අහුන්ගල්ලේදී චතුරංගට වෙඩි තිබ්බේ මත්ද්‍රව්‍ය ආරවුලකටද ? | සිළුමිණ

අහුන්ගල්ලේදී චතුරංගට වෙඩි තිබ්බේ මත්ද්‍රව්‍ය ආරවුලකටද ?

 

බලපිටිය අහුන්ගල්ල බෝගහපිටිය පාලම අසලදී ඉකුත් දා රාත්‍රි මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකට සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබීමත් සමඟම අම්බලන්ගොඩ මිනිස් ඝාතන වැලට තවත් එකක් එකතු වූයේ ප්‍රදේශයම භීතියට පත් කරමිනි.

මෙසේ ඝාතනය කර වූයේ අහුන්ගල්ල, මාකුඹුර අමරමෝලි මාවතේ පදිංචි කොම්බු චතුරංග ජයලත් ද සිල්වා නමැති 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

වෙඩි පහරින් බරපතළ තුවාල ලබා දැනට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ අහුන්ගල්ල, එගොඩමුල්ල ලිපිනයේ පදිංචිව සිට දැනට අහුන්ගල්ල වතුරේගම පදිංචි ගුණරත්න දිල්ක ධනංජය ද සිල්වා නමැති 24 හැවිරිදි අයෙකි.

මේ දෙදෙනාම ඉතා තදින් හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුව සිටි දෙදෙනෙකි. ඒ අතර මොවුන් දෙදෙනා හෙරොයින් ජාවාරමේද නිරතව සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

ඉකුත් 23 වැනි සිකුරාදා රාත්‍රි ජයලත්, ධනංජය සමඟ ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ගමන් කර ඇත්තේ තමන්ට ලැබුණ දුරකතන ඇමතුමක් අනුව හෙරොයින් ජාවාරමට සම්බන්ධ ගනුදෙනුවක් සඳහාය. ත්‍රිරෝද රථයෙන් අදාළ ස්ථානයට ගිය මේ දෙදෙනා එම ගනුදෙනුව නිම කර ආපසු එමින් සිටියෝය. එදින රාත්‍රී 9.15 ට පමණ දෙදෙනා ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයට වෙඩික්කරු බෝගහපිටිය පාලම අසල සැඟව සිට වෙඩි තබා පලා යන්නේ නිරුපද්‍රිතවය.

වෙඩිවැදුණු ජයලත් සිද්ධිය වූ ස්ථානයට මීටර් 400ක් පමණ දුරින් පිහිටා ඇති බෝගහපිටිය සිරි විජය බෝධිරාජාරාම විහාරස්ථානයට ගොස් කිසිවකු තමන්ට වෙඩි තැබූ බව එම විහාරාධිපති හිමියන්ට පවසනවාත් සමඟම සිහිසුන්ව එම ස්ථානයේම බිම ඇද වැටී ඇත.

ත්‍රිරෝද රථයේ රියදුරා වූ ධනංජයටද වෙඩි වැදී තිබූ අතර ඔහු මියයන්නට ඇතැයි සිතූ වෙඩික්කරු ඉන් පසු පලා ගොස් ඇත.

පසුව බරපතළ තුවාල ලබා සිටි ත්‍රිරෝද රථයේ රියදුරු ධනංජය සහ එහි ගමන් කරමින් සිටි ජයලත් අසල්වාසීන් විසින් එම ත්‍රිරෝද රථයෙන්ම බලපිටිය මූලික රෝහලට ඇතුළු කර තිබේ. එහෙත් ජයලත් ඒ වන විටත් මෙලොව හැර ගොස් සිටියේය.

හෙරොයින් ජාවාරමට සම්බන්ධ දෙපිරිසක් අතර පවතින කෝන්තරයක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව මෙතෙක් සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන හිස් පතරොම් කොපු පහක් පොලිසිය සොයාගෙන ඇත.

වෙඩි වැදීමෙන් ජයලත්ගේ අත් දෙකට, උදරයට සහ කකුල් දෙකටද බරපතළ තුවාල සිදුවී ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජී.ඩබ්ලිව්.එන්.අයි.එස්. ප්‍රනාන්දු විසින් සිදු කරනු ලැබුවාය.

වෙඩි වැදීමෙන් සිදු වූ බාහිර සහ අභ්‍යන්තර තුවාල නිසා අක්මාවට බරපතළ හානි සිදුවීම සහ අධික රුධිර වහනය හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබේ.

මේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

ඇල්පිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශගේ මෙහෙයවීමෙන් එක් පොලිස් කණ්ඩායමකුත්, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.ඒ.අමරසිංහගේ මෙහෙයවීමෙන් තවත් පොලිස් කණ්ඩායමක් සහ අහුන්ගල්ල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.බී. නිශාන්තගේ මෙහෙයවීමෙන් අහුන්ගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පෙරේරා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි. ඇල්පිටිය පොලිස් කොට්ඨාස අපරාධ පරීක්ෂණගාරයේ නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි එක් රැස්කොට ඇත.

 

Comments