රජවත්තේ අම්මයි දුවයි රජ කළ කඩුගන්නාවේ කුඩු-කඩු තිප්පොළ | සිළුමිණ

රජවත්තේ අම්මයි දුවයි රජ කළ කඩුගන්නාවේ කුඩු-කඩු තිප්පොළ

 

යහමින් මුදල් ඉපයිය හැකි නීති විරෝධී ජාවාරම් අතර මත්ද්‍රව්‍ය වෙළෙඳාම පසු වන්නේ ඉදිරියෙනි. නීතියට අසු නොවී ජාවාරම් කරගෙන යාමට හැකි වෙතොත් මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ නතර වෙන්නේ කෝටිපතීන් බවට පත්ව වුවත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්ට නම් අත්වන්නේ ඉතා අවාසනාවන්ත ඉරණමකි. මරණය කරා ඉක්මන් ගමනක් යන ඔවුන්ට අවසානයේ මුදල් පමණක් නොව පවුලේ උදවියගේ ආදරය පවා අහිමි වන්නේය. තමන්ගේ දිවි සරු කර ගැනීමට අනුන්ගේ දිවි තොර කරන්නට පවා සූදානම් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැඳින්වීම වරදක් නොවන්නේය.

කඩුගන්නාව රාජවත්ත ප්‍රදේශයේදී මේ ආකාරයෙන් තමන්ගේ සුඛ විහරණය පිණිස අනුන්ගේ ජීවිත අඳුරට ඇද දැමූ මවක් සමඟ ඇගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 19 වැනිදාය. අවස්ථා කිපයකදීම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළත් ඇප ලබා පැමිණි විගස සුපුරුදු රැකියාවට යොමු වූ මෙම මව සහ දියණිය කඩුගන්නාව සහ ඒ අවට පදිංචිකරුවන්ට මහත් හිසරදයක් වූයේ මත්ද්‍රව්‍යවලට හුරු වූ ඇතැම් පුද්ගලයින් සිදු කරන නොහොබිනා වැඩ හේතුවෙනි. හොර රහසේ පොලිසියට පැමිණ ඔත්තුවක් දුන්නත් ප්‍රදේශවාසීන් එළිපිට මොවුන්ට එරෙහිව කිසිවක් නොකළේ එහි අතුරු ප්‍රතිඵල වඩාත් භයානක විය හැකි බව අත්දැකීමෙන් දන්නා නිසාය.

වෙලම්බඩ පොලිසිය, කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින්ද මෙම ස්ථානය අවස්ථා කිහිපයකදී වටලා සැකපිට පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළත් මෙහි ජාවරම් කටයුතු ඇන හිටින්නේ නැත. ඒ බන්ධනාගාර ගතව සිටින්නන් යළි නිදහස්ව පැමිණෙන තෙක් අදාළ ජාවරම් කරන්නට දෙවන පෙළ පිරිසක්ද ප්‍රධාන ජාවරම්කාරිය විසින් පුහුණුකර තිබීම හේතුවෙනි. කඩු කිනිසි පවා තබාගෙන මෙම ස්ථානයේ සිදු කරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම තරමක් අමුතු එකකි. හෙරෝයින් මත්කුඩු මෙම ස්ථානයේදීම පානය කිරීමට පහසුකම් ඇත්තේය. අවශ්‍යනම් රැගෙන යාමටද පුළුවන. එසේ නොමැති නම් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමටද පුළුවන. මේ නිසා දිනෙන් දින මෙම ස්ථානයට පැමිණෙන පිරිසද ඉහළ ගොස් තිබිණි. නාඳුනන පුද්ගලයින් විසින් ලබා දුන් දුරකථන ඇමතුම් පිළිබඳ අවධානය යොමු කරමින් පොලිස් විශේෂ කාර්යාංශය ද මෙම ස්ථානයට යන එන අය පිළිබඳව කාලයක පටන් ඇස ගසාගෙන සිටියේය. සහකාර පොලිස් අධිකාරී සම්පත් වික්‍රමරත්න අදාළ ස්ථානය වහා වැටලීමට කටයුතු කරන ලෙස කඩුගන්නාව පොලිසියට උපදෙස් ලබා දුන්නේ මේ අතරවාරයේය.

කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්නගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ.බී. රත්නායක, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර, සැරයන්වරුන් වන 47169 චානක, 40344 අලහකෝන්, 21233 කෙහෙල්වත්ත, කොස්තාපල්වරුන් වන 81237 ජයවර්ධන, 100073 තරිඳු, 100057 දිසානායක, කොස්තාපල්වරියන් වන 9521 මයෝමි, 9599 අදීෂා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයට ඇතුළු වූයේ ඉතා රහසිගතවය. අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා වැටලීම ක්ෂණිකව ක්‍රියාත්මක කළේ ඒ සඳහා කල් මරමින් සිටියහොත් ජාවාරම්කරුවන්ට ඒ සම්බන්ධ තොරතුරු ලැබෙනු ඇතැයි මතු වූ සැකය නිසාය.

අත්අඩංගුවට කත් කාන්තාව කලක පටන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීම නිසා එක්තරා අන්දමින් එම ප්‍රදේශය ඔවුන්ගේ අධිරාජ්‍යයක් බවට පත්ව තිබිණි. වටපිටාවේ ඔත්තුකරුවන් ද යොදා ගනිමින් කිසිවෙකුට අදාළ ස්ථානයට ඔවුන්ට නොදැනී වැටලීම නොහැකි සේ මත්ද්‍රව්‍යය ජාවාරම ක්‍රියාත්මක කරන්නට තරම් ඇය සූක්ෂම වූවාය. අදාළ නිවසට ඇතුළු වන ස්ථානයේ සිටම මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට යොදාගත් බවට සැක කරන එන්නත් කටු තිබූ බව පොලිසිය පවසයි. නිවසේ කාමර වලත් ගෙවත්තේත් තිබී එන්නත් කටු 300 ක් පමණ සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට දෛනිකව එම ස්ථානයට පැමිණෙන සංඛ්‍යාව පිළිබඳව යම් ඉඟියක් ඒ ඔස්සේ ලබා ගැනීමට පුළුවන. නිවස වැටලීමට පෙර පුද්ගලයින් දෙදෙනෙකු පලා ගිය අතර ඔවුන් ප්‍රධාන ජාවරම්කාරියගේ පුතුන් බව පොලිස් පරීක්ෂණ මගින් පසුව අනාවරණය වී තිබිණි. නිවුන් සහෝදරයින් වන ඔවුන් දෙදෙනා කලක් පොලිස් දෙපාර්තමේන්තුවේද සේවය කර තිබෙන බව මේ වන විට හෙළිව තිබේ. ප්‍රධාන ජාවරම්කාරිය සමඟ ඇගේ දියණිය බව කියන වයස අවුරුදු 27 ක පමණ තරුණියක්ද හෙරෝයින් මත්කුඩු මිලි ග්රෑම් 500 ක පමණ ප්‍රමාණයක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

නිවසේ තිබූ ජංගම දුරකථන දෙකක් සමඟ කැති පිහි දෙකක්ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. දුරකථනවලට ලැබී තිබුණු කෙටි පණිවිඩ පරීක්ෂා කිරීමේදී දෛනිකව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 07 ක් පමණ දක්වා බැංකු ගිණුම්වලට මුදල් බැර වූ කෙටි පණිවිඩ දක්නට ලැබුණු බව පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3000 සිට 5000 දක්වා වූ මුදලක් මෙම ස්ථානයේදී අය කර තිබෙන බව මේ වන විට හෙළිව ඇත. අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකාරියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙයට පෙරද චෝදනා එල්ල වී තිබේ. මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී ඇප මත නිදහස්ව පැමිණ ඇය යළිත් මේ ජාවාරම සිදුකර තිබෙන බව පොලිසිය පවසයි. මෙම ස්ථානයට මත්ද්‍රව්‍ය ගෙන ඒමත් මත් ලෝලීන් සම්බන්ධ කිරීමත් ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකු විසින් කරන බවට ලැබුණු තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

කලක පටන් කඩුගන්නාව ප්‍රදේශයට මහත් හිසරදයක් වී තිබුණු මෙම මත් උවදුරින් ප්‍රදේශය ගලවා ගැනීම සඳහා මුදලට යට නොවී නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන්ට ප්‍රදේශවාසීන් උපහාර දක්වා තිබුණේ රතිඤ්ඤා දල්වමිනි.

Comments