අඹුසැමි හබය විසඳන්න ගිය වත්තල ඥාති කතයි පුතයි | සිළුමිණ

අඹුසැමි හබය විසඳන්න ගිය වත්තල ඥාති කතයි පුතයි

 

පිලිස්සී මිය ගිහින් සැකකරු රෝහලේදී අත්අඩංගුවට

බිරිය සමඟ ආරවුලේදී සැමියා නිවෙසට ගිනි තියලා

 

ඇතැම් පවුල්වල සැමියා සහ බිරිය අතර ඇති වන ආරවුල් සමථයකට පත් කිරීමට ඉදිරිපත් වන පවුලේ ඥාතීන් එම ආරවුල් දුරදිග යෑමේදී ඝාතනයට ලක් වීමේ සිදුවීම් ගැන පසුගිය කාලයේ ප්‍රවෘත්ති රැසක් වාර්තා විය.

වත්තල, ගවර්ස් පෙදෙස ඒ.එස්.පී. ලියනගේ මාවතේ දෙමහල් නිවසකට ඉකුත් සැප්තැම්බර් මස 12 වන දින ඇතුළු වූ පුද්ගලයකු එම නිවෙසට ගිනි තැබීම නිසා එම නිවසේ සිටි ඥාති කාන්තාවක් සහ 20 හැවිරිදි ඥාති තරුණයකු මියගොස් ඇති බව වත්තල පොලිසියට වාර්තා වන්නේ පසුගියදාය.

ඉන් ශ්‍රී සිද්ධාර්ථ පාර, කිරුළපන, කොළඹ 05 පදිංචි දෙදරු මවක් පනස් හත් හැවිරිදි පිච්චේකාරන් වසන්තා කුමාරි නමැති කාන්තාව සහ විසි හැවිරිදි කිෂෝ කුමාර් යන අය ජීවිතක්ෂයට පත් වූහ. ක්‍රිෂෝ කුමාර් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර දින හතරක් ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙසේ මරු මුවට පත් විය. මේ සිද්ධියෙන් මිය ගිය දෙදෙනා ආරවුලක් විසඳීමට උත්සාහ කිරීමේදී පිලිස්සීම නිසා ජීවිතක්ෂයට පත්වී ඇති බව ද හෙළි විය.

මේ අපරාධය සිදු කළ බව කියන නාවලපිටිය, අඹගස්තලාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සැකකරු ඔහුගේ බිරිය සමඟ විවාහ වී නාවලපිටිය, අඹගස්තලාව ප්‍රදේශයේ ජීවත්වී ඇත. එම යුවළට දියණියන් දෙදෙනෙකු සිටී. සැකකරු දියණියන් කුඩා අවදියේ සිටම බීමත්ව බිරිය සමඟ දිගින් දිගටම ආරවුල් ඇති කරගෙන ඇති බවට පොලිසියට තොරතුරු හෙළිවී ඇත. මේ සැකකරු විසින් මත්පැන් පානයට අවශ්‍ය මුදල් ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් ණය වශයෙන් ලබාගෙන එම මුදල ගෙවීමට නොහැකි වීම නිසා බිරිය සමඟ නොයෙක් අවස්ථාවල ගැටුම් ඇති කර ගෙන ඇති බවටත් අනාවරණය වේ.

මේ සැකකරුගේ වැඩිමල් දියණිය වත්තල, ගවර්ස් පෙදෙස, ඒ.එස්.පී. ලියනගේ මාවතේ පදිංචි අයකු සමඟ විවාහ වී ඇති අතර ඔහු මිරිස් සහ තුනපහ කුඩු විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකි. සැකකරු සහ ඔහුගේ බිරිය අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් බිරිය සිය වැඩිමහල් බෑණාගේ නිවසේ මාස හයක පමණ කාලයක සිට වාසය කර තිබේ. එම කාලයේදී මෙම සැකකරු ද එම නිවසේ පදිංචිව සිට ඇති අතර පසුව සිය ගම් ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවකි.

මෙම සිද්ධිය වූ දින සැකකරුගේ බිරිය සිය බෑණාගේ නිවසේ සිට ඇත. සැකකරු බිරියට තම නාවලපිටිය අඹගස්තලාව සිය නිවසේ වාසයට පැමිණෙන ලෙස වරින් වර දන්වා තිබුණත් බිරිය එය ප්‍රතික්ෂේප කිරීම නිසා සැකකරු දැඩි කෝපයෙන් සිට ඇත.

මෙදින සැකකරු සිය බෑණාගේ නිවසට පැමිණ බිරිය සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇත. පසුව සැකකරු එම නිවසට පැන නිවසේ ප්‍රධාන ජල කරාමය වසා ඇත. ඉන්පසු සැකකරු එම නිවසට ඇතුළුවී තම බෑණාගේ අතට පිහියෙන් ඇන තුවාල කර නිවසට ගිනි තැබීම සිදුකර ඇත. එහිදී එම නිවසේ තිබූ ලීටර් 5ක පෙට්‍රල් බූලියක් ගෙන එය නිවසට ඉස මෙම ගිනි තැබීම සිදු කර ඇති බව පොලිසීය කළ මූලික විමර්ශනවලදී හෙළි විය. සැකකරුගේ බෑණා සහ දියණිය මේ පිළිබඳව පැමිණිලි කිරීමට වත්තල පොලිසියට ගියේය. පසුව මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 ඔස්සේ වත්තල පොලීසියට ඇමතුමක් ලැබී ඇති අතර පසුව පොලිස් නිලධාරින් මෙම සිද්ධිය වූ නිවසට ගොස් තිබේ. එහිදී එම ස්ථානයට පැමිණි කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථයේ නිලධාරින් වත්තල පොලීසියේ නිලධාරින් සමඟ එක්ව ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කළහ. එහිදී බරපතළ තුවාල ලැබ සිටි ඥාති කාන්තාව නිවසේම මිය ගොස් ඇති බව සිදු කළ විමර්ශනවලදී හෙළි විය. මෙම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ 20 හැවිරිදි ඥාති පුත්‍රයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලීසියට හැකිවී නොමැත. සැකකරු විසින් එම නිවසට ඇතුළුවීමේදී ප්‍රධාන ජල කරාමය වැසීම හේතුවෙන් ගින්න නිවීමට ජලය ලබා ගැනීමට නොහැකි වීම නිසා මෙම ගින්න පැතිරීමට හේතු වී තිබේ.

පසුව මෙම සිද්ධිය වූ ස්ථානයට පැමිණි වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත් හිලේරියන් ගුණවර්ධන කාන්තාවගේ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කෙළේය. පසුව රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ලක්මාල් සමන්පුර මෙම සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණ පරික්ෂා කර බලා මෙම සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර මෙය ගිනි තැබීම නිසා සිදුවූ ඝාතනයක් බවට නිගමනය කළේය. මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී පැවැත්වූ අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙම සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ගිනි ගැනීම හේතුවෙන් සිරුරට සිදුවූ හානි නිසා මෙම මරණය සිදුවී ඇති බවට නිගමනය කළේය.

සැකරුගේ බිරිය වන නාවලපිටිය, අඹගස්තලාව ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන අරුමුගම් සෙල්වනායගී (50) නමැත්තිය පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් මෙසේ පවසා තිබේ.

"මම සැමියා සමඟ විවාහ වී වසර 21ක කාලයක් ‍වෙනවා. මට දියණියන් දෙදෙනෙකු සිටිනවා. දරුවන් කුඩා කලසිටම සැමියා මා සමඟ නිතර ආරවුල් ඇති කර ගත්තා. මේ පිළිබඳව තලවකැලේ සහ හැටන් යන පොලිසිවලට පැමිණිලි ඉදිරිපත් කර තියෙනවා. පසුව ලොකු දුව විවාහ වී බෑණාගේ නිවස වන මෙම නිවසට පැමිණ වාසය කළා.

පසුව මාත් සැමියාත් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් බෑණාගේ නිවසේ මාස හයක පමණ කාලයක සිට වාසය කළා. සැමියා ටික කලක් මෙහි වාසය කර පසුව ඔහුගේ ගම් ප්‍රදේශයට වාසය කිරීමට ගියා. සැමියා කසිප්පු පානයට දැඩි ලෙස පුරුදුව සිටියා. ඔහු ඒ සඳහා විවිධ පුද්ගලයන්ගෙන් ණයට මුදල් ඉල්ලා ගැනීමට කටයුතු කළා. පසුව ණය ගෙවීමට අවශ්‍ය මුදල් මගෙන් ඉල්ලා ආරවුල් ඇති කර ගත්තා. මෙම සිද්ධිය වූ දින සැමියා මා සමඟ ආරවුලක් ඇති වීමෙන් පසු මේ සිද්ධිය සිදු වුණා."

සැකපිට අත්අඩංගුවට ගත් නාවලපිටිය, අඹගස්තලාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම ස්ථානයට පැමිණි වැලිසර මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් කිරීමට නියම කර තිබේ.

වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සීලෝගමගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන සේනානායක හේරත්, සැරයන් (41251) නලින්ද, කාන්තා සැරයන් (2127) සුනේත්‍රා, කොස්තාපල්වරුන් වන (86074) පතිරණ, (88667) කුමාර, (71164) නලීන්, (94048) රණවීර, (46128) එදිරිසිංහ යන නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

 

 

Comments