අළු යට ගිනි මෙන් තවමත් ඇවිළෙන තෙල් හබ | සිළුමිණ

අළු යට ගිනි මෙන් තවමත් ඇවිළෙන තෙල් හබ

පසුගිය දිනවල ඇතිවූ ඉන්ධන අර්බුදයත් සමඟින් ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිත සිදුවූ කලහකාරි සිදුවීම් සාමාන්‍ය තත්ත්වයන් බවට පත්ව තිබිණි. එසේම ඉන්ධන හල් අසල ගුටිබැට හුවමාරු සමඟින් ඇතිව තිබූ කලහකාරී තත්ත්වය ජනතාවට මෙන්ම පොලිසියටද ඉතාම සාමාන්‍ය තත්ත්ව බවට පත් වෙද්දී ඉන්ධන හල් අසල හටගත් ගැටුම් නිසා මිනිස් ඝාතන සිදුවීම් කීපයක්ද වාර්තා විණි.

කුලියාපිටිය පොලිස් වසමේ පිහිටි ඉන්ධන පිරවුම් හල් 7ක තත්ත්වයද රටේ තත්ත්වය සමඟ සැසඳීමේදී එතරම් වෙනසක් නොතිබිණි. ඒ පිරවුම්හල් වලට අරක් ගත් ‘චණ්ඩි‘ අඩු වැඩි වශයෙන් දක්නට ලැබිණි. ඉන් ඉන්ධන හල් හයක් සිපෙට්කෝ පිරවුම්හල් වුවත් දණ්ඩගමුවේ පිහිටි අර්තනායක පිරවුම්හල ඉන්දියන් අයිඕසී සමාගමේ තෙල් බෙදාහරින ඉන්ධන පිරවුම් හලකි.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිව මෙතෙක් අසා තිබූ කනගාටුදායක තත්ත්වයන් වෙනස් කරමින් එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් තරුණයකු ඝාතනය කිරීමේ පුවතක් කුලියාපිටිය පොලිසියෙන් වාර්තා විය.

ඒ ඉන්ධන හලේ ඇතිවූ බව කියන ගැටලූවක් මුල් කරගෙන ඉකුත් 23 දා කුලියාපිටිය ශික්‍ෂණ රෝහල ඉදිරිපිටදී වයස අවුරුදු 34ක තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සිදුවීමයි. එලෙස ඝාතනය කැර තිබුණේ කුලියාපිටිය දියකළමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඉන්ධන පිරවුම්හලේ සේවාවන්ට සහය දක්වමින් සිටි ජේ.කේ. මනෝජ් කුමාර නමැති අවිවාහක තරුණයෙකි.

අයිඕසී ඉන්ධන හල සම්බන්ධව නොයෙකුත් කථා පැතිර තිබුණත් ක‍්‍රමවත්ව ඉන්ධන ලබාදීම වෙනුවෙන් යෙදුමක් හඳුන්වා දී ඒ හරහා ‘ඊ ටෝකන්‘ පතක් ලබා දීමට කටයුතු කර තිබුණේ එම පිරවුම්හලේ කළමනාකාරීත්වයයි. එහිදී ක්‍රමවත්ව එම කාර්ය සිදු කරගැනීම සඳහා හිමිකරුවන්ගේ මිතුරන් ද සම්බන්ධ කරගෙන ඉන්ධන බෙදා හැරීමේ කමිටුවක් පවත්වාගෙන යමින් එම කාර්ය කළ බව බොහෝ දෙනා පවසති. එහෙත් එම පිරවුම් හලෙහි සේවකයන් හා කමිටු සාමාජිකයන් සාමාන්‍ය ජනතාවට පහර දුන් බවට සහ විවිධ හේතු දක්වමින් කුලියාපිටිය අධිකරණයටද කරුණු වාර්තා කර ඇති බවද දැනගන්නට තිබිණ.

කෙසේ වෙතත් එහිදී බොහෝ දෙනාගේ ආදරය දිනා ගන්නට ඉන්ධන හලේ පාලනාධිකාරියට හැකි වුවත් එය තවත් අයගේ වෛරයට ද තුඩු දී තිබිණි.

ඉන්ධන හලේ හිමිකරුවන් සහ කමිටු සාමාජිකයන් 23 දා උඩුබද්දාව නැවකඩ සෙල්ගිරි විහාරයේ ධර්ම සාකච්ඡාවකට සහභාගී වූහ. එම ධර්ම සාකච්ඡාව විහාරාධිපති ආලංකුලමේ පේමසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වා තිබිණ. එහිදී අදාළ සාකච්ඡාව නිමවා යළිත් කුලියාපිටියට පැමිණීමට යාමේදී මනෝජ් සහ මිතුරන් කීපදෙනෙකු නගරයටත් සෙසු පිරිස ඉන්ධන පිරවුම්හල පිහිටි දණ්ඩගමුවටත් ගියහ. ශික්‍ෂණ රෝහල අසල පිහිටි ආපණ ශාලාවකින් තේ පානය කර පිටවන්නට සූදානම් වීමේදී කඩුවක් සහ මන්නයක් රැගෙන පැමිණි නාඳුනන පිරිසක් මනෝජ්ගේ ගෙල ප්‍රදේශයට ප්‍රහාර කිහිපයක් එල්ල කොට පලා ගොස් තිබිණ.

මාර්ගයේ අනික් පස පිහිටි ශික්‍ෂණ රෝහලට වහාම මනෝජ් ඇතුළත් කරන තෙක් හෝ හුස්ම ගැනීමට වරම් නොදෙන අයුරින් මන්නා පිහි පහර වැදී තිබූ බව රෝහල් ආරංචි පැවසීය.

මේ සිද්ධිය වූ අවස්ථාවේ අදාළ ස්ථානයට පැමිණි කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මූලික ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූ අතර අදාළ පිරවුම්හල් හිමිකාරීත්වය දරන අයකු එහිදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සාක්‍ෂි ලබා දෙමින් පැවසූයේ විහාරස්ථානයේ තිබූ පින්කමට 50ක පමණ පිරිසක් බස් රථයකින් ගිය බවයි. මනෝජ් දැඩි උද්‍යෝගයෙන් ඊට සහභාගී වී තේ පානය සඳහා නගරයට ගොස් පැමිණෙන බව තමන් සමඟ පවසා කලින් විහාරස්ථානයෙන් පිට වූ බවද පැවසීය.

මනෝජ්ගේ පියාද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සාක්‍ෂි ලබා දෙමින් පැවසුවේ එදින රාත්‍රී 10ට පමණ තමන් දුරකතනයෙන් ඇමතූ පුතා නිවසට පැමිණෙන බවට දැනුම් දුන් බවයි. තමන් සහ බිරිය තම පුතු පැමිණෙන තෙක් බලා සිටියත් පුතු නොපැමිණි බවත් මියගොස් ඇත්තේ පුතු බවට හඳුනාගන්නා බවත් මනෝජ්ගේ පියා වූ ජේ.කේ. වීරසිංහ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැසීය.

කෙසේ හෝ ආරක්‍ෂිත කැමරා දර්ශන ආදිය විමර්ශනය කළ පොලිසියට තරුණයින් සිවු දෙනෙකු පැමිණෙන බවත් ඉන් දෙදෙනෙකු තියුණු ආයුධ වැනි යමක් රැගෙන යන බව නිරීක්‍ෂණය වීමත් සමඟ ඒ පසුපස ලූහු බැඳීම ආරමිභ කර තිබිණ. සිද්ධිය වී තිබූ 23 දා රාත්‍රී 11ට පටන් පොලිස් බුද්ධි අංශ වහා ක්‍රියාත්මක කර වීමට පොලිස් බලධාරීහු පියවර ගෙන තිබිණි.

ඒ අතරවාරයේ විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන සිදුකළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම සැකකරුවන් සිවු දෙනෙකු පැය 24ක් යන්නටත් මත්තෙන් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

අදාළ සැකකරුවන් කුලියාපිටිය ගල්පොළ සහ ඇපලදෙණිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලිසිය කියයි. එහිදී සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබූ අවසරය කුලියාපිටිය අධිකරණයෙන් ලබා දී තිබිණ. එම ඝාතනයට භාවිත කළ බව කියන මන්නා පිහිය සහ කඩුවක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම නඩු භාණ්ඩද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජන් අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කපිල සිල්වාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක වරුන් වන සුදේෂ් , සරත්, ජයතිලක යන නිලධාරීන් සහ සැරයන් වන නාලක (50793) රංජිත්(45417) මධුරංග(61145) ප්‍රේමරත්න (31201) කොස්තාපල් වරුන් වන හපුආරච්චි(79709) සමීර(85219) කාන්තා පොලිස් කොස්තාපල් අනුරාධා (9172) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉදිරි පරීක්‍ෂණ මෙහෙයවති.

 

Comments