
කන්තලේ ගල්මැටියාව කැලඹූ කතාවක්
වන අලි පහරින් මිය ගිය පියතිස්ස ගේ සිරුර කොටියා ඇදන් ගිහින්
තම දරුවන් ගේ කුසගිනි නිවන්නට අනේකවිධ දුක් ගැහැට විඳින මවුවරුන් සහ පියවරුන් අළලා ගෙතුන හද කම්පා කරවන ශෝක ජනක පුවත් නිතර අසන්නට ලැබෙන මෙවන් යුගයක උදා වූ නිකිණි පුන් පුර පෝ සඳ බැස යද්දී කන්තලේ ගල්මැටියාව දුෂ්කර ගම්මානයෙන් අසන්නට ලැබුනේ දුක්මුසු පුවතකි.
කන්තලේ ගල්මැටියාව උතුර ගම්මානයේ ජීවත් වූ හතළිස් හැවිරිදි පියතිස්ස බණ්ඩාර සොහොයුරන් තිදෙනෙකුගෙන් සහ සොයුරියන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලක පස්වැනි දරුවාය. ඔහුගේ ළමා කාලය ආරම්භ වන්නේ ත්‍රස්තවාදීන් නිතර ප්‍රහාර එල්ල කළ භීෂණය අරක්ගෙන තිබූ මොරවැව නම් දුෂ්කර ගම්මානයෙනි. එම පසුබිම මැද ඔවුන්ට එම ගම්මානය හැර දමා කන්තලේ ගල්මැටියාව ප්‍රදේශයට පලා එන්නට සිදු වන්නේ එක්තරා රාත්‍රියක ත්‍රස්තවාදීන් එම ගම්මානයට කඩා පැන කුඩා දරුවන් ඇතුළු අහිංසකයින් විසි දෙනෙකුගේ පමණ ජීවිත බිලිගෙන තිබුණු සිද්ධියත් සමඟිනි.
මෙසේ ගල්මැටියාවට පැමිණෙන පියතිස්ස සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් නොයෙකුත් අගහිඟකම් මැද ගල්මැටියාව ගම්මානයේ ස්ථීර පදිංචිය තහවුරු කර ගත්තද මවුපියන් ගේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැඩිකල් නොගොස් ඔහුට පාසල් අධ්‍යාපනයෙන් සමු ගැනීමට සිදුවිණි. එතැන් පටන් නොයෙක් ආකාරයේ කුලී වැඩ කරමින් මුදලක් උපයාගෙන මාපියන්ට බරක් නොවී ඒ අය ද කුසගින්නේ නොතබමින් ඉතාමත් සාමකාමී ජීවිතයක් ඔහු ගත කෙළේය. ඒ වන විට විසි දෙහැවිරිදි වියේ පසු වූ ඔහුට සිය සොයුරිය ගේ නිවසේදී ඉන්ද්‍රා කුමාරි නම් තරුණියක් දැන හඳුනා ගැනීමට ලැබිණි. කාලය ගතවෙද්දී ඇය සමග ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධයකින් පසුව දෙදෙනා යුග දිවියට පිවිසුණේ සියලු දෙනාගේ ආශිර්වාද මධ්‍යයේය.
මෙම යුවල පියතිස්සගේ පියාගේ ඉඩමේ කෙළවරක ඉදිකර ගන්නා කුඩා කැදැල්ලේ ඔවුන් ගේ යුගදිවි ගමන ආරම්භ කරනු ලබන්නේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ය. කාලයාගේ ඇවෑමෙන් මේ වන විට ඔවුන්ට අවු.17, 12ක් සහ 06 වයස්වල පසුවන පිරිමි දරුවන් තිදෙනෙකුගේ බර උසුලන්නට සිදු වීමත්, ඔවුන් පාසල් යන්නවුන් වීමත් නිසා මේ අඹු සැමියන්ගේ ජීවන ගමන ඉතා දුෂ්කර වූයේ ආර්ථික තත්ත්වය නිසාය.
මේ අතරතුර රටේ පැවැති කොවිඩ් වසංගතය සහ වෙනත් නොයෙකුත් ගැටලු හේතුවෙන් තමන් උපයන මුදල මෙන් දෙගුණයක තුන් ගුණයක වියදමක් තමන්ගේ ජීවිත රැක ගැනීම සඳහාම යෙදවීමට සිදුවීමෙන් පියතිස්ස තව තවත් අසරණ විය. අනතුරුව පියතිස්ස සිය නිවසට මඳ දුරකින් පිහිටා ඇති ඊච්චලම්කුලම් වැවේ මාළු ඇල්ලීමට තීරණය කළේ අමතර ආදායම් මාර්ගයකින් කීයක් හෝ හම්බ කර ගැනීමේ අරමුණ ඇතිවය. කෙසේ හෝ දිනකට මාළු කිලෝ හයක් හතක් පමණ අල්ලා ගැනීමට හැකි වූ බැවින් මාස කිහිපයක් දරුවන්ගේ දිවි ගැට ගසා ගැනීමට ඔහුට හැකි වුවද නැවතත් ප්‍රශ්නය මුලටම පැමිණියේ පැවැති ඉඩෝරය හමුවේ වැවේ ජලය සිඳී යාමත් සමඟය.
කිසිවක් කරකියා ගත නොහැකි වූ පියතිස්ස අසල්වැසි ගමේ පිහිටි පරෙවිපඤඤං වැවට මාළු ඇල්ලීමට පිටත් වන්නේ දරුවන් බඩගින්නේ තැබීමට නොහැකි බැවිනි. නමුත් එම වැවේ මාළු ඇල්ලීමට ධීවර සමිතියේ සාමාජික නොවන පුද්ගලයින් හට අවසර නොලැබීමේ තත්ත්වයක් තුළ පියතිස්ස වැටෙන්නේ කබලෙන් ලිපට ය. කරුණු එසේ වුවද දරුවන්ගේ බඩගින්න ගැන සිහිපත් වූ පියතිස්සට කළ නොහැකි දෙයක් නොතිබූ බැවින් දහවල් කාලය මඟ හැර රාත්‍රී කාලයේ හොර රහසේම වැවට බැස මාළු කීප දෙනෙකු අල්ලාගෙන ජීවිතය ගැටගසා ගත්තත් එය ද වැඩි කලක් කළ නොහැකි විය. දිනක් වැවේ ධීවරයින් ගේ අතටම හසු වීමෙන් පසු ඔවුන් පියතිස්ස අත තිබූ මාළු දැල උදුරාගෙන පියතිස්ස පලවා හැරීමට කටයුතු කෙළේය. මේ පිරිස ඉදිරියේ හඬා වැටුණු ඔහු තම දරුවන් ගේ ජීවිත ගැට ගසා ගැනීමට ඇති එකම මඟ මෙය බැවින් මාළු දැල තමන්ට ලබා දෙන ලෙසත් නැවතත් එම වැවේ මාළු ඇල්ලීමට නොපැමිණෙන බවට ද දිවුරා පොරොන්දු විය. ඔහු කුමක් කීවද ඒ ධීවර සිත් මොළොක් කර ගැනීමට පියතිස්ස ගේ වදන් සමත් නොවී ය.
පියතිස්ස ගේ ඊළඟ තීරණය වූයේ මහ කැලයට ගොස් දර කපාගෙන විත් විකිණීමය. මහ කැලේ නිතර අලි කොටි ගැවසෙන බැවින් මහා අවධානමක් ඉදිරියේ ඔහු ගේ බිරිය එම තීරණයට දැඩිව අකමැත්ත ප්‍රකාශ කළා ද දරුවන් ගේ අසරණකම හමුවේ ගත් තීරණය වෙනස් කිරීමට ඔහුට නොහැකි විය. ටික කාලයක් යන තුරු ඔහුට දර කැපීමෙන් යම් මුදලක් උපයා ගැනීමට හැකිවී තිබිණි.
මේ සිද්ධිය වූ දින ද සවස තුනට පමණ පියතිස්ස මහ කැලයට රිංගා ගෙන ඇත්තේ වෙදා මෙන්ම යහමින් දර ටිකක් රැගෙන එන්නට විය යුතු ය. නැවත තමාට ආපසු පැමිණීමට සිදු නොවේයැයි කිසි විටෙකත් ඔහු නොසිතන්නට ඇත. පියතිස්ස බැරි බැරිගාතේ කපා ගත් දර කොටන් කීපයක් තම උර මත තබාගෙන ඉක්මන් ගමනින් පැමිණෙද්දී පඳුරක් අසල සැඟව සිටින වන අලියෙකු පියතිස්ස ඉදිරියට කඩා පැන්නේය. එසැණින් ඔහුගේ දෙපාවලින් අල්ලා ගත් වන අලියා පියතිස්සගේ හිස ගසක හප්පමින් කුඩුපට්ටම් කර දමන්නේ නොසිතූ ලෙසය.
මේ අතර කැලයට ගිය තම ස්වාමි පුරුෂයා දින එකහමාරක් ගතවන තුරුත් නොපැමිණීම ගැන ඉන්ද්‍රා කුමාරි පොලිසියට ගොස් පැමිණිල්ලක් කෙළේ ඔහුට යම් කරදරයක් සිදුව ඇතැයි දෙගිඩියාවෙනි. අනතුරුව ගම්වාසීන් ගේ සහාය ඇතිව කැලය පීරා පියතිස්ස ගැන සොයද්දී මුලින්ම කැලයේ තිබී දක්නට ලැබී ඇත්තේ ඔහුගේ පාවහන් යුගලයි. ඒ අසලම ඉරා 'වැල්කර' දමන ලද පියතිස්ස හැඳ සිටි කලිසම සහ කමිසය ද තිබිණි. එය දුටු පිරිස පියතිස්ස වන අලි ප්‍රහාරයකට ලක්වී ඇති බව තහවුරු ගැනිණි. අනතුරුව ඔහු ගැන වැඩිදුරටත් සොදිසි කිරීමේදී කොටියකු වැනි සතකු විසින් කා දමා තිබූ සිරුරක කොටස් කිහිපයක් දැකගැනීමට ලැබිණි.
මේ අනුව ඔවුහු සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිසියට පැමිණ කියා සිටියේ තමන් ගම්මුන් සමඟ එක්ව කළ සෝදිසි කිරීම්වලදී අතුරුදන් පියතිස්සගේ සිරුර හමු නොවූ බවත් පියතිස්සගේ පාවහන් යුගල සහ ඉරා දමන ලද කමිසය සහ කලිසමේ කොටස් කීපයක් මහ වනය මැද තිබී හමු වූ බවයි. ඊට අමතරව අඩක් සතකු විසින් කා දමා තිබූ මිනිස් සිරුරක දුගඳ හමන මස් කැබලි කිහිපයක් ද ඔහු සුපුරුදු ලෙස වනයේ අතරමඟ සඟවා යන පාපැදියද දක්නට ලැබුණ බවත් පිරිස පැවැසීය.
එසැණින් වහා ක්‍රියාත්මක වූ කන්තලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක මහින්ද වීරක්කොඩි, තඹලගමුව පොලිස් වසම බාර සහකාර පොලිස් අධිකාරි අතුල කරුණාතිලක දන්වා සිටියේ ප්‍රදේශයේ ජනතාව එම සිද්ධියෙන් මහත් භීතියකට පත්ව ඇති බවට තමන්ට තොතුරු ලැබී ඇති බැවින් මේ පිළිබඳව වහාම පුළුල් පරීක්ෂණයක් කරන ලෙසය. ඒ අනුව තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන නාකන්දල ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට පියතිස්සට වූයේ කුමක්ද යන්න අනාවරණය කර ගැනිණි. ඒ අනුව පියතිස්සගේ ජීවිතය අවසන් වී තිබුණේ අලි - කොටි වන සිවුපාවුන්ගේ ගොදුරක් බවට පත් වෙමිනි.