
අපි ඇය කමලා යනුවෙන් හඳුන්වමු. කමලා අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. පාසල් අධ්‍යාපනය හමාර කර නිවසේ රැඳී සිටි ඇයට අකුරැස්ස නගරය අවට පෞද්ගලික ආයතනයක රැකියාව ලැබෙන්නේ ඇය කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයකිනි. කමලාගේ නිවස පිහිටා තිබෙන්නේ විශාල කඳු මුදුනකය. යතුරු පැදියක් හෝ පාපැදියක්වත් ඒ කඳු මුදුනට රැගෙන යාමට දැඩි වෙහෙසක් ගත යුතු වන්නේය.
කමලාට ඉක්මනින් යතුරුපැදි පුහුණුවක් ලබාගෙන රියදුරු බලපත්‍රයක් ගැනීමට පියාගෙන් උපදෙස් ලැබිණි. ඉන් කමලාට මහත් සතුටක් ගෙන දුන්නාය.
රුපියල් 3,50,000/= ක් වටිනාකමින් යුත් 'ස්කූටි' වර්ගයේ යතුරුපැදියක් පියාගේ අනුග්‍රහයෙන් ඇය වෙත ලැබුණේ ඔය අතරේය. ඉහ-වහා ගිය සතුටින් යතුරු පැදිය ලබාගත් නමුත් ඇයට මෙන්ම පියා ඇතුළු පවුලේ සියලු දෙනාටම මතු වූයේ ප්‍රශ්නයකි. ඒ ඔවුන්ගේ නිවසට යතුරු පැදිය ගෙන යාමට නොහැකි වීමය.
කඳු පාමුල පිහිටි දන්නා හඳුනන නිවසක පැත්තක ගරාජයක් තිබූ බැවින් කඳු මුදුනේ පදිංචිකරුවන් කිහිප දෙනෙකුම තම තමන්ගේ යතුරුපැදි එම නිවසේ නවතා පා ගමනින් නිවෙස් වෙත යන අයුරු ඔවුන් දැක තිබුණෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබිණි. ඇයටද එම විසඳුම හැරෙන්නට වෙනත් විසඳුමක් නැති බව ඇය දැන සිටියාය.
“ආ.....ඕක මහ දෙයක් නෙවිනේ. ඔය කන්දේ බයිසිකලේ ගෙනියන්න බැරි කීප දෙනෙක්ම මෙහේ බයිසිකල් දාලා තමයි ගෙදර යන්නේ. දරුවට කියන්න බයිසිකලේ මෙහේ දාන්න කියලා...“ නිවෙස් හිමියා කමලාගේ පියාට දිනක් එලෙස පැවැසීය.
කඳු පාමුල නිවැසියාගේ අවසරය ලබා ගැනීමෙන් පසු රැකියාව අවසන් වී නිවෙස අසල කඳු පාමුලට පැමිණෙන කමලා තම යතුරු පැදිය එම නිවසේ විවෘත ගරාජයේ පැත්තක රඳවා තබා කන්දේ පිහිටි නිවසට පා ගමනින්ම යාම පුරුද්දක් කරගෙන සිටියාය.
පසුගිය කාලයේ පැවැති ඉන්ධන අර්බුදයත් සමඟ කමලාද පැය ගණන් දින ගණන් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් නිරාහාරව ටැංකිය පිරෙන්නට පෙට්‍රල් ලබාගන්නට නොගත් වෙහෙසක් නැත. රැකියා ස්ථානයේ යතුරුපැදිය රඳවා තබන අවස්ථාවලදී පවා දැඩි ආරක්ෂාවක් සහිත ස්ථානයක ඉටි රෙද්දකින් වසා එය නවතා තැබීමට ඇය වග බලාගත්තේ දරුවෙකු රැක බලාගන්නා අයුරිනි.
පෙට්‍රල් හිඟය උග්‍ර අතට හැරුණ දිනක පෝලිමේ සිට දැඩි වෙහෙසක් ගෙන තම යතුරුපැදියට පෙට්‍රල් ලබාගත් ඇය ජයග්‍රාහී ලීලාවෙන් කඳු පාමුල නිවසේ ගරාජයේ පැත්තක සිය යතුරුපැදිය නවතා හැඬලයද ලොක් කර කන්ද තරණය කර නිවසට ගොඩ වූවාය. ඇය එදින නිවැසියන් සමග කතා බහට වැටුණේ පෙට්‍රල් පෝලිමේ සිද්ධීන් හුවා දක්වමිනි.
ඉන්ධන අර්බුදය නිසා සියලුම රථවාහන සහ යතුරුපැදි හිමියන් බලවත් අපහසුතාවට පත්වී සිටින කාලයේ පෙට්‍රල් ලබා ගැනීමට නොහැකි වූවන් කිසිවෙකුගෙන් අතමාරුවට පෙට්‍රල් ලබාගැනීම සහ ඉහළ මුදලක් ගෙවා ඉන්ධන ලබා ගැනීමද සුලබ දසුනක් විය. යතුරුපැදි සහ පා පැදි සොරකම් බහුලව සෑම ගමකම මෙන්ම නගරයකම නොකඩවා සිදු විය. කමලාගේ යතුරුපැදිය නවතා තබන නිවෙසේ ගරාජයේම තවත් යතුරු පැදිකරුවන් කිහිප දෙනෙකුම යතුරුපැදි නවතා තිබේ. ඉන් එක යතුරු පැදිකරුවෙක් කමලාගේ යතුරු පැදියේ පිරී තිබූ පෙට්‍රල් ටැංකියෙන් පෙට්‍රල් ලබා ගැනීමට උත්සාහ කළේ මේ අතරවාරයේදීය. මැදියම් රැය වන විට යතුරු පැදිය රඳවා තිබූ නිවැසියන් නින්දට වැටී ඇති බව සැක හැර දැනගත් සැකකාර පුද්ගලයා කමලාගේ ස්කූටියෙන් පෙට්‍රල් ලබා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන්නට විය. නමුත් ප්‍රශ්නයක් වී තිබුණේ ස්කූටි වර්ගයේ යතුරු පැදියේ සීට් එක අගුල් දමා ඇති බැවින් එය විවෘත කරන්නට නොහැකි වීමයි. එබැවින් පෙට්‍රල් ටැංකිය යටින් සිදුරක් විද පෙට්‍රල් ලබා ගැනීම ඔහුගේ උත්සාහය වී තිබිණි. සිදුරක් විද ගැනීමෙන් තොරව ටැංකිය ඇර ගැනීමට නොහැකි වූ ඔහු තම යතුරු පැදියේ යතුර ගෙන යතුරෙන් සිදුරක් විදින්නට උත්සාහ ගත්තත් එය කරගත නොහැකි වූයේ පෙට්‍රල් ටැංකිය සිදුරු කිරීම අපහසු හෙයිනි. ඔහු තමන් ළඟ තිබු ගිනි පෙට්ටියෙන් ගිනි කූරු පත්තු කරමින් යතුර ගිනියම් කර එම රත් වූ යතුරින් සිදුරක් විදිමින් සිටියේය. එක්වරම විදිමින් සිටි සිදුරෙන් පෙට්‍රල් බේරී ගිනිකූරට වැටීමෙන් මහා ගිනි ජාලයක් ඇවිළිණි. කලබලයට පත් වූ සැකකරු තම ජීවිතය බේරාගෙන කන්දේ පිහිටි සිය නිවස වෙත දිවගොස් කුමකින් කුමක් වේදෝයි දස අතේ කල්පනා කරමින් සිටියේය.
එදින මැදියම් රෑ පසු වූවා පමණි. හදිසියේම යතුරුපැදි නවතා තිබූ ස්ථානයේ ගිනි ජාලාවක් හටගෙන ඇති බව ජනෙල් වීදුරුවෙන් දුටු ගෙහිමියා දිවවිත් බලද්දී දුටුවේ කමලාගේ යතුරු පැදිය ගිනි ගන්නා ආකාරයයි. දැඩි වෙහෙසක් ගෙන යතුරුපැදිය ඉවතට ඇද දමා එම යතුරුපැදිය ගින්නෙන් බේරා ගැනීමට ඔහුට හැකිවිණි. නමුත් යතුරු පැදියේ අඩක් පමණ පිලිස්සී තිබිණි. ඒ බව ඔහු කමලාට දැන්වීය.
අඩක් පිලිස්සී ගිය බයිසිකලය දුටු කමලා ඇතුළු පවුලේ උදවිය හඬා වැටෙන්නට වූවාය.
“මේක ඉබේ ගිනි ගන්න විධියක් නැහැ. මෙතන ගින්දර තිබුණේ නැහැ නේ. මේ ගිනිකූරු තියෙන්නේ. කවුරුහරි ගිනි තියල. අපි යමු පොලිසියට. මේක නම් මහ පොළොව උහුලන්නෙ නැති අපරාධයක්. කවුද මේක කළේ. යං දුවේ අපි පොලිසියට. කමලාගේ දෙමාපියෝ පවසන්නට වූහ.
කමලා සහ පියා අකුරැස්ස පොලිසිය වෙත ගොස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හමුවේ සිද්ධිය පැවසූහ. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයලත් තම නිලධාරීන්ද කැටුව වහාම ඌරුමුත්තේ එම නිවස බලා ගියහ.
පරීක්ෂණ පවත්වන නිලධාරීන්ගේ 'උකුසු ඇස්' විවිධ පැති ඔස්සේ දිව යන්නට විය. නවතා තැබූ අනෙක් යතුරුපැදි දෙසද ඔවුන්ගේ අවධානය යොමුකරන අතරතුර අඩක් පිලිස්සී ගිය යතුරු පැදියක යතුරක් පැත්තකට විසිවී තිබියදී සොයාගන්නට පරීක්ෂණ කණ්ඩායමට හැකිවිය. එම යතුර ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ ඔවුන් පිලිස්සී ගිය යතුර අයිතිකරු සොයා විමර්ශනය කළ අතර එම ස්ථානයේම යතුරු පැදියක් නවතා කන්දේ නිවසකට යන පුද්ගලයාගේ යතුරු පැදියේ යතුර බවට සනාථ වීමෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ ඉහත කරුණු සියල්ල අනාවරණය කරගැනීමට පොලිසිය සමත්වී තිබිණි.
අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයලත් , සැරයන්වරුන් වන 19756 සුගතදාස , 39734 නයනජිත් , කාන්තා පොලිස් කොස්තාපල් 2272 මධුෂානි යන නිලධාරීහු පරීක්ෂණ කටයුතු මෙහෙයවූහ.
සැකකරුව මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව දින 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර නඩු විභාගය දිගටම පැවැත්වේ.