කතක් බිය කර කනකර පැහැර ගන්න ගිය හොර සී.අයි.ඩී. දෙන්නා රඹුක්කනදී පොලිස් දැලේ | සිළුමිණ

කතක් බිය කර කනකර පැහැර ගන්න ගිය හොර සී.අයි.ඩී. දෙන්නා රඹුක්කනදී පොලිස් දැලේ

 

අත් මාංචු කුට්ටම් දෙකකුත් සොයා ගනී

බිබිලේ කොස්තාපල් සහ පිළිම නිහාල්ගේ සැලැසුම වැළකූ පොලිස් මෙහෙයුම

 

අපරාධකරුවන් විවිධ උපක්‍රම භාවිත කරමින් සහ අත්හදා බලමින් කෙසේ හෝ තමන්ගේ ඉලක්කය සපුරා ගනිති. ඔවුන් භාවිත කරන සූක්ෂම උපක්‍රම කිසිවෙකුටවත් සොයා ගත නොහැකිය. මේ අය සිදු කරන්නට යන අපරාධ වරදින්නේ ද ඉතාමත් කලාතුරකින්ය.

කොටවැල්ල රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ගමකි. මේ ගම්මානයේ පදිංචි 47 හැවිරිදි වැන්දඹු දෙදරු මවක් පාසල් යන පිරිමි දරුවා සමග ජීවත් වන්නිය. ඇගේ වැඩිමල් පුතු මීට මාස පහකට පමණ ඉහතදී විදේශ රටක රැකියාවකට පිටත්ව ගොස් තිබේ. ඇගේ සැමියා මිය ගොස්ය. ඔහු හරි හම්බ කර ඉතිරි කළ මුදලින් සහ විදේශ රටක රැකියාවක් කරන පුතු එවන මුදල් වලින් බාල පුතු සමඟ ඇය ජීවත් වන්නේ කිසිවකුට අත නොපාමිනි. ඉකුත් 03 වැනිදා සෙනසුරාදා උදෑසන 7ට පමණ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් මෙම කාන්තාවගේ කොටවැල්ලේ පිහිටි නිවසට යතුරු පැදියකින් පැමිණියහ. යතුරු පැදියක් නිවසේ මිදුලේ නතර කරන ශබ්දය ඇසුණු ඇය එළියට පැමිණියාය. මිදුලට ගිය කතට දැක ගත හැකි වූයේ යතුරු පැදියකින් පැමිණ සිටින නාඳුනන දෙදෙනෙකි.

"මිස් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්“ යැයි කී අයකු ඇයට හැඳුනුම්පතක් පෙන්වූවාය. “අපට ආරංචියක් ආවා මේ ගෙදර රඹුක්කන ඓතිහාසික දැදිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය බිඳලා එහෙන් සොරකම් කරපු පෞරාණික වස්තුවයි පෞරාණික රන් භාණ්ඩ තොගයකුයි මේ ගෙදර තියනවා. අපිට ඒක සොයා ගන්න ඕනෑ“ යැයි නාඳුනන දෙදෙනාගෙන් තරමක් තරුණ පෙනුමක් දිස්වූ පුද්ගලයා කාන්තාව හමුවේ පැවැසීය.

"අනේ සර් මගේ මනුස්සයා මැරිලා. ලොකු පුතා මාස 5 ක් විතර ඇති පිටරටක සේවයට ගිහිල්ලා. ගෙදර ඉන්නේ මමයි බාල පුතයි විතරයි. අපේ ගෙදර ඔය කියන රන් බඩු නෑ. මගේ තියෙන රන් බඩු ටිකත් රඹුක්කන ටවුමේ බැංකුවකට උකස් කරලා තියෙන්නේ. මේ කරේ දාගෙන ඉන්න මාලයයි පෙන්ඩන් එකයි විතරයි තියෙන්නේ“යැයි කාන්තාව බැගෑපත්ව සී.අයි.ඩී. යැයි කියා සිටි නාඳුනන දෙදෙනාට පැවසුවාය.

"එහෙනම් ඔය කරේ දමාගෙන සිටින මාලෙයි පෙන්ඩන් එකයි අපිට බලන්න ඕනෑ... ඕක ගලවලා දෙන්න බලන්න“ යැයි නාඳුනන දෙදෙනා පවසන්නේ එවිටය. “අනේ සර් මේකේ බලන්න දෙයක් නෑ. මේක මගේ“යැයි කාන්තාව යළිත් බැගෑපත්ව සී.අයි.ඩී. යැයි කියන දෙදෙනා ඉදිරියේදී පැවසුවාය.

"අපි දෙන්නා හෙට උදේ 10 වෙන කොට රඹුක්කන ටවුමට එනවා. අර බැංකුවේ උකස් කරලා තියෙන රන් බඩු ටික උකස් ඇරලා අපි දෙන්නට රඹුක්කන ටවුමේ දී පෙන්වන්න ඕනෑ පුළුවන් ද?“යැයි ඔවුහු නැවත විමසූහ. “පුළුවන් සර්. මම ඒවා පෙන්වන්නම්“යැයි කාන්තාව නාඳුනන දෙදෙනාට ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා යතුරුපැදියේ නැඟ පිටත්ව ගියේය.

කාන්තාවට දෙවියන් සිහි පත් විය. මිනිත්තු කීපයක් මිදුලේ සිට කල්පනා කළ ඇය රඹුක්කන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ගොස් නාඳුනන දෙදෙනා පැමිණියේ යැයි කියන යතුරු පැදියේ අංකය ලබා දී මේ ගැන පැමිණිල්ලක් ද කළාය.

නිවසට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකුට තරුණ පෙනුමක් තිබුණු බවත් සෙසු පුද්ගලයාට වයස අවුරුදු 60 ක් පමණ විය හැකි බවත්. තරුණ පෙනුමක් තිබුණු පුද්ගලයාගේ ඉනෙහි ගිනි අවියක් තිබුණු බවට තමා සියැසින් දුටු බව පැමිණිල්ලේ සටහන් කෙරිණි. තව ද ඔහු සන්තකයේ අත් මාංචු කුට්ටම් දෙකක් තිබුණු බවට ද සඳහන් කර කාන්තාව පොලිසියෙන් පිටව යළි නිවසට පැමිණියාය.

රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. එස්. සෙනරත් බණ්ඩාරගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොමඩ් අන්වර් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් පරීක්ෂකවරයාට දන්වා ඇත්තේ තම දෙපාර්තමේන්තුවෙන් කිසිම නිලධාරියෙක් ඔය කියන නිවසට නොගිය බවය.

පසුව රඹුක්කන පොලිසිය පැමිණිලිකාර කාන්තාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිවසට පැමිණ නැති බවත්. පැමිණි දෙදෙනා කොල්ල කල්ලියක් විය හැකි බවත් දැන්විණි.

රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බණ්ඩාර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොමඩ් අන්වර් හොර සී.අයි.ඩී. සැරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කළහ. ඒ අනුව සැරයන් රාජපක්ෂ (37611) කාන්තා සැරයන්වරියන් වන කමලා (4482) මැණිකේ (4753) දමයන්ති (1338) කොස්තාපල්වරුන් වන ලක්මාල් (72599) තෙන්නකෝන් (79838) නිශ්ශංක (72047) දේවේන්ද්‍ර (100005) තනුක (100006) රාජකරුණා (100010) කොස්තාපල්වරියන් වන හංසිකා (8135) සමුද්‍රා (9797) කොස්තාපල් රියදුරු කුමාර (89679) රඹුක්කන නගරය වටා ආරක්ෂක වළල්ලක් ලෙස ස්ථාන ගත කෙරිණ. පැමිණිලිකාර කාන්තාව පෙරවරු 9ට පමණ රඹුක්කන පොලිසියට පැමිණියාය. සිවිල් ඇඳුමින් සැරසුණු සැරයන්වරියක් සමඟ පැමිණිලිකාර කාන්තාව නගරයට පාගමනින් පිටත් කර හැරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පවසා සිටි නාඳුනන දෙදෙනා පෙරවරු 10.30 ට පමණ රඹුක්කන නගරයට පැමිණ රන් භාණ්ඩ සඟවාගෙන ඇතැයි කියන කාන්තාවගේ දුරකතනයට ඇමතුමක් ගත්තේය. තමන් රඹුක්කන නගරයේ රෝහල මාර්ගයේ සිටින බවට නාඳුනන දෙදෙනා ගත් ඇමතුමට පිළිතුරු ලබා දෙමින් කාන්තාව ප්‍රකාශ කළාය.

“එහෙනම් ඉස්පිරිතාලේ පාර දිගේ එන්න“ යැයි යළිත් කාන්තාවට ප්‍රකාශ කළ නාඳුනන පුද්ගලයා කාන්තාව රෝහල දෙසට ගමන් කරමින් සිටිය දී යතුරුපැදියෙන් පැමිණ යතුරුපැදිය නතර කරනවාත් සමග දහතුන් දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් වටකර යතුරුපැදියත් නාඳුනන දෙදෙනාත් පොලිස් භාරයට ගත්තේ තත්පර ගණනක් ඇතුළතදීය. පොලිස් භාරයට ගත් යතුරුපැදිය හා නාඳුනන දෙදෙනා වහාම රඹුක්කන පොලිසියට රැගෙන යන ලදි.

පසුව කරන ලද මූලික විමර්ශනයකින් අනතුරුව හෙළි වන්නේ නාඳුනන දෙදෙනාගෙන් තරුණයා බිබිල පොලිසියට අනුයුක්තව සේවය කරන 38 හැවිරිදි ගුණසිරි නිවස, නාන්පුරාව, බිබිල ලිපිනයේ පදිංචිව සිටින ජයසුන්දර මුදියන්සේලාගේ ප්‍රියදර්ශන ගුණවර්ධන නමැති කොස්තාපල්වරයෙක් බවය. සෙසු පුද්ගලයා 58 හැවිරිදි රඹුක්කන දියසුන්තක ඇත්වටේවත්ත ලිපිනයේ පදිංචිව සිටින මද්දුමගේ දොන් නීල් හෙවත් පිළිම නිහාල් නමැත්තෙකු බවට තහවුරු කරගෙන තිබිණි.

'පිළිම නිහාල්' යනු 80, 90 දශකවල මෙරට මහා පරිමාණයෙන් සිදු කර ඇති මංකොල්ල කරුවෙකි. මෙම මංකොල්ලකරු දේශපාලනඥයන් කිහිප දෙනෙක් කිට්ටු ඇසුරක් පවත්වන බව අනාවරණය වෙයි. දේශපාලනඥයෙකුගේ නිවසක දී බිබිලේ පොලිස් කොස්තාපල්වරයා 'පිළිම නිහාල්ට' මුණ ගැසී ඇත. එහිදී දෙදෙනා දැන හැඳින ගැනීමෙන් පසුව කොස්තාපල්වරයාට 'පිළිම නිහාල්' විසින් අවස්ථා ගණනාවක දී දේශපාලනඥයන් මාර්ගයෙන් ස්ථාන මාරු ලබා ගැනීමේ දී උදව් උපකාර කර දී තිබේ. එම හඳුනා ගැනීමෙන් පසුව 'පිළිම නිහාල්' කොස්තාපල්වරයා සමඟ එක්ව කොටවැල්ල නිවස මංකොල්ලකෑමට සැලසුම් කරන්නට ඇති බව පොලිසිය සැක පහළ කරයි.

'පිළිම නිහාල්ගේ' ජංගම දුරකතනය පොලිසිය මගින් පරීක්ෂා කරද්දී පසුගිය මාර්තු මස රඹුක්කන දැදිවල ඓතිහාසික කොට වෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය බින්ද අවස්ථාවේ දී පුවත්පත්වල පළවී තිබූ දීර්ඝ ලිපිවල සියලුම පිටපත් ගබඩා කරගෙන තිබියදී සොයාගෙන තිබිණි. ඒ හේතුවෙන් රඹුක්කන ⁣දැලිවල කොට වෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය බිඳ ධාතුන් වහන්සේලා ද පිළිම නිහාල් ඇතුළු කණ්ඩායමක් විසින් සොරකම් කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. මෙම කොල්ලයට සම්බන්ධ යැයි කියන පොලිස් කොස්තාපල්වරයා 'පිළිම නිහාල්' ඇතුළු කණ්ඩායම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

Comments