සුදු අයියාගේ මරණයට හේතුව පටිගත කළ සංවාදයෙන් එළියට | සිළුමිණ

සුදු අයියාගේ මරණයට හේතුව පටිගත කළ සංවාදයෙන් එළියට

 

“මට හරි කම්මැළියි මෙහෙම මැච් එක බලන්න... මං යනව හන්දියට... රෙස්ටුරන්ට් එකට ගියාම හොඳට බලා ගන්න පුළුවන්...”

එසේ පැවසූ 'ෂෙල්ටන්' සිය නිවෙසින් පිට වෙන්නේ කිලෝ මිටරයක් පමණ දුරින් ඇති නුගේගොඩ හන්දියේ ඇති 'රෙස්ටුරන්ට්' එකකට යාමටය. ඒ හිතේ හැටියට ක්‍රිකට් තරගය නැරඹීමට හැකි නිසාය. පසුගිය ජුනි මාසයේ ශ්‍රි ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගය පැවති දිනය වන්නේ එදිනයි. ක්‍රිකට් ලෝලියෙකු වන ඔහු මෙම තරගය නිදහසේ නැරඹීමට තෝරා ගත්තේ නුගේගොඩ පරණ ක්වින්ලන් හෝල් එක අසල පිහිටි මෙම රෙස්ටුරන්ට් එකයි.

හැටපස් හැවිරිදි කොළඹගේ ෂෙල්ටන් පීරිස්ට සිටියේ දියණියක සහ පුතෙකි. දියණිය විවාහ වී පදිංචිව සිටියේ එම වත්තේම ඉදි කරගත් නිවෙසකය. රෝගි තත්ත්වයේ පසුවෙන පුතුත් බිරියත් ෂෙල්ටන් සමඟ මෙම නිවෙසේ සිටි බැවින් ඔහුගේ ගමන්බිමන්වලට බාධා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වූවේ නැත. වෙනදාටත් මෙම ගමන ඔහු යන බැවින් එය කිසිවෙකුටත් අමුත්තක් වූවේද නැත.

එහෙත් එදින රාත්‍රියේ ඔහු නුගේගොඩ, ශාන්ත ජෝෂප් පාරේ පිහිටි නොම්මර 42 නමැති තම නිවෙසින් එළියට බැස්සේ නැවත කිසි දින ආපසු නොඑන ගමනක් බව කිසිවෙකුටත් හැගී ගියේ නැත.

දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරිවරයෙකු ලෙස සේවය කළ ඔහුට කවුරුත් ඇමතුවේ 'සුදු අයියා' යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු කා අතරත් ජනප්‍රිය චරිතයක් වූ බැවිනි. සමාජයේ බොහෝ පුද්ගලයින් ඇසුරු කර ඇති ඔහු එම ප්‍රදේශයට සිදු කර ඇති සේවය අතිවිශාලය.

පසුදින උදෑසන පුද්ගලයෙකු දකින්නේ බාර් එක ඉදිරිපිට පාරේ නිදා සිටින ෂෙල්ටන්ය. කාගේ කවුදැයි නොදන්නා ආගන්තුකයා මොහුව අවදි කිරීමට උත්සාහ කළේ පෙර දින රාත්‍රියේ හොඳහැටි බීමත්ව නිදා සිටිනු ඇති බව සිතන අතරය. එහෙත් ඔහු අවදි වෙන පාටක් නොමැති තැන කටයුතු කළේ ඔහුගේ හැඳුනුම්පත මඟින් ලිපිනය සොයා ගෙන දැනුම් දීමටය.

ඔහුගේ දියණිය මිරිහාන පොලිසියට එන්නේ ඒ අනුවය.

ඒ, තම පියා පරණ 'ක්වින්ලන් හෝල්' එක ඉදිරිපිට පාරේ වැටී මිය ගොස් ඇති බව දැනුම් දීමටය. පසුගිය ජුනි 24 දා මිරිහාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරින් විමර්ශන කටයුතු ආරම්භ කරන්නේ ඒ අනුවය. හදිසි මරණ පරීක්ෂවරයා කැඳවා සිදු කළ විමර්ශනයෙන් පසුව කළුබෝවිල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර බිම වැටි හිස වැදීමෙන් සිදු වූ මරණයක් ලෙස දේහය නිවැසියන්ට බාර දෙන්නේ 25 වෙනි දිනය.

කාලය ගෙවි ගියේ දින සති මාස වශයෙනි. ඒ පසුගිය අගෝස්තු මාසයේ 30 වෙනිදාය. ෂෙල්ටන්ගේ දියණිය නැවත මිරිහාන පොලිසියට පැමිණෙන්නේ තම පියාගේ මරණය සැක සහිත බව පවසමිනි. නැවත විමර්ශනයක් සිදු කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය. කිසිවෙකු විසින් පියාව තල්ලු කිරීමෙන් මෙම මරණය සිදු වී ඇති බවට වටින් ගොඩින් තොරතුරු ලැබී ඇති බව ඇය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ටී.එම්. මංජුල තුෂාර හමුවේ පවසා සිටියාය.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තමන් වෙත කැඳවන්නේ මෙහි විමර්ශන කඩිනමින් සිදු කරන ලෙස දැනුම් දීමටය. මාස දෙකක් වැනි කාලයක් තිස්සේ වැළලී ගිය මෙම කතාවේ සුල මුල නැවත වරක් විමර්ශනය කරන්නේ ඉන් අනතුරුවය. දක්ෂ විමර්ශකයෙකු වන පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න සිද්ධිය වූ ස්ථානය අවට සැරි සරන තම ඔත්තුකරුවන් මඟින් මේ සිද්ධිය ගැන තොරතුරු එක් රැස් කිරීමට පටන් ගත්තේ සූක්ෂ්මවය.

“සර් මාර කතාවක් තියෙනවා... මං හීන් සැරේ රෙකෝඩ් කර ගත්තා. සර්ට දෙන්නම තමයි හිටියෙ...”

විශ්වාසවන්ත ඔත්තුකරුවා පැවසුවේ රහසිගතවය.

“බලා ඉන්නෙ... කෝ දෙනව ඉක්මනට...”

අමිල ගෝවින්නට එයට සවන් දෙන තුරු ඉවසිල්ලක් තිබුණේ නැත. ඇත්තෙන්ම එය නම් කදිම සාක්ෂියකි. ඔහු එයට සවන් දුන්නේ නොඉවසිල්ලෙනි.

“මාර වැඩේනෙ බං එදා වුණේ. ක්වින්ලන් හෝල් එක ඉස්සරහදි බබයි රංගයයි නාකියෙක්ව සුද්ද කළා නෙ. උන් පර්ස් එකේ තිබුණ සල්ලියි ෆෝන් එකයි අරගෙන ඌව තල්ලු කළා. ඒ වැටුණ පාරට ඌ මැරෙන්න ඇති කියලයි මං හිතුවෙ. පහුවදා උදේ බලන කොට ඌ මැරිලනෙ...”

කුඩ්ඩෙකුගේ මුවින් එළියට පැන්න මෙම වදන් වැල අමිලට මහමෙරකටත් වඩා වටින්නේ පුදුමාකාර අයුරින් ලැබුණ භාග්‍යයක් නිසාය.

“බබා ඒ නාකියගෙන් ගත්ත ෆෝන් එකත් වික්කා...”

පටිගත කළ තොරතුරේ එලෙසද සඳහන්ව තිබුණේ සියල්ල විසඳා ගැනීමේ මාර්ගය පැහැදිලි කර දෙමිනි. රෙකෝඩරය තමන් සතු කරගත් අමිල ගෝවින්න ස්ථානාධිපතිවරයාට මේ බව දැනුම් දුන් අතර, බස්නාහිර දකුණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ජී.එන්. ජයමහ, කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුගේගොඩ 1 කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය සහ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට කටයුතු කළේය.

ඒ සඳහා උප පොලිස් පරීක්ෂක ප්‍රභාත්, පොලිස් සැරයන් 7481 කීර්ති, කොස්තාපල්වරුන් වන 1610 මහේෂ්, 92508 ජයවර්ධන, 92904 උදයංග, 95222 අජිත්, කාන්තා පොලිස් කොස්තාපල් 11789 කෞෂල්‍යා යන පිරිසද පොලිස් පරීක්ෂක අමිල ගෝවින්නට සහය දැක්වූවේ රියැදුරු පොලිස් කොස්තාපල් 100988 පැතුම් සමඟිනි.

සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයද පැවැත් වූ අතර, අපරාධය සිදු කළ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි මත්ලෝලීන් දෙදෙනෙකු වන 35 හැවිරිදි 'රංග' හා 47 හැවිරිදි 'බබා' නැමැත්තා අත්අඩංගුවට පත් වෙන්නේ වැළලී යාමට තිබූ අපරාධයක සුල මුල ලොවටම හෙළි කරමිනි.

මෙම සැකකරුවන්ගේ කටහඬ හා ඔත්තුකරුවා පටිගත කරගත් හඬ පටියද රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරි විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතින්නේ එම වාර්තාවල ප්‍රතිඵල අනුවය.

Comments