
තවත් සොයුරෙක් රෝහලේ
අකුරැස්ස තලහගමින් ඇසුණු කඳුළු කතාවක්
එකට කා බී 'මත්වූ' එක කුස උපන් සහෝදරයන් දෙදෙනෙක් විරසක වී මොහොතකින් එක් සහෝදරයකුට දිවියෙන් සමුගැනීමට සිදු වූ පුවතක් බිනර පෝ දින අකුරැස්ස, තලහගම, මාදොළ ගම්මානයෙන් වාර්තා විය. මේ සිද්ධියත් සමඟ ප්‍රදේශවාසින් කම්පාවට පත් වූයේ එය අදහා ගැනීමටත් නොහැකි සිද්ධියක් වූ බැවිනි.
හයදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් සහෝදරයා විසින් තම එකකුස උපන් බාල සහෝදරයාට එල්ල කරන ලද පිහි පහරවල් තුනකින් බාල සහෝදරයා සදහටම දෙනෙත් පියා ගත්තේ කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ එම පවුලේ තෙවැන්නා වූ සැම්සන් ප්‍රියන්ත ගොගර්ලිය. ඔහු වෘත්තීයෙන් පෙදරේරුවෙකි.
ප්‍රියන්ත 47 හැවිරිදි අයෙකි. දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි. පළමු විවාහයෙන් වෙන් වී සිටින ඔහු මීට වසරකට පමණ පෙර මී උණ රෝගයකින් සැමියා මියගිය තිදරු මවක් සමඟ අඹු සැමියන් ලෙස අරුග්ගොඩ, අළුබෝමුල්ල, පාණදුර ලිපිනයේ නිවෙසක පදිංචිව සිටින්නේ වර්තමාන බිරියගේම නිවසෙහිය. එම කාන්තාවගේ සැමියා මිය යාමෙන් අනතුරුව ඇයට ඇතිවූ ආර්ථික අපහසුකම් මධ්‍යයේ ඇය තම පිරිමි දරුවන් දෙදෙනා විහාරස්ථානයකටත් දියණිය ඇගේ මවටත් බාර දී ප්‍රියන්ත සමඟ නීත්‍යානුකූලව විවාහ නොවුවත් අඹු සැමියන් ලෙස ජීවත් වන්නීය.
මේ දිනවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු අඩාළව පවතින බැවින් ප්‍රියන්ත මීට සති දෙකකට පමණ පෙර සිය බිරිය සමග අකුරැස්සේ, තලහගම පිහිටි ඔහුගේ මව සහ පියා පදිංචිව සිටින මහ ගෙදරට පැමිණෙන්නේ ආර්ථික අපහසුකම් මඳකට හෝ සමනය කර ගැනීමේ අපේක්ෂාවෙනි. ඔහුගේ අනෙක් සහෝදරයාද මහගෙදර පදිංචිව සිටින්නේ 14 හැවිරිදි පුත්‍රයා සමඟය. ඔහුගේ භාර්යාව රැකියාවක් සඳහා විදේශගත වී සිටින්නීය.
ඉකුත් 10 වෙනි දින සැකකරු කිරි , ඇඳුම් පැලඳුම් , රූපවාහිනි යන්ත්‍රයක් සහ අරක්කු බෝතලයක්ද රැගෙන නිවස වෙත පැමිණ තිබිණි. ඇඳිරි වැටී ගෙන ආවත් පෝය දින සඳ එළිය මනාව මහ ගෙදරට උඩින් වැටී තිබීම එළිමහනේ සිට මධුවිත පානයට මහත් රුකුලක් වී තිබෙන්නට ඇත. ප්‍රියන්තගේ වැඩිමල් සහෝදරයා, ප්‍රියන්ත සහ අනෙක් සහෝදරයාද තවත් ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකුද මහගෙදර මිදුලේ මධුවිතෙන් සන්තර්පණය වී සිටියේ පැරණි මතකයන්ද අවදි කරමිනි. මත්පැන් පානය කළ 'ලොකු අයියා' මඳ වේලාවකින් මහගෙදර ආසන්නයේ කන්දේ පිහිටි තම නිවස වෙත ගොස් තිබුණත් සහෝදරයින් හෝ මිතුරන් දෙදෙනා ඔහු හදිසියේ නිවසට යාම පිළිබඳව කිසිම තැකීමක් නොකර අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ පැරණි මතකයන් ආවර්ජනය කරමිනි.
පිරිස 'මධුවිත' පානය කරමින් සිටියදී ප්‍රියන්තගේ වත්මන් බිරිය ඔවුනට රාත්‍රී ආහාර පිළියෙල කිරීම සඳහා මුළුතැන්ගෙය වෙත ගොස් සිටියාය. සුළු වේලාවක් ගත වෙද්දී වැඩිමහල් සහෝදරයා ප්‍රියන්තට තම නිවසට පැමිණෙන ලෙස කතා කර ඇති බැවින් ප්‍රියන්තද කඩිනමින් එම නිවස වෙත ගොස් තිබිණි.
ප්‍රියන්ත ලොකු අයියාගේ නිවසට ගොස් සුළු වේලාවකින් මහා හයියෙන් කෑගසන හඬත්, යමෙකුට පහර දෙන ශබ්දයත් ඇසුණු ප්‍රියන්තගේ බිරිය රූපවාහිනිය නරඹමින් සිටි මහගෙදර පදිංචිව සිටි අනෙක් සහෝදරයාගේ පුතාව ඉක්මනින් සිද්ධිය කුමක්දැයි බලාගෙන ඒමට එම නිවස දෙසට පිටත් කර යැවීය.
'ලොකු තාත්තාගේ' නිවස වෙත ගිය පුතාට 'උඹ පලයං' යන්න කියා බැණ වැදී තිබුණු අතර බාප්පාගේ බඩේ ලේ ගලන බවත් පිහියෙන් ඇන තිබෙන බවත් පුත්‍රයා ප්‍රියන්තගේ බිරියට පැවසූයෙන් ඇයද කෙටි පාරකින් වහ වහා එම නිවස වෙත දිව ගියාය.
එකම බෝතලයෙන් මත්පැන් පානය කළ අනෙක් සහෝදරයාද මේ සිද්ධිය ආරංචි වී එම නිවසට දිව ගිය අතර සැකකාර සහෝදරයා විසින් ඔහුටද පිහි පහරක් එල්ල කර තිබිණි. ඔහුද තුවාල ලබා යළි මහගෙදරට දිව ආවේ කුමක් සිදුවුණි දැයි අදහාගන්නට නොහැකිව අවසිහියෙන් මෙනි.
කොට කලිසමකින් සැරසී සිටි ප්‍රියන්තට පිහි පහරවල් දෙකක් බඩට වැදී තිබිණි. ප්‍රියන්ත වත්තම් කරගෙන පහළ මහගෙදර ළඟට බිරිය විසින් රැගෙන එමින් සිටිය දී යළිත් ප්‍රියන්ත ලොකු අයියාගේ නිවසට යන්නට පියවර මැන්නා පමණි, එසැණින් විදුලි පන්දමක්ද දල්වාගෙන පැමිණි ලොකු අයියාගේ අතේ තිබුණු පිහියෙන් ප්‍රියන්තගේ පපුවට පහරක් එල්ල විය. ප්‍රියන්ත මහා හයියෙන් කෑගසමින් කෙසෙල් කඳක් මෙන් බිම පතිත විය. බිරිය ඉතා අපසුවෙන් ඔහු ඔසවා ප්‍රියන්තගේ ලොකු අයියාගේ පුතාට අයත් ත්‍රිරෝද රථයට ගොඩ කළේ හඬා වැළපෙමිනි. අසල්වැසියන් කිහිප දෙනෙකුද පැමිණ ඔවුනට උදව් කරමින් ප්‍රියන්ත ඉක්මනින් රෝහලට ගෙන යන්නට ඉඩ හසර සැලසූහ. ප්‍රියන්තගේ මවද කිසිවක් සිතා ගන්නට නොහැකිව එම ස්ථානයේ හඬා වැළපෙමින් සිටියේ තම පුතුට සිදුවූයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකිවූ අයුරිනි. තුවාල ලැබූ අනෙක් සහෝදරයාද නංවාගෙන කඹුරුපිටිය රෝහල බලා ත්‍රිරෝද රථය එක පිම්මේ ඉගිළුණේ විදුලි වේගයෙනි. තුවාල වූ දෙසොහොයුරන් කඹුරුපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් රෝහල්ගත කර තිබිණි.
රෝහලට ඇතුළත් කර සුළු වේලාවක් ගත වෙද්දී ප්‍රියන්ත මෙලොව හැර ගොස් තිබිණි. තුවාල ලබා සිටින අනෙක් සොයුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කරන ලද මූලික පොලිස් පරීක්ෂණවලදී ඉහත කරුණු සියල්ල අනාවරණය කරගෙන තිබුණි. ප්‍රියන්තගේ මරණ පරීක්ෂණය 11 වෙනි දින මොරවක මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වන ලදුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යැවීමට නියෝග කෙරිණ.
ප්‍රියන්තගේ පපුවට වැදී ඇති පිහි පහර සෙන්ටි මීටර් 10 ක් පමණ ඇතුළට ගොස් මහා ධමනියට ඇතිවූ බරපතළ තුවාලයෙන් ලේ වහනය වීම සහ කම්පනයෙන් ඔහු මිය ගොස් ඇති බව මාතර අධිකරණ වෛද්‍ය නිලධාරී සී. මහානාම සඳහන් කළේය.
පිහි ඇනුමට අනුබල දීමේ චෝදනාව මත සැකකරුගේ 24 හැවිරිදි පුත්‍රයා අකුරැස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
සැකකරු 13 වෙනි දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත බාර විය. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරාගේ උපදෙස් මත අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එස්. ජයවීරගේ අධීක්ෂණයෙන් අකුරැස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ඩී. ධර්මවර්ධන, උප පොලිස් පරීක්ෂකවරුන් වන ලලිත් නූපේහේවා, ප්‍රියන්ත ජයලත්, අනුර, සැරයන්වරුන් වන 19756 සුගතදාස, 56035 කරුණාතිලක, 39734 නයනජිත් සහ කාන්තා පොලිස් සැරයන් 8668 ප්‍රියදර්ශනී යන නිලධාරීහු විමර්ශන පවත්වති.
මාතර අපරාධ පරීක්ෂණාගාරයේ උප පොලිස් පරීක්ෂක ගීගනගේ , 60830 මහේෂ් 84192 බිනරංග යන නිලධාරී හූ ස්ථානීය පරීක්ෂණයේ යෙදී සිටියහ.