කොළඹ ගෙවල් කඩා රුපියල් කෝටි දෙකක පරණ බඩු ඉස්සූ ‘බෝම්බ රසාක්’ | සිළුමිණ

කොළඹ ගෙවල් කඩා රුපියල් කෝටි දෙකක පරණ බඩු ඉස්සූ ‘බෝම්බ රසාක්’

 

ඓතිහාසික වටිනාකමකින් යුක්ත පෞරාණික භාණ්ඩයක් නිවසක තැන්පත් කරන්නෙ එම නිවසට සහ නිවැසියන්ට ගෞරවයක් ලැබෙන බවට මෙරට ජනතාව තුළ අනාදිමත් කාලයක සිට පැවත එන විශ්වාසයක් නිසාය.

රන් රිදී මුතු මැණික් සේම තඹ පිත්තල භාණ්ඩ ද අපේ රටේ ජනතාව ආරක්ෂා කරන්නේ මහත් අභිමානයෙනි. සංචාරක ආකර්ෂණය පවා දිනා ගත හැකි මෙවන් උපකරණයක් කිසියම් කෙනෙක් හොරකම් කළොත් ඒවා පණ වාගේ රැකගන්න අයට දැනෙන්නේ අනන්ත අප්‍රමාණ දුකකි.

එවන් සිදුවීම් කිහිපයක් පසුගිය මාස කිහිපයේදී කොළඹ දකුණ පොලිස් කොට්ඨාසයේදී සිදු වී තිබිණි . ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය, වැල්ලවත්ත, බම්බලපිටිය, නාරාහේන්පිට යන පොලිස් ස්ථානවලට පැමිණිලි පවා ලැබී තිබිණි. පොලිසිය ඒ ගැන විමර්ශන ආරම්භ කළත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැත.

නිවාස පහක තිබූ රාජධානි යුගවල පවා භාවිත කළ බවට විශ්වාස කළ හැකි එසේම මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ ඒ අතර තිබිණි. මේවා කිසියම් අයකු විසින් සොරකම් කර තිබුණු අතර ඊට අමතරව රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුක්ත රන් භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, කාර්මික උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්ද මෙලෙස සොරකම් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිසිවලට පැමිණිලි කළත් සැකකරු කවුරුන්දැයි හරියටම අනාවරණය කරගෙන විමර්ශන අවසන් කිරීමට එම නිලධාරීන්ට හැකියාව ලැබී තිබුණේ නැත. ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මෙවැනි නොවිසඳුණු අපරාධ කඩිනමින් විසදීම සඳහා නිලධාරින් කැඳවා උපදෙස් ලබා දුන්නේය. කොළඹ දකුණ කොට්ඨාසයේ අංක 01 සහකාර පොලිස් අධිකාරී කීර්තිරත්නගේ අධීක්ෂණයෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර සිය කණ්ඩායම මෙහෙයවමින් උප පොලිස් පරීක්ෂක මෙරීනෝට විමර්ශන කටයුතු බාර දුන්නේ ඉතා ඉක්මනින්ම මේ සොරකම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

ඒ අනුව පෞරාණික භාණ්ඩ සහ දේපළ සොරාගත් සිද්ධින්වලට සම්බන්ධ නිවෙස් අවට සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිවල රූප රාමු ලබා ගත් උපපරීක්ෂක මෙරිනෝ විමර්ශන ආරම්භ කෙළේය.

අවට සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී දැක පුරුදු පුද්ගලයකුගේ රුවට සමාන රුවක් උප පරීක්ෂක මෙරීනෝට නීරීක්ෂණය විය. පසුව ඒ බව ස්ථානාධිපතිවරයා දැනුවත් කළ උප පොලිස් පරීක්ෂක මෙරිනෝ ඇතුළු නිලධාරින් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශට ගොස් එහි නිවසක් පරික්ෂා කරන ලදි. ඒ අවස්ථාවේදී සී.සී.ටී.වී දර්ශනවල සිටි පුද්ගලයෙක් එම නිවසේ සිට ඇති අතර ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔහු ලබා දුන් පරස්පර ප්‍රකාශ නිසා සැකකරු අත්අඩංගුවට ගැනිණි.

සැකකරු "බෝම්බ රසාක් " නමින් ප්‍රසිද්ධව සිටින පුද්ගලයෙකි. ඔහුට මේ නම පැටබැඳී ඇත්තේ කෙලෙස දැයි ඔහුවත් නොදනී. බෝම්බ රසාක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට රැගෙනවිත් ප්‍රශ්න කැරිණි. එහිදී ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී පසුගිය මාස තුනක් පමණ කාලය තුළ සිදු කළ සොරකම්වල තොරතුරු එකින් එක හෙළි විය.

ඒ අනුව සොරකම් රැසක තොරතුරු අනාවරණය කර ගැනිණි. ඊට අමතරව මෙම පුද්ගලයා මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකා ඇති බවද හෙළි විය. මොහු මේ සොරකම් සිදු කර ඇත්තේ තනිවමය. පෝර උරයක් අතැතිව දිනපතා මහ පාරට බහින රසාක් වසා තිබෙන නිවෙස්වලට ඇතුළු වී එහි ජනේලයකින් හෝ වහලයෙන් නිවසට ඇතුළු වී එහිදී පෝර උරයක දමාගෙන යා හැකි අතට හසුවෙන සෑම දෙයක්ම සොරාගෙන පලා යන බව පොලිසිය කළ මූලික විමර්ශන වළදී හෙළි විය.

ඔහු ඒවා රැගෙන ගොස් ඇත්තේ මාලිගාකන්දේ "උක්කුවා " ළඟට හෝ මාලිගාකන්ද ආර්.බී. වත්තෙ පදිංචි තවත් අයකු ළඟට බවද හෙළි විය. ඔවුන් දෙදෙනා සොච්චම් මුදලක් මොහුට දී එම භාණ්ඩ මිලයට ගන්නා බව අනාවරණය විය. පසුව ඒ මුදලින් "බෝම්බ රසාක්" හෙරොයින් පානය කරන අතර ඉතිරි මුදලින් තමන්ගෙ මවට අවශ්‍ය බඩු මුට්ටු ලබා දී ඇති බවද හෙළි විය.

මේ තොරතුර අනුව මාලිගාකන්දේ "උක්කුවගේ " සහ ආර්.බී. වත්තේ සෙසු පුද්ගලයාගේ නිවෙස්වලට ගොස් පරීක්ෂා කිරීමේදී උණු කළ රන් පවුම් විස්සක්, කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක්, ඔටුවකුගේ අනුරුවක්, මිල කළ නොහැකි තඹ කාසි 2120, මුදලින් රුපියල් ලක්ෂ දහයක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිසියට සමත් විය.

ඊට අමතරව ඇපල් සහ විවිධ වර්ගවලට අයත් මිලෙන් අධික ස්මාර්ට් ජංගම දුරකතන 120, ටැබ් පරිගණක 14, ලැප්ටොප් 06, විදේශ ගමන් බලපත්‍ර තුනක්, බැංකු කාඩ්පත් විසිහතරක්, අත් ඔරලෝසු 179, වාහන බැටරි 03, අඟල් 54 එල්.ඊ.ඩී රූපවාහිනියක්, ඩිජිටල් කැමරා 13, රූපලාවණ්‍ය උපකරණ තොගයක්, වැඩ බිම් උපකරණ තොගයක්, මිල කළ නොහැකි පිත්තල හා තඹ භාණ්ඩ තොගයක්, මිල කළ නොහැකි විවිධ කාසි 2120, උණු කළ රන් පවුම් විස්සක්, කැරට් 24 රන් ආලේපිත පෞරාණික පීරිසියක්, ඔටුවකුගේ අනුරුවක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මෙම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධිකයි. එහෙත් පෞරාණික භාණ්ඩ වල වටිනාකම මිල කළ නොහැකිය.

වැල්ලවත්ත බම්බලපිටිය කොල්ලුපිටිය සහ නාරාහේන්පිට යන පොලිස් වසම්වල ස්ථාන පහකින් සොරාගත් භාණ්ඩ සහ වෙනත් 'ප්‍රදේශවලින්' සොරාගත් භාණ්ඩත් ඒ අතර තිබිණි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තවත් සොරකම් රැසක් සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයට අවශ්‍යව සිටි පුද්ගලයෙකි. එසේම මීට පෙර සිදු කළ කොල්ලකෑම් සම්බන්ධයෙන් දැනට ඔහුට විරුද්ධව නඩු කිහිපයක් අධිකරණයේ පවතින අතර ඔහු මෙරට ලියාපදිංචි අපරාධකරුවකු ලෙසද නම් කර සිටින අයෙකි.

මෙම භාණ්ඩවල හිමිකරුවන් අනාවරණය කර ගැනීම පවා පොලිසියට ප්‍රශ්නයක්ව පවතී. එහෙත් අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම භාණ්ඩ නියම හිමිකරුවන්ට ලබාදීමට පොලිසිය තීරණය කර ඇත.

කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රිගේ උපදෙස් මත කොට්ඨාස අංක 1 සහකාර පොලිස් අධිකාරී කීර්තිරත්නගේ අධීක්ෂණයෙන් කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාරගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.කේ.ඩී.බී. මෙරීනෝ, කොස්තාපල්වරුන් වන 30861 විපුලසේන, 67027 ප්‍රනාන්දු, 88651 හේරත්, 73389 තාරක, 68039 මාලිංග, 26024 කුමාර, 34021 බණ්ඩාර, 36597 මධුශංක, කාන්තා කොස්තාපල් 11358 ගයේෂා, 11522 චතුරිකා, 11868 සංජීවනී, කොස්තාපල් රියදුරු 99023 වර්ණකුලසූරිය යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

Comments