
වෙළෙඳපොළෙන් බඩු භාණ්ඩ මිලදී ගැනීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු ලැබීමේ අවදානමක් පවතී. එවැනි ව්‍යාජ මුදල් නෝට්ටුවක් තිබි නීතියේ රැහැනට කිසිවෙකු හසු වුවහොත් එම මුදල් නෝට්ටුව තමන් අතට ලැබුණු ආකාරය පිළිබඳ නොදන්නේ නම් නීතියෙන් දඬුවම් විඳීමට සිදුවන්නේ නෝට්ටුවේ අයිතිකරුටය. එවැනි සිදුවීමකට පසුගිය දිනක තිස්සමහාරාම බෙරලිහෙළ ප්‍රදේශයේ ගොවියකුට මුහුණපෑමට සිදු විය.
ඔහු විසින් තම කොරටුවෙන් කපාගන්නා ලද කෙසෙල් කැන් තොගයක් අලෙවි කර වෙළෙන්දාගෙන් ලබා ගත් මුදල් බැංකු ගත කිරීමට යෑමේදී එම මුදල් අතර ව්‍යාජ මුදල් නෝට්ටුවක් තිබී
පොලිස් කුඩුවේ ළගින්නට ඔහුට සිදු විය.
මේ කියන්න යන්නේ එවැනි සිදුවීමක් ගැන නොව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ගනුදෙනු කරන ජාවාරම්කරුවකු පොලිසියට කොටුකර ගත් ආකාරය පිළිබඳවය.
ඔහු නමින් කණ්ඩම්බිගේ ධම්මික සෙනරත් හබරාදුව විය. තිස්සමහාරාම, දෙබරවැව, ගැමුණුපුර පාර, අංක 755 යන ස්ථානයෙහි පදිංචි කරුවෙකි. ඔහු තිස්සමහාරාම බෙරලිහෙළ, කුඩා ගම්මාන - 03, කනිෂ්ඨ විද්‍යාලයෙහි රසායනාගාරයෙහි සේවකයකු ලෙස රැකියාව කළේය. මිට අමතරව එළවළු මිලයට ගෙන අලෙවි කර ඔහු අමතර ආදායමක් ද උපයා ගන්නේ කලක සිටය.
එහෙත් ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තවත් ආදායමක් උපයාගන්නා නීති විරෝධි වැඩකට අතගැසුවේය. ඒ ඉතාමත් රහසිගතව පවත්වා ගෙන ගිය එම නීති විරෝධි ව්‍යාපාරය වැඩි දිනක් පවත්වාගෙන යෑමට ඔහුට නොහැකි විය. ඊට හේතුව ඔහු නීතිය රැහැනට කොටුකර ගන්නට තිස්සමහාරාම පොලිසියට හැකි වීමය.
මේ කතාව ඉන් අනතුරුව පෙළ ගැසෙන්නේ මෙසේය. තිස්සමහාරාම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නිමල් ලොකු ගමගේට තිස්සමහාරාම, දෙබරවැව ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකින් දුරකථන පණිවිඩයක් ලැබිණි. එම පණිවිඩයෙන් කියවුණේ උපකාරක පන්තියේ ඉගෙනුම ලබන දරුවකුගේ පියකු විසින් ගෙවන ලද දරුවාගේ පන්ති ගාස්තු මුදලෙහි රුපියල් දහසේ නෝට්ටුවේ වෙනසක් ඇති බවය. ඔහු විසින් උපකාරක පන්තියට අයත් කැන්ටිමෙන්ද මිලදී ගත් කෑමවලට ගෙවීම් කිරීමේදී ලබා දෙන ලද රුපියල් දහසේ නෝට්ටුවේහි ද එවැනිම වෙනසක් දක්නට ඇති බව එම දුරකථන පණිවිඩයෙන් වැඩි දුරටත් කියැවිණි.
විවිධ අපරාධ පිළිබඳව විමර්ශන කර ඇති පළපුරුදු නිලධාරියකු වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා උපකාරක පන්තියේ කාන්තාවට උපදෙස් ලබාදී කීවේ ‘ඔයා කලබල වෙන්න එපා... ළමයගෙන් අහල දැනගන්න එයාල ඉන්නේ කොහේද? තාත්තගේ නම මොකද්ද? කියලා... ඒ ළමයගේ ගෙදර හරි තාත්තාගේ හරි දුරකථන අංකයත් අහල දැන ගන්න කෝ‘ යනුවෙනි.
පොලිස් පරීක්ෂකවරයා ලබා දුන් උපදෙස් අනුව උපකාරක පන්තිය බාර කාන්තාව කටයුතු කළේය. ‘දැන් ඔය ළමයගේ තාත්තට දුරකථන ඇමැතුමක් ලබාගෙන එසේ දීපු නෝට්ටුවේ වෙනසක් තිබෙන බව කියන්න‘ යැයි ද පොලිස් පරීක්ෂකවරයා කීවේය.
ඒ අනුව ඇය ළමයාගේ පියාට දුරකථන ඇමැතුමක් ලබා ගත්තේය. එහෙත් ඒ මොහොතේ ඔහු නිවසේ නොසිටි අතර, ඔහුගේ බිරිය එම දුරකථන ඇමැතුමට ප්‍රතිචාර දැක්වූවාය.
එම දුරකථන පණිවිඩය ලබා දීමෙන් ගත වූයේ සුළු මොහොතකි. ළමයාගේ පියා උපකාර පන්තියට පැමිණියේ කඩිනමිනි. ඔහු එම මුදල් නෝට්ටු දෙක උපකාර පන්තියෙන් රැගෙන ගියේ එසැණිනි.
සියල්ල එසේ සිදු වෙද්දි තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඩී. කාරියවසම්ගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ සහ බුද්ධි අංශයේ පොලිස් නිලධාරීන් සැකකරු පිළිබඳව තොරතුරු විමර්ශනය කළහ. බුද්ධි අංශයේ නිලධාරින් ලබා දෙන ලද තොරතුරුවලට අනුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සැකකරුගේ නිවස වටලන ලද්දේ ඉන් අනතුරුවය. එහෙත් තම නිවස වටලා ඇති බවක් නොදත් ඔහු පාර්සලයක් ද රැගෙන නිවසින් පිටවීමට සූදානම් වූයේය එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර කිසිවක් කරකියා ගත නොහැකි වූ සැකකරු තම අතේ තිබුණු පාර්සලය පසෙකට විසි කළේය. තත්පර කීපයක් ඇතුළත සැකකරු පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු විසින් විසි කරන ලද පාර්සලය අහුලා ගත් පොලිසිය එය පරීක්ෂා කළේය. එහි තිබි හමු වූයේ එකම අංකයකින් මුද්‍රණය කරන ලද රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 10 ක් සහ එකම අංකයකින් මුද්‍රණය කරන ලද රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 02 කින් යුත් නෝට්ටුය.
එම මුදල් මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන ලද පරිගණකයක් හා ස්කෑන් යන්ත්‍රය ද සැකකරුගේ නිවසේ තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි.
තම රැකියාවෙන් හෝ වෙළඳාමෙන් ලැබෙන මුදලින් සෑහීමකට පත් නොවී වැඩි වැඩියෙන් මුදල් සොයන්නට වැරදි මාර්ගයෙහි ගිය හබරාදුව නම් වූ සැකකරුට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදු විය. එය ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබා ගැනීම සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනා යටතේය.