිසිවෙකුගෙන් හෝ කරදරයක් නොමැතිව තම වැඩ කටයුතු සිදු කර ගැනීමේ අරමුණ ඇතිවය.

හිරණ ඔහු පදිංචි නිවෙස අවට වැසියන් සිතන්නේ ඔහු ඉතා වැදගත් උසස් රැකියාවක් කරන උගත් පුද්ගලයෙකු බවය. ඒ, ඔහු අඳින පලඳින ආකාරය මෙන්ම ගමන් බිමන් යන ආකාරයෙන්ද එය මොනවට පැහැදිලි වන හෙයිනි. කිසිවෙකු සමඟ ඇසුරක් නොපවත්වන රාහුල සති අන්ත පුවත්පත්හි මංගල දැන්වීම් තීරුවේ පළ කර ඇති දැන්වීම් වලට කතා කර මනාලියන් සොයන්නේ වත්පොහොසත්කමින් වැඩි පිරිස තෝරා ගනිමිනි. එසේම සෑම සතියකම ඔහු විසින්ද මංගල දැන්වීමක් පළ කරන්නේද දික්කසාද හෝ දරුවන් නොමැති සහකාරියකට ආරාධනා කරමිනි. එහිදි තමා ව්‍යාපාරිකයෙක් හෝ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකුගේ භුමිකාවට අවතිර්ණ වෙන්නේ නිරායාසයෙනි.

මෙලෙස තෝරා ගන්නා මනාලියන් බැලීමට තම මව සමඟ එම නිවෙස් වලට හෝ හෝටල් වලට යන මොහු විවාහ පොරොන්දු දී එම කාන්තාවන් රවටා මිතුරුකමක් ගොඩනඟා ගෙන ඔවුන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගන්නේ නොයෙක් හේතු ඉදිරිපත් කරමිනි. මෙම දුරකතන සංවාද සඳහා පාවිචිචි කරන්නේද එම කාන්තාවන්ගේ ජාතික හැඳුනුම්පත මඟින් ලබා ගත් සිම්පත් වීමද විශේෂිතය. නවසීලන්තය බලා පිටත්ව යාමට කැමැත්තක් දක්වන කාන්තාවන්ට ‘වීසා‘ ලබා දීමටද ඔහු කටයුතු කළේ මුලින් ලක්ෂ පහක පමණ අත්තිකාරම් මුදලක් ලබා ගැනීමෙන් පසුවය. එහෙත් මෙතෙක් ඔහු වීසා ලබා දුන් කෙනෙක් සොයා ගැනීම ‘කළු නික‘ සොයනවාටත් වඩා අමාරු කාර්යක් බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරින් පවසයි.

හෝමාගම, මීගොඩ ප්‍රදේශයේ මවක්, ගුරුවරියක වන සිය දියණිය වෙනුවෙන් සහකරුවෙකු සොයන බවට ඉරිදා පුවත්පතක දැන්වීමක් පළ කර තිබෙන බව රාහුල දකින්නේ මංගල දැන්වීම් තීරුව ඔස්සේ දෙනෙත් යොමු කරමින් සිටියදීය. වහාම එම නිවැසියන්ට කතා කරන රාහුල මෙම යෝජනාවට ඔවුන්ගේ එකඟතාව පළ කර ගැනීමට සමත් වූයේ ඔහුගේ සුහදශිලි කතාබහට ඔවුන් රැවටීම නිසාය. මංගල යෝජනාව පළ කළ කාන්තාව සමඟ මිතුරුකමක් ගොඩ නගා ගත් රාහුල ඇගෙන් රුපියල් විසිපන් ලක්ෂ හැට දාහක මුදලක් දක්වා මුදල් ලබා ගත්තේ විටෙන් විට හදිසි අවශ්‍යතාවන් ගැන මෙන්ම ව්‍යාපාර ගැන පවසමිනි. තමන් විවාහ කරගන්නා මනාලයාට එවැනි මුදලක් ලබා දීම ප්‍රතික්ෂේප නොකළ එම ගුරුවරිය ඇය සතු මුදල්වලින් එම මුදල නිර්ලෝබිව ලබා දුන්නාය. එහෙත් ඉන් පසුව ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබී ගියේ ඇය නොසිතු අයුරිනි. ඔහු සිටින තැනක් හෝ දුරකතන අංකයක් හෝ තොරතුරක් නොමැති තැන ඇය වහා පැමිණියේ හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් විතාන හමු වීමටය.

ඒ මිට මාස හයකට පමණ පෙරය.

පොලිසිය මේ පිළිබඳ දිගින් දිගටම විමර්ශන සිදු කළත් රාහුල ජයසිංහ නමැති පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි විය. එහෙත් පොලිසිය ඔහු සොයන විමර්ශන අත්නොහැරියේය. අවසානයේ මීට සතියකට පමණ පෙර සතියේ පොලිසිය ඉරිදා පුවත්පතක මංගල දැන්වීමක් පළ කරන්නේ රාහුල කොටුකර ගැනීමේ අවසාන තුරුම්පුව එය බව වටහා ගැනීමෙනි. මෙවර හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ගේ ගැටයට රාහුල ජයසිංහ කොටු වෙන්නේ මල්සරාගේ හීය මේ අයුරින් වැරදි දිශාවකට ගමන් කළ බැවින් බව ඔහු දැන සිටියේ නැත. ඔහු විසින් සිදු කර ඇති ප්‍රෝඩාව එළියට එන්නේ ඒ සමඟිනි. සැකකරු මාතර ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස තෝරා ගෙන එම කාන්තාවගේ පාර්ශ්වය විවාහ මංගල්‍යයටද සූදානම් වූයේ ඔහු අත් අඩංගුවට පත් වූ දිනට පසු දා විවාහ උත්සව සිදු කිරීමේ අටියෙනි. මේ කිසිවක් නොදත් මනාලියගේ පාර්ශ්වයේ පිරිස ඔහු එනතුරු බලා සිටියදි ඔවුන් පොලිසියට ගෙන්වා ගත් නිලධාරීන් ඔවුන්ට සියල්ල පැහැදිලි කර දුන්නේ ඔවුන් අසුවී ඇති උගුලෙන් බේරා ගනිමිනි. රාහුල ජයසිංහ ලෙසින් ව්‍යාජ නමක් භාවිත කරමින් මෙලෙස රුපියල් ලක්ෂ 30, 40, 50 , ආදි ලෙස මුදල් ලබා ගන්නා මේ පුද්ගලයා පසුව එම කාන්තාවන් මඟ හරින්නේ සුක්ෂමවය. මෙකී වංචාව සිදුකළ පුද්ගලයා 41 හැවිරිදි අයෙකි. තිස් තුන් කෝටියක් දෙයියන්ගේ නොව මවගේ පිහිටෙන් පමණක් මෙලෙස රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති මෙම පුද්ගලයා සුඛෝභෝගි ජීවිතයක් ගත කරමින් සුර සැප විඳින්නේ විවාහ වන වයසද පසු කරමින් සිටින ධනවත් කාන්තාවන් තම වංචා දැලේ පටලවා ගනිමිනි. මෙකී වංචාවට නිශාන්ත දාබරේ විසින් පළ කරන ලද මංගල දැන්විම් වලට මුලින් කතා කරන්නේ ඔහුගේ මව විසිනි. ඒ ඔහු එකී සෑම මංගල දැන්වීමකටම යොමු කරන්නෙ ඔහුගේ මව ඇතුළු පවුලේ අයවලුන් පදිංචිව සිටින ගම්පහ, උඩුගම්පොළ නිවෙසේ ස්ථිර දුරකතන අංකයයි. එම දුරකතනයට ලැබෙන ඇමැතුම්වලින් අනතුරුව එකී කාන්තාවන්ගෙන් දුරකතන අංකය ඉල්ලා පුතුට ලබා දෙන මව ‘ජැණ්ඩියට‘ හැඳ පැලඳගෙන මනාලිය බැලීමට පිටත් වෙන්නේ බොහෝ සතුටින් යුතුවය. ඇය පොලිසියට පැමිණ ඇත්තේද රත්තරන් පෙරවාගෙනය. ඒ පුතුගේ බිස්නස් එකට පින්සිදු වන්නට විය යුතුය.. ඒ නිසා මොහුගේ වත්කම් පිළිබඳ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රාශියක් තිබිය හැකි බව පොලිසියේ විශ්වාසයයි.

කෙසේ වුවත් මොහුගේ කපටිකමට හසු වූ ඇතැම් කාන්තාවන් ලැජ්ජාව නිසා මේ බව කිසිවෙකුටත් නොපවසා සිටියත් ඔහු අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමඟ රටේ නන්දෙස පොලිස් ස්ථානවලට පැමිණෙමින් සිටින්නේ දැන්වත් මොහුට නිසි දඬුවම් ලබා දීම හොඳ බව සිතමින් විය යුතුය. ඒ අනුව හෝමාගම විමර්ශන ඒකක නිලධාරියකු පැවැසුවේ මේ වන විට රටපුරා පොලිස් ස්ථානවලට මෙකී පුද්ගලයාගේ වංචාවන්ට හසුවූ කාන්තාවන් 60කට වැඩි පිරිසක් පැමිණිලි කර ඇති බවයි. එම නිසා ඔබත් ‘රාහුල ජයසිංහ‘ නම් මනාලයෙකුට රැවටි ඇත්නම් වහා පොලිසියට පැමිණිලි කරන ලෙස විමර්ශන නිලධාරින් පවසයි. නිශාන්ත දාබරේනම් මෙකී පුද්ගලයාගෙන් ඔහුගේ නීත්‍යානුකූල බිරියද වෙන්ව ගොස් ඇත්තේද ඔහුගේ මෙම වංචා ඉවසා සිටීමට නොහැකි තැන විය යුතුය. මේ පුද්ගලයා මනාලියන් සොයා ගිය වැරදි ගමන නතර වූයේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත වෙමිනි.

උප පොලිස් පරික්ෂක සුනිල් කුමාර රාජපක්ෂ, කොස්තාපල් 75367 ප්‍රේමරත්න, කාන්තා පොලිස් කොස්තාපල් 9271 කමනි යන නිලධාරිහු මෙම වැටලීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් විතානට සහාය වූහ.

Comments