මිද්දෙනියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනය පිටුපස අබිරහස | සිළුමිණ

මිද්දෙනියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනය පිටුපස අබිරහස

 ඇට සුද්දා සහ චූටි පොලිස් අත්අඩංගුවේ

 කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 10යි

 

පසුගිය කාලයේ සිදු වූ මිනිස් ඝාතන රැසක සුලමුල සොයා ගන්නට පොලිසියට වැඩි කාලයක් ගත වූයේ නැත. අපරාධකරුවන් කොතරම් සැලසුම් කර අපරාධ සිදු කළ ද, නීතියේ රැහැනට හසුවීම නම් වැඩි ඈතක් නොවන බව පොලිසිය මේ වන විට පෙන්වා දී ඇත්තේය. ඇතැම් සැලසුම් සහගත මිනිස් ඝාතන ද ඇතැමුන් පාතාලය වෙත බැර කරන්නට ක්‍රියා කරන බවක් ද පෙනී යයි. ඇතැමුන් අපරාධකරුවන් කවුද? යන්න අනාවරණය නොවුණද කල් තියාම ඒවා පාතාල කල්ලිවලට බැර කරන්නට කටයුතු කරන්නේ විමර්ශනවලට ද බාධා පමුණුවමිනි. සංවිධානාත්මක පුද්ගලයන් මෙන්ම විමර්ශන සිදු කරනු ලබන ඇතැම් පොලිස් නිලධාරින් ද එසේ ක්‍රියා කළ ද සත්‍ය යටපත් නොවී ඉස්මතු වන්නේ බොහෝ පොලිස් නිලධාරින් තම රාජකාරිය හරිහැටි ඉටු කරන නිසාමය. එසේ සැඟවීමට උත්සාහ කරන ලද තවත් ඝාතනයක් වන්නේ ඉකුත් ජුනි මස 26 වැනි දින මිද්දෙනිය ප්‍රදේශයේ මල් ශාලාවක හිමිකරු වූ ජයසිරි ප්‍රභාත් මංජු නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනයයි.

මිද්දෙනියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන 54 හැවිරිදි 'ඇට සුද්දා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කෝටිපති ව්‍යාපාරිකයා ද මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේය. එසේ ඝාතනය සිදු කිරීමට පැමිණි ‘වැගන් ආර්‘ වර්ගයේ මෝටර් රථය පැද වූ රියදුරු ද, සිද්ධියට සම්බන්ධ බවට සැක කරන තවත් පුද්ගලයකු ද ඉකුත් දා අත්අඩංගුවට පත් වූහ. ඝාතනයේ සුලමුල එකිනෙක දිගහැරුණේ අබිරහසක් වසන් කිරීමට ඉඩක් නැති බව සහ මුදල් විසිකර හෝ මිනිස් ඝාතනයක තොරතුරු සඟවන්නට උත්සාහ කළද, එය එසේ සිදු නොවන බව මේ සිද්ධියට සමාජයට කියා ඇත්තේය.

මල් ශාලා හිමිකරුගේ ඝාතනය කල් තියා සැලසුම් කළ එකකි. ඉකුත් ජුනි 26 වැනිදා මල් ශාලා හිමිකරු වූ මංජු ඇඹිලිපිටිය මිද්දෙනිය පාරේ තම මල් ශාලාවට පැමිණියේය. වේලාව පෙරවරු 9.00 ට පමණ වන්නට ඇත. ඔහු ඝාතනය කරන්නට මාන බලමින් සිටි වෙඩික්කරු මෝටර් රථයෙන් පැමිණියේය. මංජුට වෙඩි පහර එල්ල විය. එතනම ඇද වැටුණු ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කරන විට ද මෙලොව හැර ගොසිනි. ප්‍රභාත් මංජු දරුවන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ 10 වැන්නාය. 54 වැනි වියෙහි පසු වූ ඔහු මිද්දෙනිය මෙන්ම වැලිගම ද මල් ශාලාවක හිමිකරුය. මංජුගේ ඝාතනය ගැන මිද්දෙනිය පොලිසිය මඟින් පරීක්ෂණ පැවැත්වුවද, දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්නගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්නගේ මඟ පෙන්වීමෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මේ ඝාතනයේ විමර්ශන පැවරිණි. එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ලාල් ඊට නායකත්වය ලබා දුන්නේය.

පළමුව සී.සී.ටී.වී. විමර්ශන තුළින් ඝාතකයන් සොයා යන්නට පොලිසිය දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළේය. එහිදී සුදු පාට වැගන් ආර් රථයක් ගමන් කර ඇති අයුරු හඳුනා ගත් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමේදී එම රථයේ අංක තහඩුවේ ද කොටසක් වැසෙන සේ ස්ටිකරයක් ඇලවී තිබෙන අයුරු ද පොලිසිය හඳුනා ගත්තේය. තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙද්දී එකිනෙක තොරතුරු දිගහැර ගන්නට පොලිසියට හැකි විය. පසුව මෙම වෑන් රථය කුලියට ලබා දෙන තැනකින් ලබා ගත් එකක් බවත් කුලී පදනමකින් ලබා ගත් එම වෑන් රථය බාර දී ඇති බවත් හෙළි වී ඇත්තේය. අනතුරුව වෑන් රථය ලබා ගත් පුද්ගලයාගේ හැඳුනුම්පතේ කොපියක් ලබා ගත් පොලිසිය එය විතාරන්දෙනියේ ‘මද්දු‘ නමැති පුද්ගලයකුගේ බව හෙළිකර ගත්තේය. මෙහිදී මද්දු ඇසුරු කළ චූටි නැමැත්තෙකු පිළිබඳව ද බුද්ධි නිලධාරින්ගේ අවධානය යොමු විය. මෙසේ දිගින් දිගටම සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව 'චූටි' නමැත්තා අත්අඩංගුවට ගැනිණි. ඔහුගෙන් ලබා ගත් තොරතුරු වලින් මෙම ඝාතනය සිදු කරන ලද්දේ 'චූටි' සහ මද්දු විසින් බව හෙළිකර ගැනීමට පොලිසියට හැකි විය.

පසුව තිස්සමහාරාම ප්‍රදේශයේදී ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලෙස පොරොන්දු වූ රුපියල් ලක්ෂ 10ක මුදල ව්‍යාපාරිකයාගෙන් ලබා ගෙන සමව ඔවුන් අතර බෙදා ගත් බව ද හෙළි වී ඇත. පසුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මංජුට වෙඩි තබන ලද ටී 56 තුවක්කුව සහ පතරොම් 17 ද සොයා ගැනීමට පොලිසියට හැකිවිය. අනතුරුව සැඟවී සිටි මද්දු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර 'චූටි' නමැත්තා කල් වේලා ඇතිව අත්අඩංගුවට පත්වුවද, කෝටිපති ව්‍යාපාරිකයා මෙන්ම මෙම ඝාතනයේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වන 'මද්දු' සොයා පොලිස් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඒ වන විට කෝටිපති ව්‍යාපාරිකයා ද අතුරුදන්ව සිටියේය. පොලිසිය මඟ හරමින් සිටි මද්දු ද විතාරන්දෙනිය ප්‍රදේශයේ නි‍ෙවසක සිටියදී අත්අඩංගුවට ගත්තේ පොලිස් නිලධාරින් පිරිසක් සිවිල් ඇඳුමෙන් සැරසී ගම්මානයේ කරන ලද මෙහෙයුමේදීය. මෙහිදී මෙම ඝාතනයට චූටි සහ මද්දු ගමන්ගත් යතුරුපැදිය ද විතාරන්දෙනිය නිවෙසේ තිබී සොයා ගැනිණි. ඉන් අනතුරුව මෙම ඝාතනයේ කොන්ත්‍රාත්තුව දුන් බව කියන කෝටිපති ව්‍යාපාරිකයා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය. 54 හැවිරිදි වියේ පසු වූ මෙම ව්‍යාපාරිකයා දරුවන් සිවුදෙනෙකුගේ පියෙකි. පොලිසිය මේ ඝාතනයට කොන්ත්‍රාත් දුන් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. ඉකුත් 09 වැනිදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ඔහු බාර වූයේය. එසේ බාර වූයේ ද නීතිඥයන් කිහිපදෙනෙකු සමඟය. සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබුණේය. අනතුරුව යළිත් වලස්මුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙසේ ඝාතනය වූ ප්‍රභාත් මංජුගේ මල් ශාලාව කලින් පවත්වා ගෙන ගියේ ඔහුගේ නිවෙසේමය. සැකකාර ව්‍යාපාරිකයා පදිංචිව සිටියේ ද අදාළ නිවස ආසන්නයේමය. නිවස අසල මල් ශාලාවක් පවත්වාගෙන යාමට කැමැත්තක් නොදැක්වූ ව්‍යාපාරිකයා කාලයක පටන් මංජු සමඟ අමනාපයෙන් පසුවී ඇත්තේය. එහෙත් පසුව මංජු මිද්දෙනිය නගරයට මල් ශාලාව රැගෙන ගියේය. ඝාතනයට ආසන්නතම සිදුවීම වූයේ මංජුගේ පුත්‍රයාගේ මිතුරෙකු කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණියක් අතර පැවති පෙම් සබඳතාවකි. එකී සිදුවීම ඉකුත් වසරේ ආරම්භයේ සිදු වූවකි. එක් දිනක් හදිසියේම ව්‍යාපාරිකයා සිය නිවසට පැමිණෙන අතර එහිදී කර කියා ගත නොහැකි වූ මේ පෙම්වතුන් ආසන්නයේ ඇති මංජුගේ නිවෙසේ සැඟවෙන්නේය. මෙය සිදුවන්නේ මංජු හෝ පවුලේ අය ද නොදැනුවත්මය. පසුව මෙම පෙම්වතුන් දෙදෙනා පලා ගොස් ඇති අතර මේ සිද්ධියත් සමඟ යළිත් ව්‍යාපාරිකයා සහ මංජුගේ පවුලේ අය අතර මතභේද තව තවත් වර්ධනය විය. මේ සිද්ධියෙන් පසුව අවස්ථාවන් කිහිපයකදීම ගැටුම් ඇති වී තිබිණි. එක් අවස්ථාවක මංජුගේ බිරියට ඇට සුද්දා පහර දුන් අතර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවාය. මේ සම්බන්ධ ව පැමිණිලි පොලිස් පොතේ ද සටහන් වූයේය. මේ ඝාතනයේ සැකකරුවන් වන 'ඇට සුද්දා' බන්ධනාගාරගතව සිටී. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ තවත් අයකු ද සාක්ෂි නොමැති වීම හේතුවෙන් නිදහස් විය. මෙම පුද්ගලයාට ද පෙර වැරදි කිහිපයකි. ඔහු ද ඉකුත්දා වෙඩිකා ජීවිතක්ෂයට පත්විය.

Comments