දියණියට අතවර කළ පළිය ගන්න හෙල්මටයෙන් පහරදී මිතුරා එලොව යවලා | සිළුමිණ

දියණියට අතවර කළ පළිය ගන්න හෙල්මටයෙන් පහරදී මිතුරා එලොව යවලා

 

ඉවසීම පිළිබඳ සලකා බලද්දී තිරිසනෙක් ඉවසන ප්‍රමාණයවත් ඉවසා සිටීමට ඇතැම් මිනිසුන් අපොහොසත්ය. එවන් සිදුවීම් තවත් ප්‍රාණියෙකුගේ දිවි තොර කිරීමක් දක්වා තත්පර ගණනකදී දුරදිග ගෙන යෑමට මිනිසාට ඇත්තේ අපූර්ව හැකියාවකි. මෑතකදී කිරිඇල්ල පොලිස් වසමේ ඇල්ලගාව, කළුවාවලතැන්න ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමද ඊට කදිම උදාහරණයකි.

මේ සිද්ධිය අවසන් වන්නේ එක් අයෙකුගේ ජීවිතය ඔහුට අහිමි වෙද්දී, අනෙකාගේ ජීවිතය බන්ධනාගාරයේ අඳුරු බිත්ති අතරට සිර කරමිනි. 34 වැනි වියේදී දිවි රඟ මඩලට සමු දුන් ඔහු නමින් ජේ.එම්. රාජා පුෂ්පකුමාරයි.

මේ පුද්ගලයාගේ ස්ථීර පදිංචිය පිළිබඳ කිසිම සඳහනක් නැතුවාක් මෙන්ම ඔහුගේ යැයි කිව හැකි කිසිවකු සොයා ගැනීමට හැකියාවක් කිසිවෙකුට නොතිබිණි.

එවන් 'අබිරහස්' ජීවිතයක් ගත කළ රාජාව දැන සිටි බවට පොලිසිය විසින් හඳුනා ගැනුණු එකම පුද්ගලයා වන ඔහුගේ මිතුරාගේම අතින් අවසන් ගමන් යාමට තරම් රාජා අවාසනාවන්තයෙකු විය. රාජාගේ මෘත දේහය මාසයක කාලයක් තිස්සේ ඥාතියකුගේ හමුවීම බලාපොරොත්තුවෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ කල් මරමින් තිබී අවසානයේ පස් යට මිහිදන් වූයේද කාත් කවුරුත් නොමැති අයකු ලෙසය. ඒ රජයේ වියදමිනි.

උප්පැන්නයේ සඳහන් නම හැර අනන්‍යතාව පිළිබඳ වෙනත් කිසිම සාක්ෂියක් නොතිබූ හෙයින් රාජාගේ මිතුරා තමා නීතියේ රැහැනට හසුවේ යැයි සිහිනෙකින්වත් නොසිතූ නමුදු මරණයෙන් මාස තුනක් අවසානයේදී සැකකරු පොලිසියට කොටු වූයේ අපරාධයක් කර සැඟව සිටීමට නොහැකි බවට ඇති කියමන නැවතත් සනාථ කරමින්ය.

මේ අමිහිරි සිදුවීම් ජාලයෙහි ආරම්භය සිදු වන්නේ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන්ය. ඒ රාජාට තම ඝාතක මිතුරා වැලි තොටුපළකදී හමු වීමෙන් අනතුරුවය. වැලි ගොඩ දැමීමේ ජීවිකාව කරමින් එක්ව කල් ගෙවූ මේ දෙදෙනා එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් බොහෝ එකමුතුව කල් ගෙවන්නේ එක බඩවැල කඩාගෙන පැමිණි සොහොයුරන් මෙනි.

මෙලෙස කාලය ගතවෙද්දී දිනක් රාජා සහ වැලි තොටුපළෙසි සිටි තවත් සේවකයෙකු අතර ඇති වන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස රාජාට එහි රැකියාවට සමු දීමට සිදුවන්නේ දෙමිතුරන්වද එකිනෙකාගෙන් ඈත් කරමිනි.

"මචං... මට යන්න වෙනවා උඹව දාලා. ඒත් මම ගිහින් මොනවා කියලා කරන්නද? මට යන්න එන්න තැනකුත් නෑ. ඉන්න ගෙයක් දොරක් නෑ...." හිසෙහි අත් ගසා ගනිමින් රාජා අඳෝනා නැඟීය.

"උඹ දුක්වෙන්න එපා. වරෙන් යන්න මාත් එක්ක. මගෙ ගමට ගිහින් අපි එහෙ නවතිමු. අපිට මොකක්හරි ජොබ් එකක් හොයාගන්න බැරියෑ එහෙදි...." යනුවෙන් පවසමින් ඔහුගේ අතිජාත මිතුරාද සිය රැකියාවට ආයුබෝවන් කියමින් ඉන් සමු ගන්නේ දෙවරක් නොසිතමිනි.

"උඹ නම් දෙවියෙක් මචං. මම නිසා උඹගෙ රස්සාවත් ඉවරයි..." යැයි සිය මිතුරා වැලඳ ගනිමින් රාජා පවසන්නේ තමා වෙනුවෙන් අනෙකා කළ කැපවීම දරා ගැනීමට නොහැකිවය.

රාජාගේ මිතුරා විවාහ වී සිටින්නේ රත්නපුර වේවැල්වත්ත පොලිස් වසමේ පදිංචිකාරියක් සමඟය. මේ දෙමිතුරන් දෙදෙනා සියඹලාණ්ඩුවේ සිට වේවැල්වත්තට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. රත්නපුර වේවැල්වත්තේ පදිංචි රාජාගේ මිතුරාට දියණියක සිටින අතර, නව යොවුන් වියට එබිකම් කරමින් සිටි සුන්දරියක වූ ඇය දුටු රාජාගේ හැඟුමන් අවදි වන්නේ යන එන මං නොමැතිව සිටියදී පිහිටට පැමිණි තම මිතුරා කළ උදව්වද සහමුලින්ම අමතක කරවමිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ සිරුර බලහත්කාරයෙන් ස්පර්ශ කිරීමට යන රාජා අවසානයේ නතර වන්නේ පොලිසියේ සුළු පැමිණිලි අංශයේය. පොලිසියෙන් අධිකරණය දක්වා ගමන් කරන මෙම සිදුවීම අවසානයේ රාජා කෙරෙහි ඇතිව තිබූ මිත්‍රශීලී හැඟුමන්ද මිතුරාගේ සිතින් ක්‍රමයෙන් දියාරුව යන්නේ ඔහු "කන්න දුන් අත සපා කෑමට" ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

නමුත් තවදුරටත් රාජා කෙරෙහි අනුකම්පා කළ මිතුරා ඔහුට සිය නිවසේ නවාතැන් ගැනීමට අවසර දුන්නද පෙර පැවති තරමේ කිරි-පැණි සබඳතාවක් නම් දෙදෙනා අතර පැවැතියේ නැත.

වේවැල්වත්තේ පදිංචි මිතුරාගේ මවත්, ඇගේ දෙවැනි විවාහයේ සැමියාත් පදිංචිව සිටින්නේ ඇල්ලගාව, කළුවාවලතැන්න ප්‍රදේශයේ වන අතර, රාජා සමඟ බොහෝ විට එම නිවසට යාමට මිතුරා කටයුතු කරන්නේ සිය දියණිය අරඹයා රාජා සිදු කළ නොමනා කටයුත්තෙන් පසු ඇතිවූ සිත් බිඳීමත් සමඟිනි.

මේ සිදුවීම වූ දිනයේත් ඔවුන් දෙදෙනා මෙම නිවසට පැමිණ මධුවිතෙන් හොඳහැටි සප්පායම් වන්නේ සියලු තරහ-මරහ මොහොතකට අමතක කරමිනි. නමුත් දියෙන් උඩට මතු වන රබර් බෝලයක් මෙන් නැවතත් දියණිය සම්බන්ධ සිදුවීම මිතුරාගේ මතකයන් අතරට පැමිණෙද්දී සුළු වාග් හුවමාරුවකින් ඇරඹෙන කතාබහ පාලනය කරගත නොහැකි තරමට දුරදිග යන්නේ සියලු සීමා සුනුවිසුනු කර දමමින්ය.

අසල තිබුණු හිස් ආවරණයක් (හෙල්මටයක්) අතට ගන්නා මිතුරා වැරෙන් ඉන් රාජාට පහර පිට පහර එල්ල කරන්නේ මෙතෙක් කලක් සිත යට පැසවමින් තිබුණු කෝපය වාන් දමමින් පිටතට පැමිණෙද්දීය.

ඉන් නොනවතින ඔහු පොල්ලකින් සහ ගලකින්ද රාජාට පහර දෙන්නේ ඔහුට බරපතළ තුවාල සිදු කරමිනි.

සියල්ල අවසානයේදී ලේ ගංගාවක් මැද ඇද වැටෙමින් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි රාජා 119 හදිසි අංකය අමතමින් වහා රෝහල්ගත කිරීමට කටයුතු කරන්නේද ඔහුට පහර දුන් මිතුරාම වීම ද විශේෂත්වයකි.

හොරණ රෝහලෙන් කළුතර නාගොඩ රෝහල වෙත මාරු කර යැවෙන රාජා පහර කෑමෙන් පසු දින මෙලොව හැර යද්දී එම පුවත කන වැකුණු ක්ෂණයෙන් මිතුරා ප්‍රදේශයෙන් පලා යන්නේ තමන් මිනීමැරුමක වගඋත්තරකරුවෙකු වීමෙන් ගැලවීමේ අරමුණිනි. කොතෙක් සෝදිසි කළද ඝාතකයාගේ හෝඩුවාවක් හෝ සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වෙද්දී එහි උණුසුමද ගම්වැසියන් ඇතුළු සියල්ලන්ටම අමතක වන්නේ රාජා කියා කෙනෙකු එහි සිටියාද කියාවත් මතකයක් ඉතිරි නො කරමිනි.

අනෙක් පුද්ගලයින් විසින් එලෙස සියල්ල සති දෙකකින් අමතක කළද. කිරිඇල්ල පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් එක දිනයක්වත් මඟ නොහරිමින් දිගින් දිගටම රාජා සහ ඔහුගේ ඝාතකයා පිළිබඳ සුළු හෝ හෝඩුවාවක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ ඝාතකයාගේ දුරකතන දත්ත වාර්තා ඇතුළු තොරතුරු ගැඹුරින් අධ්‍යයනය කරමිනි.

රාජා පිළිබඳවද කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකි ‍ෙවද්දී මසක කාලයක් පුරා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්ව තිබුණු ඔහුගේ දේහය රජයේ වියදමින් භූමිදාන කටයුතු සඳහා යොමු කරවීමට නිලධාරීන් පියවර ගන්නේ තවත් එය තබා ගැනීමෙන් ඵලක් නොවන බව තේරුම් යද්දීය.

රාජා එලෙස පස් යට මිහිදන් වුවද ඔහුගේ ඝාතකයා තවදුරටත් කල් මරමින් සැඟව සිටින්නේ පොලිසිය පිළිබඳ ඔහු තුළ වූ මහත් සැකය නිසාය. මෙලෙස කාලය ගතවද්දී දුරකතන දත්ත විශ්ලේෂණයන්ට අනුව ඝාතකයා පොළොන්නරුව ප්‍රදේශයේ වැලි තොටුපළක සිටිනා බවට විශේෂ කාර්යංශයේ නිලධාරීන් හට දැනගැනීමට ලැබෙන අතර, දින කීපයකින් නැවත ආරංචියක් ලැබෙන්නේ ඔහු රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයට නැවත පැමිණ ඇති බවටය.

කිරිඇල්ල පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරියෙකු වෙත සිය විශ්වාසවන්ත ඔත්තුකරුවෙකු හරහා ලැබෙන මෙම තොරතුරට අනුව රත්නපුර සහකාර පොලිස් අධිකාරී 2 අතුල ලෙවන්ගම සහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක වීරසිංහ නිලධාරීන් වහා දැනුවත් කිරීමට පොලිසිය පියවර ගන්නා අතර, ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන කිරිඇල්ල පොලිස් ස්ථානාධිපති වරයාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ඩී.ඩී.එස්.දිසානායක, සැරයන්වරුන් වන (37157) නිශාන්ත සහ (42976)පුෂ්පකුමාර යන පිරිස තොරතුර ලැබුණු පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරියා සහ එම කාර්යංශයේ පිරිස සමඟින් ඇල්ල ප්‍රදේශයෙහි පොලිස් දැල එලන්නේ ඝාතකයාට කිසි ලෙසකින් හෝ ගැලවී යාමට ඉඩක් නොතබමිනි. ඝාතකයාද පොලිසිය තමන් අසලට ළංවන බවට දැනුණ සැණින් ක්ෂණික ඉව ඔස්සේ වහා ඔවුන්ගෙන් මිදී පැන යාමට කටයුතු කරන්නේය.

නමුත් සිදුවන ඕනෑම දෙයකට මුහුණදීමට සූදානමින් සිටි පොලිස් නිලධාරීන් අතුරින් ඝාතකයා සම්බන්ධයෙන් තොරතුර ලත් විශේෂ කාර්යංශයේ නිලධාරියාම වහා ක්‍රියාත්මක වී සැකකරු පසුපස දිගු දුරක් එළවාගොස් ඔහු අත්අඩංගුවට ගන්නේ ඇල්ල නගරවාසීන්ට සටන්කාමී චිත්‍රපටයක උද්වේගකර ජවනිකාවක් තත්පර ගණනකට නොමිලයේ නැරඹීමට ලබාදුන් අවස්ථාවක් සිහි ගන්වමිනි.

ඝාතනයෙන් තෙමසක කාලයකින් පසු එලෙස ඔහු නීතියේ රැහැනට කොටු වුවද ජීවිතය හැර ගිය රාජා කාගේ කවුදැයි යන්න අදටත් සැඟව ගිය අබිරහසකි.

Comments