
ඉකුත් සැප්තැම්බර් 20 වනදා මෝටර් බයිසිකලයකින් පැමිණි යුවළක් ගම්පහ, ජාඇළ පාරේ අකරවිටදී බැංකු සේවිකාවකගේ අත්බෑගය කොල්ලකෑමට ගත් උත්සාහයක් වැළැක්වීමට ගිය ඇය සමඟ පැමිණි සෙසු කාන්තාවගේ සැමියාට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිදුවීමක් ගම්පහ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
එහිදී බැංකු සේවිකාව සමඟ ගමන් කළ සෙසු කාන්තාවගේ පියා ද බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කෙරිණි. මෙසේ ඝාතනයටලක් වූයේ ගම්පහ, ජාඇළ පාර ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු වන 31 හැවිරිදි රසික විනෝද් ප්‍රනාන්දුපුල්ලේය. ඔහු පෞද්ගලික බැංකුවක සේවය කළ අයෙකි. කොල්ලකරුගේ පිහි පහරට ලක් වූ රසික බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.
රසිකගේ බිරිය කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කළාය. ඇය එදින සේවය නිම වී නිවස වෙත පැමිණෙමින් සිටියදී ඇගේ මිතුරියක වන ලංකා බැංකුවේ බස්නාහිර පළාත් උතුර කාර්යාලයේ ගණකාධිකාරිවරියද සේවය නිම වී සිය නිවස බලා යද්දි දෙදෙනා හමු වී ඇත. පසුව රසිකගේ බිරිය ලංකා බැංකුවේ සේවය කරන මිතුරිය සමඟ එක්ව නිවෙස බලා ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි සැකකාර යුවළක් රසිකගේ බිරියගේ මිතුරියගේ අත් බෑගයෙන් ඇද එය පැහැර ගැනීමට තැත් කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි විය.
එම අත්බෑගය කොල්ල කෑමට තැත් කරන විට එම කාන්තාව එම අත්බෑගය තදින් අල්ලාගෙන සිටි නිසා එම බෑගය පැහැර ගැනීම වැළකී ගොස් තිබේ. ඒ අතර සැකකාර යුවළ විසි වී ගොස් අසල පිහිටි ජලය පිරුණු කානුවකට ඇද වැටී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විය. එහිදී බියට පත් වූ රසිකගේ බිරියත් ඇගේ මිතුරියත් උදවු ඉල්ලා කෑගසා ඇත. මේ සිද්ධිය වී තිබුණේ රසිකගේ බිරියගේ නිෙවස අසල බැවින් එම හඬ ඇසී රසික සහ ඔහුගේ පියාත් එම ස්ථානයට පැමිණ ඇත. ඒ වන විට සැකකාර යුවළ සිට ඇත්තේ කානුවෙන් ගොඩ ඒමට නොහැකිවය. එහිදී රසික සහ ඔහුගේ බිරියගේ පියාත් එක්ව මුලින්ම ගොඩගෙන ඇත්තේ කොල්ලයට පැමිණි කාන්තාවය. එහිදී ඇයව ගොඩට ගෙන පොලිසියට මේ පිළිබඳව දැනුම් දීමට සූදානම් වන විට කොල්ලකරු ගොඩට පැමිණ බැංකු සේවිකාවගේ මිතුරියගේ සැමියා වන රසිකටත් පියාටත් පිහියෙන් ඇන අසල පිහිටි වෙල් යාය දිගේ පලා ගොස් තිබේ.
එහිදී පිහි ඇනුම් කා බරපතළ තුවාල ලබා සිටි බැංකු සේවිකාවගේ මිතුරියගේ සැමියා වන රසික සහ රසිකගේ බිරියගේ පියා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී රසික ජීවිතක්ෂයට පත් විය. කොල්ලකරුවන් කවුරුන්දැයි යන්න මුලින්ම හඳුනා ගැනීමට හැකි වූයේ නැත. මේ යුවළ නිතරම එම ප්‍රදේශයේ කොල්ලකෑම්වල නිරත වන කල්ලියක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ගන්නේ ඉන් පසුවය. මෙම යුවළ ඔවුන් පැමිණි යතුරුපැදිය එම ස්ථානයේ අතහැර දමා පලා ගොස් තිබිණි. එම මෝටර් බයිසිකලය සොරකම් කළ එකක් බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය විය. මේ යුවළ මංකොල්ල කෑමට උත්සාහ කළ බැංකු සේවිකාවගේ අත්බෑගයට අමතරව තවත් අත්බෑග් දෙකක් බිම වැටී තිබී පොලිසියට හමු වන්නේ එහිදීය. පොලිසිය ඒ පිළිබඳව සිදු කළ විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ ඒ එක් අත් බෑගයක් වැලිවේරිය සහ යක්කල අතර මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත්බෑගයක් බවය. අනෙක් අත්බෑගය මීගහවත්ත ප්‍රදේශයේදි මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකගේ එකක් බවට හඳුනා ගැනිණි. එම අත් බෑග් දෙක කොල්ල කා ඇත්තේ එදිනම ය.
මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ පොලිසිය එම ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කළේ සැකකරුවන් ගැන හෝඩුවාවක් ලබා ගැනීම සඳහාය. සිද්ධිය වූ දින එම ප්‍රදේශයේ විදුලි බලය විසන්ධි කර තිබී ඇති අතර මේ නිසා සැකකරුවන් මෙම කොල්ල කෑම පහසුවෙන් සිදු කර ගැනීමේ අරමුණින් පැමිණ ඇති බව විමර්ශන නිලධාරීහූ පවසති. සිද්ධිය සම්බන්ධව පොලිසිය ගම්පහ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙළේය. ඒ අනුව ගම්පහ අංක 01 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මේ සිද්ධිය සිදු වූ ස්ථානයට සහ රසිකගේ සිරුර තැන්පත් කර තිබූ ගම්පහ මූලික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ සිරුර පරීක්ෂා කර බලා මෙම මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කර තිබේ.
ඒ අනුව ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එම්.ටී.එම්. ගුණතිලක රසිකගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළේය.
තියුණු ආයුධයකින් ඇනීම නිසා පපුවේ ලේ වහනය වීමෙන් මෙම මරණය සිදු වී ඇති බවට ඔහු නිගමනය කළේය. සාහසිකයා රසිකට පිහි පහර හතරක් එල්ල කර ඇති බවට හෙළි විය. මේ ඝාතනය සම්බන්ධව පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වූයේ දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ යුවළක් මේ කොල්ලකෑම්වල නිරත වන බවය. ඔවුන් විවිධ ප්‍රදේශවල ගමන් කරමින් කොල්ලකෑම් සහ සොරකම් සිදු කර ඇති බවට පොලිසිය හෙළි කර ගන්නේ එහිදීය.
රසිකගේ බිරිය වන පූජා චේතනි ගුණසේකර ද පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නාය. සැප්තැම්බර් මස 29 වන දින රාත්‍රියේ පොලිසියට ලැබුණ තොරතුරක් මත සැකකාර යුවළ පදිංචිව සිටින බව කියන ගම්පහ, මදුරුවිට ප්‍රදේශයේ නිෙවසකට පොලිස් නිලධරයන් ගිය අවස්ථාවේ පොලිස් වෙඩි පහරින් සැකකරු මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පහ, මදුරුවිට ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන තිස්පස් හැවිරිදි ලසන්ත සංජීව හපුආරච්චි නමැති අයෙකි. සැකකරු ගම්පහ, මදුරුවිට ප්‍රදේශයේ අඩක් ඉදිකර ඇති නිවසේ සැඟවී සිටියදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින්ට මන්නා පිහියකින් පහර දීමට උත්සහ කර ඇති අතර එහිදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදි ලසන්ත බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කරන ලදි. බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු එහිදී මියගොස් තිබේ. මෙම අපරාධකරු ගම්පහ සහ ඒ අවට ප්‍රදේශ රැසක සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ අයෙකු බවට විමර්ශනවලදි හෙළි විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගම්පහ පොලිසිය එම කොල්ලයට පැමිණි සැකකරුගේ බිරිය වන 26 හැවිරිදි කාන්තාව ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති බවත් ඇය සැමියා සමඟ එක්ව සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. මෙම ඝාතනය සිදු කිරීමට ඇය සැකකාර සැමියාට ආධාර අනුබල දී ඇති බව සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි කාන්තාව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ගම්පහ කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ පුෂ්පකුමාරගේ පූර්ණ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ධර්මසූරිය, උපපොලිස් පරීක්ෂක සමීර, සැරයන්වරුන් වන (32795) ප්‍රේමලාල්, (12839) රොෂාන්, කොස්තාපල්වරුන් වන (39627) මාලිංග, (80951) විජේසිංහ යන නිලධාරීහූ මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.