
ඇහැලියගොඩ පොලිස් වසමේ පිටකන්ද ගම්මානයේ පදිංචිව සිටි පහළොස් හැවිරිදි පාසල් සිසුවියක වන කුෂානි පියුමි මාධවිකා ජයසිංහ 2009 වසරේ ජුනි මාසයේ 23 වැනිදා අතවර කර කන්දෙන් පහළට තල්ලු කර ඝාතනය කර තිබිණි.
වසර 13කට පෙර පියුමි මාධවිකාට සිදු වූ එම හද කම්පා කරවන අපරාධය ඒ දිනවලදී ‘පියුමිගේ ඝාතනයේ ශෝකාලාපය පිටකන්ද ගම සිසාරා රැව් දෙයි‘ යන සිරසෙන් යුතුව සිළුමිණ පුවත්පතද වාර්තා කර තිබිණි. පියුමි ඝාතන සිද්ධිය පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.
පියුමි ජයසිංහ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක ද සිටින පවුලේ නිවුන් දරුවන් දෙදෙනාගෙන් කෙනෙකි. ඇගේ නිවුන් සොහොයුරා මේ වන විට විවාහකව කුඩා දරුවකුගේ පියෙකි. පියුමිගේ මාපියන් තේ දලු නෙළීමේ රැකියාවේ නිරතව සිටි අහිංසක ගැමියන්ය. ඇගේ පවුලේ උදවිය පදිංචිව සිටින්නේ ඇහැලියගොඩ පොලිස් වසමේ එක් කෙළවරක් වන එල්ලාවල, පිටකන්ද ග්‍රාමයේයි. පියුමි පාසල් ගියේ එල්ලාවල මහ විදුහලටය. ඇය ඝාතනය වන විට එල්ලාවල මහ විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. ඇය දිනපතා පාසලට ආවේ-ගියේ කැලෑබද මාර්ගයක කිලෝමීටර් දෙක තුනක දුරක් පා ගමනිනි.
2009 ජූනි 23 වැනිදා අඟහරුවාදා දිනකි. එදින පාසලේ ශිෂ්‍ය නායක ලාංඡන පැලඳවීමේ උත්සවය පැවැති දිනයයි. පියුමිද එදින ශිෂ්‍ය නායිකා ලාංඡනයක හිමිකාරිය වීමට තරම් වාසනාවන්ත වූවත් එම දිනය ඇගේ මාරයාගේ දිනය බව ඇය සිහිනෙන්වත් නොසිතන්නට ඇත.
ලාංඡන පැලඳවීමේ උත්සවයෙන් පසු පියුමි සිය නිවෙසට පැමිණීම සඳහා කැලෑබද මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියාය. එහෙත් එදින සවස් වෙද්දීත් ඇය නිවෙසට නොපැමිණියාය. ඇගේ මාපියන්, සහෝදර සහෝදරියන් සියලු දෙනා පියුමි නිවෙසට නොපැමිණීමෙන් මහත් කලබලයට පත්ව සිටියහ. ඔවුහු එදින සෑම තැනෙකම පියුමි ගැන සොයා බැලූහ. පියුමි පාසල් ගිය මාර්ගයට පසු දින එක්රොක් වූ ගම්මු එහි සෝදිසි කළෝය. එහිදී සැමගේ හදවත් කම්පාවට පත් කරමින් පියුමිගේ මළසිරුර ඇය පාසල් ගොස් එමින් සිටි මාර්ගයේ කඳු පල්ලමක තිබී හමු විය.
අනතුරුව ඇගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල මූලික රෝහලේදී පැවැත්විණි. ඒ අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳුන් විජේවර්ධන විසිනි. එහිදී අධිකරණ වෛද්‍යවරයා නිකුත් කළ වාර්තාවෙන් හෙළි වූයේ හිසට පහර දී ලිංගික අපයෝජනයකටද ලක් කර ඇය ඝාතනය කර ඇති බවයි.
එවකට ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ වන විට කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ධූරය දරන ප්‍රදීප් වීරසේකරගේ මෙහෙයවීමෙන් ඒ දිනවලදීම ඇහැලියගොඩ පොලිසිය පියුමිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. එම සැකකරු ගොපල්ලකු ලෙස රැකියාව කළ පොල්වත්ත කංකානම්ලාගේ ගාමිණි නමැත්තෙකි. පියුමිගේ ඝාතනය සිදු වූ අවට පෙදෙස්හි සැරිසරන හරක් බලන්නෙකු වූ ගාමිණි අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල සහ පියුමි ඝාතනය වී සිටි ස්ථානයේ තිබූ කෙස් ගසක් ඔස්සේ සිදුකළ ඩීඑන්ඒ පරීක්ෂාවෙන් පසු එම ඩීඑන්ඒ සැසඳීමත් සමඟ ගාමිණි බන්ධනාගාරගත වූයේ පියුමිගේ ඝාතකයා ලෙසය. එහෙත් එම සැකකරු තමන් පියුමිගේ ඝාතනයට කිසිම සම්බන්ධයක් නොමැති බව සඳහන් කරමින් වගකිවයුත්තන්ට ලිපි ලියා තිබිණි. කෙසේ හෝ පොලිසිය සඳහන් කරන්නේ පියුමිගේ ඝාතනයට ගාමිණි නමැති සැකකරුද සම්බන්ධව ඇති බව ඩීඑන්ඒ පරීක්ෂාවෙන් තහවුරු වන බවයි.
මේ අතරේ මීට වසර හතරකට පමණ පෙරදී ඇහැලියගොඩ පොලිස් වසමේ දිද්දෙණියේදී මිනීමැරුමක් සිදු විය. එහිදී ඝාතනය වූයේ 90 හැවිරිදි ‘කේටින් නෝනා‘ නමැත්තියයි. එම ඝාතනයට සැකපිට ඇහැලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ දිද්දෙණිය, ගොමළුගොඩ පදිංචිකරුවකු වූ 39 හැවිරිදි විතානගේ ප්‍රේමසිරි සේනාරත්න නමැත්තෙකි. ප්‍රේමසිරිට බැණ වැදීම නිසා ඔහු විසින් එම වයෝවෘද්ධ කත ඝාතනය කර තිබිණි. ප්‍රේමසිරි පතල් කැපීම් මෙන්ම කුලී වැඩ කළ අයෙකි. ප්‍රේමසිරි එම ඝාතනයට සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. බන්ධනාගාරයේ සිටියදී ඔහුට ඇහැලියගොඩ පොලිස් වසමේම පුද්ගලයකු වන ගාමිණි මුණ ගැසිණි. ගාමිණි පියුමිගේ ඝාතනයට අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටියදී ඔහුට ඇප හිමි වූවත් ඇප ලබා දීමට කෙනෙකු නොවූ හෙයින් ඔහු මේ වනවිටත් බන්ධනාගාරගතව සිටියි.
ඇහැලියගොඩ පොලිස් වසමේම පුද්ගලයකු වන ‘සමීර‘ ද නීති විරෝධි මත්පැන් ජාවාරමක් නිසාවෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරයට පැමිණෙන්නේ ඔය අතරේදීය. ගාමිණි, ප්‍රේමසිරි සහ සමීර එකම පොලිස් වසමේ පදිංචිකරුවන් නිසා බන්ධනාගාරය තුළදී මිතුදමක් ගොඩනැඟී තිබිණි. දිනක් ප්‍රේමසිරි, ගාමිණිට පැවැසුවේ අරුමපුදුම කතාවකි.
“ඒයි ගාමිණියෝ... උඹ දන්නවද... උඹ ඔය කන්නේ මගේ ‘පරිප්පුවක්‘ තමයි...“ යැයි ප්‍රේමසිරි පැවැසීමත් සමඟ ගාමිණි වික්ෂිප්ත වූයේ තමන් නොකළ වරදකට බන්ධනාගාරගතව සිටින බව වැටහුණු නිසාය.
එම කතාව අසල සිටි මිතුරා වූ සමීරගේ කන වැකුණේය. ඔහු දින කීපයකින් බන්ධනාගාරයෙන් ඇප මත මුදා හැරිණි. සමීරට බන්ධනාගාරයෙන් එළියට ආ සැණින් සිහිපත් වූයේ ප්‍රේමසිරි, ගාමිණිට කී කතාවයි. සමීර සැණින් එවකට ඇහැලියගොඩ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි වර්තමානයේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උදයශාන්ත හමු විය.
බන්ධනාගාරය තුළදී ප්‍රේමසිරි, ගාමිණිට කී කතාව අකුරක් නෑර සමීර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පැවැසීය. දින කීපයකට පසු ප්‍රේමසිරිද බන්ධනාගාරයෙන් ඇප මත මුදා හැරියේය. ඒ වන විට ඇහැලියගොඩ පොලිසියේ අධිකරණ කටයුතු බාරව සිටි වර්තමානයේ මඩකළපුව පොලිස් ස්ථානයේ රාජකාරි කරන උපපොලිස් පරීක්ෂක නිමලවීර ඇමැතු ප්‍රධාන පොලිස් පරික්ෂක උදයශාන්ත ඔහුට උපදෙස් දුන්නේ ප්‍රේමසිරි නමැති අදාළ පුද්ගලයා සොයා වහා ඩීඑන්ඒ පරික්ෂාවකට යොමු කරන ලෙසය. ඒ අනුව ප්‍රේමසිරිගෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල 2019 දෙසැම්බර් 30 වැනිදා බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යොමු කෙරිණි. පියුමිගේ සිරුරේ තිබූ ශුක්‍රාණු තරල සහ ප්‍රේමසිරිගෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල සමාන වි තිබුණේ අපරාධයක් කළහොත් කිසිදා වසන් වී සිටිය නොහැකි බව පසක් කරමිනි. කෙසේ හෝ එම ඩීඑන්ඒ වාර්තාව ඇහැලියගොඩ පොලිසියට ලැබී තිබුණේ මාස පහකට පමණ පසු එනම් 2020 මැයි මාසයේදියි.
ඒ සමඟම ප්‍රේමසිරි අත්අඩංගුවට ගැනීමට ඇහැලියගොඩ පොලිස් නිලධාරින් ඔහු සොයා දිවා රෑ විමර්ශන සිදු කළේය. එහිදී ඔහු මුලින්ම වාසය කළ බුළුගහපිටිය නිවෙසට ගොස් පරික්ෂා කළත් ප්‍රේමසිරි තාවකාලිකව විසූ එම නිවෙසෙන් ඒ වන විට පලා ගොස් සිටියේය. ඒ අතර ඉකුත් දිනෙක ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්තට තොරතුරක් ලැබුණේ ප්‍රේමසිරි ඇහැලියගොඩ පොලිස් වසමේ ඈත කොනක් වන ‘නියනකොළතැන්නේ‘ නිවෙසක කුලී පදනම මත සිටින බවටය.
සැණින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා ප්‍රේමසිරි සිටි නිවෙස වැටලීය. ප්‍රේමසිරි එම නිවෙසේ වාසය කළේ කුඩා දරුවන් දෙදෙනා සහ බිරිය සමඟිනි.
අත්අඩංගුවට පත් ප්‍රේමසිරි පොලිස් ස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කරන්නට වූයේ මීට වසර 13කට පෙර සිදුවූ පියුමිගේ ඝාතනය ගැන සිහිපත් කරමිනි. එහිදී පියුමිගේ ඝාතකයා තමන් යැයි පිළිගත් ප්‍රේමසිරි සියල්ල පාපෝච්චාරණය කළේය.
“සර්... එතකොට මගේ වයස අවුරුදු 26යි... මං ඔය සිද්ධිය වෙච්ච දවසේ පතල්වලට ලී කපන්න ගිහින් හිටියේ. මං හීනියට අඩියකුත් ගහලා හිටියේ. මං දැක්කා කෙල්ල පාර දිගේ පල්ලමේ කන්ද උඩට එනවා... මම පාරෙන් උඩ පැත්තට ආවා... මට කෙල්ල ගැන ආසාවක් ඇතිවුණා... කෙල්ල මාව පාස් කරගෙන ගියා... මං ළඟ තිබුණා කුරුඳු කපන මන්නයක්. කෙල්ලගේ පිටිපස්සෙන් ගියා... ඊට පස්සෙ මන්නෙ කැපෙන්නෙ නැති පැත්තෙන් ඔළුවට පාරක් ගැහුවා. ඒත් එක්කම කෙල්ල සිහිය නැතිව වැටුණා... අන්තිමට මගේ ආසාව ඉටුකරගෙන කෙල්ල කන්දෙන් පල්ලෙහාට විසි කරලා මං ගියා... ඊට පස්සේ වෙච්ච කිසි දෙයක් මං දන්නෙ නෑ සර්...“ යැයි ඔහු කීවේ.
ප්‍රේමසිරි කියන විදිහට ඒ සිද්ධියෙන් පසු සිදුවූ දේවල් කිසිවක් නොදැන සිටියත් මේ වන විට සියල්ල සිදුවී හමාරය. 13 වසරකට පෙර එම අපරාධය සිදුකොට තවත් ඝාතනයක්ද සිදුකර ඇති මෙකී අපරාධකරුට නීතියෙන් ලැබිය යුතු උපරීම දඬුවම් කල්ගත වී හෝ හිමි විය යුතුමය.
රත්නපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි සේනක වීරසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 2 අතුල ලෙවන්ගම ගේ අධීක්ෂණයෙන් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වාගේ මෙහෙයවීමෙන් පාලන අංශයේ ස්ථානාධිපති එම්. ජී. උදයශාන්ත කොස්තාපල්වරුන් වන 86346 දිසානායක සහ 88011 දිසානායක යන නිලධාරිහු විමර්ශන සිදු කරති.
ඡායාරූප - කේ. ඒ. සුනිල් - කුරුවිට