වසර 31කට පෙර මොරටුවේදි අතුරුදන් පිය පුතු අබිරහස් ඝාතනයේ සුලමුල හෙළිවේ | සිළුමිණ

වසර 31කට පෙර මොරටුවේදි අතුරුදන් පිය පුතු අබිරහස් ඝාතනයේ සුලමුල හෙළිවේ

 

අපරාධයක් සිදු කරන කවරකුට හෝ සැමදාම වසන් වී සිටිය නොහැකි බව පරම සත්‍යයයි. මීට තිස් එක් වසරකට පෙරදී එනම් 1991 වසරේදී මොරටුවේ පදිංචි පියා සහ පුත්‍රයාව ඝාතනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට හැකි විය. ඒ සැප්තැම්බර් මාසයේ 29 වැනිදා ය.

කලක් වසන්ව තිබූ එම ද්විත්ව මිනිස් ඝාතනයේ සුල-මුල මාස හතක් වැනි දීර්ඝ කාලයක් පුරා සිදු කළ සියුම් විමර්ශනයකින් අනාවරණය කරගත් ආකාරය පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.

පසුගිය පෙබරවාරි 15 වැනිදා කොල්ලුපිටියේ පදිංචි කාන්තාවකගෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබිණි.

“සර්... මගේ මහත්තයගේ තාත්තයි... මහත්තයගේ අයියයි අතුරුදන් වුණා. 1991 අවුරුද්දේ. කටකතා යනවා දෙන්නම රට ගිහින් කියලා... ඒත් අද වනතුරු ඒ අයට වෙච්චි දෙයක් නෑ... දෙන්නා රට ගියාද... මැරිලාද කියලා මුකුත්ම ආරංචියක් නෑ... හැබැයි ඒ අය ඉඳලා තියෙන්නෙ මොරටුවේ මෙන්ඩිස් පාරේ... අනේ සර්... කොහොමහරි මෙයාලට වුණේ මොකද්ද කියලා හොයලා දෙන්න...“

පැමිණිලිකාරිය එලෙස හෙළි කළ අතුරුදන් පුද්ගලයන් දෙදෙනා එවකට 47 හැවිරිදි කරුණාරත්නගේ රාජා සහ 21 හැවිරිදි කරුණාරත්නගේ රංජිත් කුමාර නමැති පියා සහ පුත්‍රයාය. පැමිණිලිකාරියගේ පැමිණිල්ල පිළිබඳව පොලිස්පතිවරයාගේ අවධානයටද යොමු කෙරිණි. අනතුරුව පොලිස්පතිවරයා එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද විමර්ශන සඳහා යොමු කළත් පසුව බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ බස්නාහිර උතුර දිසාව සහ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත නැවත එම පැමිණිල්ල පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයාගේද ලිඛිත අවසරයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැවැරිණි. ඒ අනුව අගක්-මුලක් නොමැති එම විමර්ශනය බාර කෙරුණේ සහකාර පොලිස් අධිකාරි (මෙහෙයුම්) චන්දන ගමගේගේ අධීක්ෂණයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ ඒකක 1 බාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එච්. මුණසිංහ වෙතයි.

ප්‍රධාන පොලිස් පරික්ෂක මුණසිංහ පැමිණිලිකාර කාන්තාවගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. එහිදී ඇය අතුරුදන් දෙදෙනා ගැන තොරතුරු කීවත් නිශ්චිතම තොරතුරක් හෝ මෙහි අගක්-මුලක් නියමාකාරයෙන් හෙළි නොවීය. එසේම එම සිදුවීම වී තිබුණේද ඇය එම පවුලෙන් විවාහ වීමටත් පෙරය. පැමිණිලිකාරිය කියන පිය පුතු පදිංචි වී සිටියේ මොරටුව, මෙන්ඩිස් පාරේ ඉඩමකය. ඊට අමතරව ඇය මෙකී සිදුවීමට සබැඳි කිහිප දෙනෙකුගේ නම්ගම් ඇතුළු දුරකථන අංකද සඳහන් කළාය.

මේ පැමිණිල්ල ඇය ඉදිරිපත් කරන සමයේදී පැමිණිලිකාරියගේ සැමියා වන අතුරුදන් කරුණාරත්න රාජාගේ දෙවැනි පුත්‍රයා මෙන්ම රංජිත් කුමාරගේ සහෝදරයා වන උපුල් කුමාර ඒ වන විට සිටියේ විදේශගතවයි.

අනතුරුව විමර්ශන අරඹමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායම මුලින්ම ගියේ කරුණාරත්න රාජා ඇතුළු පවුලේ අය පදිංචිව සිටි මෙන්ඩිස් පාරේ ඉඩම සොයායි. එම ඉඩමේ වර්තමානයේ පදිංචිව සිටින්නේ 2006 වසරේදී ඉඩම මිලට ගත් පුද්ගලයෙකි.

“ඔබතුමා කාගෙන්ද මේ ඉඩම ගත්තේ...“ ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ විමසීය.

“මහත්තයා... මං 2006 අවුරුද්දෙදි වගේ ඉඩමක් හොයාගෙන එනකොට... මේ ගෙදර ගෑනු කෙනෙක් පදිංචි වෙලා හිටියේ. එයා ඉඩම විකුණනවා කිව්වා... මං ඇහුවා කාගෙද ඉඩම කියලා... ඒ කෙනා කිව්වා, ෆාදර් කෙනෙක්ගේ මං කතා කරලා දෙන්නම් කියලා...“

අනතුරුව ඔහු පසුදාම ඉඩම මිලදී ගැනීමට සූදානම් විය. එහෙත් පියතුමකුගේ කීවද ඉඩමේ ඔප්පු පිරික්සද්දී එය හවුලක ඔප්පුවක් බව සඳහන් තිබිණි. එහෙත් ඔහු එම හවුල්කරුවන්ගේ අත්සන් ලබා ගෙන ඉඩම මිලදී ගෙන තිබිණි.

අතුරුදන් යැයි දෙදෙනාගේ හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණින් පසුව පොලිස් නිලධාරින් විසින් එම ඉඩමේ ලියකියවිලි පිළිබඳ වැඩිදුර පරීක්ෂාවක් සිදු කළේ ‘පත්ඉරු‘ ද පිරික්සමිනි. එහිදී අනාවරණය වන්නේ එම ඉඩම 1982 වසරේදී 'සෝනියා' නමැති කාන්තාවගෙන් මිලදී ගෙන තිබුණේ අතුරුදන් යැයි කාන්තාව පැමිණිලි කළ කරුණාරත්න රාජා නමැති පුද්ගලයා බවය.

එම ඉඩම 1985 වසරේ කරුණාරත්න රාජා, ඔහු කුවේට් රාජ්‍යයේදී හඳුනාගත් කමලාවතීට සහ රංජිත් කුමාර යන දෙදෙනාට ලියා දී තිබිණි. විමර්ශන නිලධාරින් ඒ ගැන සොයා බලද්දී කමලාවතී, කරුණාරත්නගේ අනියම් බිරියක් බව හෙළි විය.

වැඩිදුරටත් එම ඉඩම පරීක්ෂාවේදී 1991 වසරේදී ඉඩම රංජිත් විසින් කමලාවතීගේ තනි අයිතියට ලියා ඇති බවක්ද පෙනෙන්නට තිබිණි. එය පොලිස් නිලධාරින්ගේ දැඩි සැකයට භාජනය වූ කරුණකි. මන්ද රංජිත් රට ගිය බවටද ඒ වන විට ප්‍රකාශ වූ හෙයිනි.

පොලිසිය වැඩිදුරටත් මේ ඉඩමේ පැරැණි ඔප්පු පරීක්ෂා කෙළේය. එහිදී ‘කේ. රංජිත්‘ ලෙස ඉංග්‍රිසි බසින් 1991 වසරේදී ඔප්පුවට අත්සනක් යොදා තිබිණි. පසුව කමලාවතී විසින් එම ඉඩම පියතුමකුට විකුණා ඇති බව හෙළි විය. පියතුමා එම ඉඩම උකස් කොට තිබිණි. එකී පියතුමා සහ උකස්කරු විසින් 2006 වසරේදී වර්තමාන හිමිකරුට මේ ඉඩම විකුණා ඇති බව හෙළි විය. ඉඩමේ තොරතුරු එසේ හෙළි වෙද්දී පැමිණිලිකාරියගේ සැමියා උපුල් විදෙස්ගතව සිට මෙරටට පැමිණ පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නේය.

“සර්... අපේ තාත්තා තලවකැලේ මුල් ගම් කාරයෙක්. අපි චූටි කාලෙම අපේ තාත්තයි අම්මයි පේරාදෙණියේ ඉඳලා මහරගමට ඇවිල්ල තාවකාලිකව පදිංචි වෙලා හිටියේ. තාත්තා රට ඉද්දි මහරගමදි අපේ අම්මා අපිව දාලා ගියා. තාත්තා ඇවිත් අපිව මිරිහානේ එයාගේ හිතවතෙක්ගේ ගෙදර නතර කරලා අපිව ඉස්කෝලේ යැව්වා... පස්සේ තාත්තා රට ඉද්දී ගෑනු කෙනෙක් ඇවිත් මායි අයියවයි වාද්දුවට එක්කගෙන ගියා. එයා කමලාවතී කියලා කෙනෙක්. තාත්තා රට ඉද්දි හම්බ වෙච්ච වාද්දුවේ ගෑනු කෙනෙක්. ඒ වාද්දුවේ කුඩම්මලගේ ගෙදර ඉද්දි අපි මොරටුවේ ඉස්කෝලේ ගියා. කුඩම්මටත් වසන්තියි ලතායි කියලා අපේ වයසේම දූලා දෙන්නෙක් හිටියා. එහෙම ඉද්දි තාත්තා මොරටුවේ, මෙන්ඩිස් පාරේ ගෙයක් ගත්තා. ඒ ගෙදර මායි අයියයි කුඩම්මගේ දූලා දෙන්නයි තව කුඩම්මගේ මල්ලිගේ දූ රේණුකා අපි ඔක්කොම හිටියා.

මට හොඳට මතකයි සර්... අපි ඉස්කෝලේ ගිහින් ඉවර වුණා විතරයි මටයි අයියටයි කමලාවතී කුඩම්මා හරියට හිරිහැර කළා... මං කටුබැද්දේ පන්සලේ පදිංචියට ගියා... පස්සෙ අනූ ගණන්වල හමුදාවට ගියා... රේණුකා බැඳලා වාද්දුවේ පදිංචියට ගියාට පස්සේ ඒ ගෙදරටම මගේ අයියත් ගියා... අයියා රේණුකාගේ මහත්තයා කමල් එක්ක මේසන් වැඩට ගියා... එහෙම ඉද්දි තමයි සර් 91 වසරේ තාත්තා ලංකාවට එන්නේ... තාත්තා එද්දි කුඩම්මා තව කෙනෙක් කසාද බැඳලා. ඒ දෙන්න මොරටුවේ ගෙදර හිටියේ කුඩම්මගේ දූලා දෙන්නත් එක්ක...“

විදෙස්ගතව සිට මෙරටට පැමිණි කරුණාරත්න රාජා මොරටුවේ නිවෙසට එද්දී කමලාවතී තිලෝක හරිශ්චන්ද්‍ර නමැති යුද හමුදා සෙබළෙක් සමඟ විවාහ වී සිටියාය. ඊට කරුණාරත්න දැඩි සේ උරණ වූයේය. ඔහු මොරටුවේ නිවෙසින් බැහැර ගියේ වාද්දුවේ සිටින වැඩිමල් පුතු රංජිත් සිටි නිවෙසටයි. ඒ යද්දි රංජිත් සහ කමල් රැකියාවට ගොසිනි. නිවෙසේ සිටියේ කමල්ගේ බිරිය රේණුකා පමණි.

“වැඩක් නෑ පුතේ නැන්දා වෙන මිනිහෙක් බැඳලානේ... මට දැන් ඒ ගෙදර ඉන්න බෑ... මං රංජිත්වත් අරගෙන රටවත් යනවා... කොල්ලා ආවම එන්න කියන්න දුවේ... මම මොරටුවේ ගෙදරට යනවා...“ කරුණාරත්න, රේණුකාට එසේ කීවේය.

ඉන්පසු කරුණාරත්නට සිදු වූ දෙයක් නොමැති විය. ඔහු සහ රංජිත් කුමාර රට ගිය බවට කටකතා පැතිරිණි. එහෙත් පැමිණිලිකාරියගෙන් හෙළි වූයේ මොරටුවේ නිවෙසට ගිය කරුණාරත්න එම නිවෙසේදී ඝාතනය වූ ආකාරය කමලාවතීගේ දියණියන් දැක ඇති බවයි. පසුව එම දියණියන් ඇතුළු ඒ දිනවල මොරටුව නිවෙසේ විසූ රේණුකාගෙන් මෙන්ම ඇගේ සැමියා කමල්ගෙන්ද ප්‍රශ්න කළත් හෙළි වූයේ දෙදෙනා රට ගිය කතාවමය. පොලිසිය මේ වන විට වයෝවෘද්ධ කාන්තාවක වන කමලාවතී සොයා ගියහ. ඒ මීට මාස දෙකකට පමණ පෙරදීය. ඇය පිළියන්දල පදිංචිව සිටින්නේ ලතා නමැති දියණිය සමඟිනි. පොලිසිය ගිය සැණින් කමලාවතීගේ ස්වරූපය වෙනස් විය. ඇය බියට පත්ව සිටි බව පොලිසියට ද පෙනෙන්නට තිබිණි. පොලිසිය සූක්ෂ්ම ලෙස කමලාවතීගෙන් ප්‍රශ්න කෙළේ වටින්-ගොඩින් කතා කියමිනි. ඒ සමඟම කමලාවතී හඬා වැටෙන්නට වූවාය.

“කරුණාරත්න රාජා රට ඉඳන් ආවා මහත්තයෝ... ඒ වෙලාවේ තිලෝකත් හිටියා... රාජා වාද්දුවේ ගියා. හවස ආයෙත් ගෙදර ආවා... රාජා එල්ටීටීයට සම්බන්ධ වෙලා හිටියා. එයා මට එල්ටීටීඊ ලියකියවිලි වගයක් තිබුණ පාර්සලයක් දීලා තිබුණා... එදා ඒක ඉල්ලලා රණ්ඩු කළා... ඒ වෙලාවෙ මගේ අයියා ඔස්මනුත් ඒ ගෙදර ඇවිත් හිටියේ. රාජා මට කිව්වා ‘පාර්සලේ දුන්නේ නැත්නම් උඹව කෑලි කපලා ඕමාන් රටට අරන් යනවා‘ කියලා... ඒත් එක්කම මගේ අයියත් ඒ කතාව මැද්දට ආවා... තිලෝක එක්වරම අර පාර්සලේ අරන් ගිහින් පිච්චුවා. අන්තිමට රාජා එක්ක තිලෝකයි, ඔස්මනුයි රණ්ඩු වුණා කාමරේ ඇතුළේ... එතැනදි ඔස්මන් රාජාට පොල්ලකින් ගහනවා මං දැක්කා. රාජා වැටුණා. තිලෝක කකුල් දෙකෙන් ඇදගෙන බාත්රූම් එකට අරන් ගියා. මං කෑගහලා රෑ බාත්රූම් එකේ දොර ඇරලා බැලුවා. රාජා මැරිලා. මගේ අයියා තිලෝකගේ රේන්කෝට් එකක් අරගෙන මිනිය එතුවා. තිලෝක බයිසිකලේ පදිද්දි ඔස්මන් මළමිනිය කකුල් දෙක උඩ තියාගෙන රෑම ගෙදරින් අරන් ගියා... එච්චරයි මං දන්නෙ...“

ඒ අනුව ඇගේ ප්‍රකාශයෙන් එතෙක් අතුරුදන්ව සිටි කරුණාරත්න රාජා ඝාතනය කර ඇති බව තහවුරු විණි.

“එතකොට කෝ ලොකු පුතා රංජිත්...“ පොලිසිය කමලාවතීගෙන් පෙරළා ප්‍රශ්න කෙරිණි.

“අනේ මං දන්නෙ නෑ... අර සිද්ධියෙන් දවස් කීපයකට පස්සෙ මගේ ලොකු කොල්ලා... කමල් එක්ක ගෙදර ආවා. ඒ වෙලාවේ ලතා බල්බ් එකක් දාලා දෙන්නත් කිව්වා. ඒකත් දාලා දුන්නා. මං කිව්වා කාපං කියලා... නෑ අම්මේ තිලෝක අංකල් මං එනකල් පිළියන්දල බලන් ඉන්නවා... යන්න ඕන කියලා ගියා... ඒ ගිය ගමනේදී තිලෝක රංජිත්ට පිහියෙන් ඇනලා මරලලු... ආරංචි විදිහට පිළියන්දල (ඇය හෝටලයක නමක් කීවාය)...“

එම ප්‍රකාශය සමඟ කරුණාරත්න රාජා සහ රංජිත් කුමාර පිය-පුතුන් ඝාතනය කර ඇති බව හෙළි විය. අනතුරුව පොලිසිය තිලෝක කොටුකර ගැනීමට මෙහෙයුමක් දියත් කෙළේය. ඔහු පිළියන්දල ප්‍රදේශයේ වෙනත් කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වමින් නිවෙසක සිටින බව හෙළි විය. පොලිස් නිලධාරින් එම නිවෙස සොයා ගියේය. එහෙත් ඔහු නිවෙසේ නොවීය. කෙසේ හෝ පොලිස් නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා පසුගිය 29 වැනිදා තිලෝක කොටුකර ගත්තේය. මේ වන විට 57 හැවිරිදි වියේ පසුවන එම සැකකරු කලක් යුද හමුදාවේ සිටි අයෙකි. ඔහු මේ වන විට නිවෙස් පින්තාරු රැකියාවන්හි යෙදෙන අයෙකි. කාන්තාවන් කීප දෙනෙකු සමඟම අනියම් සබඳතා පවත්වා ඇති ඔහුට කමලාවතී හමු වී ඇත්තේද අපූරු ලෙසිනි. ඒ කමලාවතී වරක් දේවාලයකට ගොස් පොල් ගෙඩියක් ගසද්දී නොබිඳුණු එම පොල් ගෙඩිය වැටි තිබුණේ තිලෝකගේ දෙපා අසලය. ඒ සමඟ දෙදෙනා අතර ආදර සබඳතාවක් ගොඩනැඟි ඇත්තේ කරුණාරත්න රාජා විදෙස්ගතව සිටියදියි. එම සබඳතාව දුරදිග ගොස් කමලාවතී ඔහුව විවාහ කරගත්තේය. එම විවාහයෙන් පසු කරුණාරත්න රාජා ලංකාවට පැමිණි පසු කමලාවතීගේ සැලැසුමක් අනුව තිලෝක සහ ඔස්මන් ඇතුළු තිදෙනා එක්ව කරුණාරත්න ඝාතනය කර ඇති බව පොලිසියට කොටු වූ තිලෝකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළි විණි.

“සර්... මං ඇත්ත කියන්නම්...“ යැයි පවසමින් ඔහු දීර්ඝ පාපෝච්චාරණයක් සිදු කෙළේය.

“කමලාවතී මට හම්බ වුණාට පස්සේ එයා මට හොඳට සැලකුවා... රත්තරන් මාල... මෝටර් බයික් එකක් අරන් දුන්නා... අපි ට්‍රිප් ගියා... එයාට දූලා දෙන්නෙක් හිටියා... තව කොල්ලෝ දෙන්නෙක් ආවා-ගියා... ඇත්තටම මං දැනන් හිටියේ නෑ එයාලා කවුද කියලා... එහෙම ඉන්නකොට 91 වසරේ දවසක් මනුස්සයෙක් ගෙදර ආවා... මං කමලාවතීගෙන් ඇහුවා ‘ඒ කවුද‘ කියලා. එයා කිව්වා, ‘මං කලින් බැඳලා හිටපු කෙනා‘ කියලා. ඒත් එක්කම ඒ මනුස්සයත් කමලාවතීගෙන් ඇහුවා, ‘මේ කවුද‘ කියලා. ‘මං දැන් බැඳලා ඉන්න කෙනා‘ කියලා ඇය කීවා. එදා ඒ ගෙදර මගේ යුද හමුදාවේ පින්තූරයක් තිබුණා. අර මනුස්සයා මගෙන් ඇහුවා ‘මේ ගෑනි බැන්දද‘ කියලා. මං ‘ඔව්‘ කිව්වා විතරයි, ‘තමුසෙ මෝඩයෙක්නේ ඕයි... මං මේ ගෑනි බැඳලානෙ හිටියේ.. තමුන් මොකද්ද මේ කරන්නෙ... තමුසේ මේ ගෑනි ගැන දන්නෙ නැද්ද...‘ කිව්වා.“

පසුව කරුණාරත්න රාජා නිවෙසින් බැහැරට ගිය බවත් නැවත පසු දින සවස් යාමයේ එම නිවෙසට පැමිණි බවත් තිලෝකගෙන් හෙළි විණි.

“එදා ඇවිල්ලා කරුණාරත්න සාලේ වාඩි වුණා... මාත් ළඟම පුටුවක හිටියේ... අපි දෙන්නා කතා කරමින් සිටියේ... කමලාවතී තේ දෙකක් හදාගෙන ආවා... පළවැනි එක මට දුන්නේ... රාජා ගාවට ගිහින් තේ එක දෙන්න හදනකොටම කමලාවතී ඒ තේකෙන් මූණට ගැහුවා... බලනකොට මිරිස් කුඩු ගහලා තියෙන්නෙ. ඒත් එක්කම කමලාවතීගේ අයියා දොර රෙද්ද අස්සෙ ඉඳලා යකඩ පොල්ලක් අරන් ඇවිත් එක පාරටම රාජගේ ඔළුවට ගැහුවා. රාජා ගැහිලා ගැහිලා එතැනම මැරුණා. පස්සේ මං මළසිරුර බාත්රූම් එකට ඇදගෙන ගියා...“

පසුව ඔස්මන් සහ තිලෝක එක්ව නාන කාමරය තුළදී රාජාගේ සිරුර කැබලිකොට පාර්සලයක් සාදා ගත්හ. අනතුරුව තිලෝකගේ යතුරුපැදියේ පිටුපසට ඔස්මන් ගොඩ වූයේ එම පාර්සලයද රැගෙනය. පාණදුර, ගල් කණුව පාරේ කන්දේ විහාරය අසල තුංමං හන්දියට රැගෙන ගොස් වම් පැත්තේ තිබූ කැලෑවට සිරුර දමා යතුරුපැදියේ ඉන්ධන ටැංකියෙන් ඉන්ධන දමා පුලුස්සා දැමු බව තිලෝකගේ පාපෝච්චාරණයෙන් හෙළිදරව් විණි.

“රාජගේ පුතා රංජිත්ට මොකද කළේ...“ පොලිස් නිලධාරියෙක් විමසීය.

“රාජා මරලා දවස් දෙකයි ගියේ සර්... රංජිත් කමල් එක්ක බයිසිකලේකින් මොරටුවේ ගෙදරට ආවා... පස්සේ මගේ බයික් එකත් අරන් තුන්දෙනා රාවතාවත්තට ගියා. මං කිව්වා, ‘අපි ඩ්‍රින්ක් එකක් දාන්න පිළියන්දලට යමු...‘ කියලා. පිළියන්දලින් අරක්කු ගත්තා. සුවාරපොළින් දම්පේ පාරට දැම්මා විතරයි... අඹගහ ළඟ පන්සල අසල රාලහාමි කියලා කෙනෙක් ඉන්නවා. ඒකා මගේ යාළුවා. රාලහාමියා මාව දැක්කා. මට කරගන්න දෙයක් නෑ. බයික් එක නැවැත්තුවා. ඒකා අරක්කු බොන්න පෙරේතයා. ඌ දුවගෙන ඇවිත් මල්ල බැලුවා. බෝතල් හතරක් තිබුණා.‘අඩෝ උඹ මාව දාලා යන්න නේද හැදුවේ... ඒව කොහේද මාත් එක්ක... මාත් එනවා යන්න“යි කියලා රාලහාමිත් අපිත් එක්ක එකතුවුණා. අනතුරුව සිවුදෙනා බොල්ගොඩ ගඟ අසල ගල් බැම්මක් මත වාඩිවී මත්පැන් පානය කරන්නට විය. ඒ වන විට රාත්‍රී අටට පමණ විය. එම මත්පැන් සාදයේදී කූට ලෙස තිලෝක සහ කමල් එක්ව රංජිත්ව ‘සූර්‘ කළේය.

අනතුරුව රංජිත්ව නංවා ගත් යතුරුපැදියට තිලෝකද එක් විය. ඒ තිදෙනාම එක් යතුරුපැදියක යාමේ කූට අරමුණෙනි. රාලහාමි තනිව තිලෝකගේ යතුරුපැදියේ ආවේය. මඳ දුරක් පැමිණෙද්දි රාලහාමි මඟ හැර යාමට සැලැසුම් කරමින් තිදෙනා පැමිණි යතුරුපැදිය වම් දෙසට පිහිටි අතුරු මඟකට හැරවිණි. එය කැලෑ පාරකි. මීටර් තුන්සියයක් පමණ ගිය විට එම මාර්ගයද බොල්ගොඩ ගඟට මායිම් වේ. එසමයේ පැවැති ජවිපෙ අරගලයන්හිදී බොහෝ මළමිනී එම මාර්ගයේ තිබී ඇත. වර්තමානයේ එම ඉසව්වේ නාවික හමුදා කඳවුරකි.

රාලහාමි මඟහැර යාමට තැත් කළත් අතුරු මාර්ගයට තිදෙනා ගමන් ගත් යතුරුපැදිය හරවන අයුරු රාලහාමි දුටුවේය. රාලහාමිද පසුපසින් ආවේය. එසැණින් ඔහු දුටුවේ තිලෝක සහ කමල් එක්ව රංජිත්ට පහර දෙන ආකාරයයි. ඔහු තුෂ්ණිම්භුතව බලා සිටියේය. ඒ මොහොතේ පිහියක් ගත් කමල් ක්ෂණයෙන් රංජිත්ට ඇන්නේය. පසුව එම පිහිය උදුරා ගත් තිලෝක පිහි පහරවල් කීපයක්ම රංජිත්ට අනින ආකාරය රාලහාමි දුටුවේය. ඒ සමඟම දෙදෙනා එක්ව රංජිත්ගේ කලිසමද ගලවා ගත්හ. මළසිරුර එතැනම දමා දෙදෙනා පැමිණියේය.

“මොකද්ද උඹලා කළේ...“ රාලහාමි බිරාන්තව ඇසීය.

“කට වහගෙන පලයන්...“ යැයි කියමින් රාලහාමි නිහඬ කළ තිලෝක සහ කමල් අනතුරුව තිදෙනා සිය දෑත් එකිනෙක තබා ප්‍රතිඥා දී තිබුණේ එම ඝාතනය පිළිබඳ කෙළ බිඳක් සලන්නේ නැති බවටයි. රාලහාමි එම සිදුවීමෙන් බිරාන්තව සිටියේ වසර 31ක් ගතවනතුරුත් කිසිවකුට ඒ බව කිසිවක්ම නොකියමිනි.

රංජිත් මරා දැමූ දෙදෙනා ඔහුගේ හැඳුනුම්පත ගත්තේය. පසුව එම හැඳුනුම්පතේ ඡායාරූපය ඉවත් කෙරිණි. ඊට කමල්ගේ ඡායාරූපය දමා ව්‍යාජ ලෙස සකස් කරන ලදි. එදින සිට කමල් පෙනී සිටියේ රංජිත් ලෙසිනි. අනතුරුව නීතිඥයකු හමුවට ගොස් රංජිත් ලෙස පෙනී සිටි කමල් මොරටුවේ ඉඩමේ ඔප්පුව කමලාවතීගේ තනි අයිතියට පැවැරුවේ ‘කේ රංජිත් කුමාර‘ ලෙස ඉංග්‍රීසි අකුරෙන් ව්‍යාජ අස්සනක් යොදමිනි.

“ඔන්න ඕකයි සිද්ධ වුණේ සර්... මේ සේරම ප්ලෑන් කෙළේ කමලාවතී.“ අවසානයේ තිලෝක කීවේ වසර 31ක යටගියාවේ සියල්ල හෙළි කරමිනි.

එසේම තිලෝකගේ පාපෝච්චාරණයෙන් හෙළි වූයේ මත්පැන් සාදයට මුදල් දෙමින් රංජිත් ඝාතනය සඳහා වස කුප්පියක්ද දෙමින් සියල්ල සැලැසුම් කළේ කමලාවතී බවටයි. 91 වසරේ එම ඝාතන ද්විත්වයෙන් අනතුරුව කමලාවතී ද වරින්වර විදෙස්ගතව ඇත.

මේ වන විට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙකී ද්විත්ව ඝාතනයට අවැසි සෙසු සැකකරුවන්ද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් සිටී.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ නියෝග මත බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ බස්නාහිර පළාත අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකරගේ ඍජු අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි (මෙහෙයුම්) චන්දන ගමගේගේ මෙහෙයවීමෙන් ඒකක 1 බාර ස්ථානාධිපති එම්.ඒ.එල්.එච්. මුණසිංහ ඇතුළු නිලධාරිහු විමර්ශන සිදු කරති.

ඡායාරූප - බණ්ඩාරගම

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

Comments