අක්කාගේ බඩුවලට විද්ද නංගී | සිළුමිණ

අක්කාගේ බඩුවලට විද්ද නංගී

ජංගම දුරකතනය රුපියල් විසිතුන් දාහකට විකුණලා

‘‘ගෙදර හාල් ඇටයක් නෑ දරුවා බඩගින්නේ’’ නංගී පොලිසියට දුක කියයි

 

වදුරඹ වත්තහේන ප්‍රදේශයේ නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට වත්තහේන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක් තම මව සමඟ වදුරඹ පොලිසියට ගියේ පැමිණිල්ලක් කිරීමටය.

“සර්... අද උදේ අම්මයි නංගියි මමයි ගෙදරට වුවමනා බඩු ටිකක් ගේන්න ටවුමට ගියා. පැය දෙක තුනකට විතර පස්සෙ ගෙදර ඇවිත් බලන විට ගෙට හොරු පැනලා“ යයි පැමිණිල්ල කිරීමට පැමිණ සිටි තරුණිය කීවාය.

“සර්... මගේ රුපියල් තිස් අට දාහක් විතර වටිනා හැන්ඩ් ෆෝන් එකයි රුපියල් හැත්තෑ දහසක් විතර වටිනා ටැබ් එකයි අල්මාරියේ තිබුණ රත්තරන් බඩු කීපයකුයි සොරකම් කරලා“ තරුණිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පැවැසුවාය.

මේ අතර ගාල්ල පොලිස් කොට්ඨාසයේ පෙර දින සිදු වූ බල අපරාධ පිළිබඳවාර්තාවක් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතද ලැබී තිබුණි. පෙර දින සිදුවී තිබු වදුරඹ වත්තේහේනේ ගෙවල් බිඳීම පිළිබඳව එහි සඳහන් වී තිබුණි. ඒ පිළිබඳ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මෙම සොරකම පිළිබඳව දැඩි අවධානය යොමු කොට ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහගේද උපදෙස් මත විමර්ශන ආරම්භ කළහ.

ඒ අනුව සැරයන් අමිල එම විමර්ශනය ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත විසින් පවරන ලදී.

“හරි සර් අපි මේ පරීක්ෂණ අදම පටන් ගන්නම්“ සැරයන් අමිල ප්‍රධානී දිනේෂ් නිශාන්තද සිල්වාට පැවසීය.

ඒ අනුව සැරයන් අමිල (38877) එදිනම මේ සොරකම සොයා ගැනීමේ පරික්ෂණ ආරම්භ කළේය. සොරකම් කර ඇති ජංගම දුරකතනය පිළිබඳ අධිකරණයේ අවසරය මත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගත්තේය. එම වාර්තාවට අනුව සොරකම් කර ඇති ජංගම දුරකතනය දැනට දෙනියාය, ගොමිල, මාවරල ප්‍රදේශයේ පදිංචිකාරියක් සතුව ඇති බව තහවුරු විය. සැණින් සැරයන් අමිල තම අංශයේ සේවය කරන කොස්තාපල්වරුන් වන මේනක ( 66183) ඉන්දික (73036 ) සහ අසින්ත (85647 ) යන නිලධාරීන් සමඟ මෙම දුරකතනය ළඟ තබා ගෙන සිටින ගොමිල, මාවරල පදිංචිකාරියගේ නිවස සොයා ගියේය.

එම නිවසේ හිමිකරු විදුහල්පතිවරයෙකි. සැරයන් අමිල විදුහල්පතිවරයා ඇමැතීය.

“මහත්මයා අපි පොලිසියෙන් සොරකම් කරපු හැන්ඩ් ෆෝන් එකක් ගැන පරික්ෂණයක් කරන්නයි අපි ආවේ. ඒ ෆෝන් එක දැනට අයිතිකාරිය මේ නිවසේ ගෙදරම කෙනෙක්. සැරයන් අමිල කී විට විදුහල්පතිවරයා තරමක් කලබල විය.

“මහත්තයා මේ ගෙදර ඉන්නේ මමයි... නෝනයි දුවයි විතරයි. දුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ උපාධියට ඉගෙන ගන්න ළමයෙක්. දුවගෙන් අහල බලමු“ විදුහල්පතිවරයා පොලිස් නිලධාරීන්ට පැවසීය.

ඒ අනුව එම දියණිය පවසන්නට වූයේ,

“ඉස්කෝලෙදි මමත් එක්ක එකටම ඉගෙන ගත් යාළුවෙක් ළඟදී මට ෆෝන් එකක් දුන්න. ඒ ෆෝන් එකට මගෙන් යාළුවා රුපියල් තිස් අට දාහක් ගත්තා. ඒ ෆෝන් එක තමයි මගේ ළඟ තියෙන්නෙ. හැබැයි ඒක සොරකම් කරපු ෆෝන් එකක්ද කියන්න දන්නෙ නැහැ“ වෛද්‍ය සිසුවිය කීවාය.

පොලිස් නිලධාරින්ගේ ඉල්ලිම මත ඇය තමාට මේ ජංගම දුරකතනය දුන් පාසල් මිතුරාගේ නම හා ලිපිනය දුන්නාය. ඊට පසුව එම නිවැසියන්ගෙන් සමුගත් පොලිස් නිලධාරින් සිවු දෙනා මහමඟට බැස්සේ නැවත ගාල්ල බලා ඒම සඳහාය. ඒ වන විට ක්‍රමයෙන් රෑ බෝවෙමින් තිබුණි.

පෙර දින රාත්‍රි නිදි වරා සැතපුම් 13 ක් පයින් ගමන් කර පොලිස් නිලධාරීන් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියද මේ සොරකම පිළිබඳ පරික්ෂණ පසු දිනට කල් නොතබා නොකඩවා පවත්වා ගෙන යෑමට අමිල ඇතුළු නිලධාරීන් පසුබට නොවූහ.

ඒ අනුව මාවරලේ වෛද්‍ය සිසුවියට ජංගම දුරකතනය දුන් මිතුරා සොයා පොලිස් නිලධරයෝ හබරාදුව ප්‍රදේශයට ගියහ. ඔහු විසි හැවිරිදි තරුණයෙකි. විකිණිමට ඇති ජංගම දුරකතන මිලදී ගෙන මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළ කර එම දුරකතන විකිණීම මොහු විසින් කලක සිටම කර ගෙන යන බව ප්‍රශ්න කිරීමේදී හෙළි කර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. මේ අතර හබරාදුව මීපේ ප්‍රදේශයේ මෙම ජංගම දුරකතන අලෙවි සැලට පැමිණි පුද්ගලයෙකු තමාට මෙම ජංගම දුරකතනය රුපියල් විසි තුන් දහසකට විකුණු බව ජංගම දුරකතන අලෙවි සැලේ තරුණයා පොලිස් නිලධාරීන්ට පැවසීය.

අනතුරුව ජංගම දුරකතනය රුපියල් විසි තුන් දහසකට විකිණු පුද්ගලයා සොයා ගියහ. පුදුමයකි. එම ජංගම දුරකතනය මීපේ ප්‍රදේශයේ ජංගම දුරකතන මිලට ගන්නා තරුණයාට විකුණා ඇත්තේ තමන්ගේ ජංගම දුරකතනය, ටැබ් එක සහ නිවසේ තිබු රන් අබරණ සොරකම් කර ඇති බවට වඳුරඹ පොලිසියට පැමිණිලි කර ඇති තරුණියගේ නංගීගේ සැමියා විසිනි. පොලිස් නිලධාරීන්ට පැමිණිලිකාරියගේ නැගණිය සහ ඇගේ සැමියා පිළිබඳ සැකයක් ඇති විය. පැමිණිලිකාරියගේ 22 හැවිරිදි නැඟණිය පාසල් සමයේ සිට තරුණයෙකු සමඟ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධයක් මත එම තරුණයා සමඟ විවාහ වී මහ ගෙදරට සැතපුමක් පමණ දුරින් පදිංචිවී සිටින්නීය. එම යුවළට කුඩා දරුවෙක්ද සිටී. එහෙත් ඇගේ සැමියාට ස්ථිර රැකියාවක් නොතිබූ අතර ආර්ථික අපහසුතාවලට මුහුණ පා සිටියාය.

ඒ අනුව පැමිණිලිකාරියගේ නැඟණිය සහ සැමියා අත්අඩංගුවට ගෙන මෙම සොරකම පිළිබඳ ප්‍රශ්න කළේය. “අනේ සර් එදා මගේ දරුව බඩගින්නෙ ඇඬුව. ගෙදර හාල් ඇටයක්වත් තිබුණේ නැහැ. අතේ සල්ලිත් නැහැ. පස්සේ මහ ගෙදරින්වත් කීයක්හරි ඉල්ල ගන්න ගියා. ඒ වේලාවේ මහ ගෙදර දොරවල් වහලා කවුරුත් හිටියේ නැහැ. මම කැඩුණු ජනේලයෙන් ගෙට ඇතුළු වුණා. හැම තැනම බැලුවා සල්ලි කීයක්වත් සොයා ගන්න බැරි වුණා. බලන කොට සාලේ මේසය උඩ අක්කාගෙ ෆෝන් එකයි ටැබ් එකයි තියනව දැක්ක. වෙන කරන්න දෙයක් තිබුණේ නෑ... ෆෝන් එකයි ටැබ් එකයි අරගෙන මම පැනල ආවා. ටැබ් එක උගස් තියල රුපියල් දාහක් ගත්තා. ෆෝන් එක ෂොප් එකකට රුපියල් විසි තුන් දහසකට විකුණලා මහත්තයා රුපියල් විසි තුන් දහසක් ගත්තා. එදා මේ සොරකම මම කළේ ගෙදර අගහිඟකම් නිසයි මහත්තයෝ...“ පොලිස් අත්අඩංගුවට ගත් සැකකාරිය තම අක්කාගේ ජංගම දුරකතනය සහ ටැබ් එක සොරකම් කළ අන්දම අනාවරණය කළේ එලෙසිනි.

එක කුස ඉපදී එකම මවකගෙන් කිරි උරා බී හැදුණ වැඩුණ මේ අක්ක නගෝ සොහොයුරු පෙම අගහිඟකම් නිසා පළුදු වී මෙකී සොරකම සිදු වන්නට ඇත. එහෙත් නීතිය හමුවේ අක්කාගේ දේපොළ නංගී සොරකම් කළත් එය සොරකමකි. එම නිසා නැඟණිය සහ ඇගේ සැමියා දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සිදු කළ සොරකම නිසාවෙනි.

Comments