
156 පොලිස් දිනය වෙනුවෙන් කළ සද්කාර්යක්
නගරයේ දරුවන් 33 දෙනකුට පාසල් උපකරණ
වැලිගම උත්සව ශාලාවක උත්සවයක් අවසානයේ කුසගින්න නිවා ගැනීමට බත් කටක් කෑමට ගිය සිසුන් කිහිප දෙනෙකුට දණ ගසා සිටින ලෙස දඬුවම් සිදු කළ නගරාධිපතිවරියක ගැන පුවතක් ඇසුණේ ඉකුත්දාය. එවන් වටපිටාවකදී වැලිමඩ පොලිසියේ නිලධාරින් 21 දෙනෙකු තමන්ට ලැබුණු පොලිස් ත්‍යාග මුදල් වැය කරමින් වැලිමඩ නගරයේ පාසල් යන විථි ළමුන් 33කට පාසල් උපකරණ බෙදා දීමේ ආදර්ශවත් ක්‍රියාවක් 156 වන පොලිස් සැමරුමට සමගාමිව පසුගියදා වැලිමඩදී පවත්වන ලදි.
1988 – 89දි පැවති භීෂණ සමයේදි වැලිමඩ සුළු නගර සභාවේ දෙමහල් කාර්යාල ගොඩනැඟිල්ල කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමන ලදි. ඉන්පසු එම කාර්යාල ගොඩනැගිල්ල අලුත්වැඩියාවක් සිදුකර ප්‍රයෝජනයට නොගෙන අතහැර දමන ලදි. එම භුමිය වැලිමඩ නගරයේ කුණු කසළ ගබඩා කරන මධ්‍යස්ථානයක් බවට ප්‍රාදේශීය සභාව පත් කිරීමත් සමඟම සනිපාරක්ෂක සේවකයන්ද එම ස්ථානයේ ඉඩකඩ ඇති තැන්වල අනාරක්ෂිත පැල්පත් තනා පදිංචි වූහ. මේ වන විට එම කුඩා බිමේ පවුල් 35ක් පමණ පදිංචිව සිටිති.
මේ වන විට වැලිමඩ ප්‍රාදේශිය සභාව විසින් කසළ ප්‍රතිචක්‍රීය ක්‍රියාවලිය යටතේ වැලිමඩ නගරයේ එක්රැස් කරන කසළ වැලිමඩ හපුතලේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයට රැගෙන ගියත් එහි සේවක කම්කරුවන් අදාළ ස්ථානයේම පදිංචිව සිටිති.
දැන් එම ස්ථානය සේවකයන්ගේ ස්ථිර පදිංචි තැනක් බවට පත්ව තිබේ. අතීතයේදි එම සේවකයන්ගේ දරුවන්ට යාමට පාසලක් නොලැබීම සහ සමාජයෙන් කොන් කළ බව රහසක් නොවේ. එනිසාම ඇතැම් ළමුන් කුඩා කල සිටම සමාජ විරෝධි ක්‍රියාවන්ට යොමුව සිටි බව පැවසේ.
මෙවන් පසුබිමක් පැවතියද අද වන විට විවිධ දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන විථි දරුවන් 33ක් පමණ පාසල් අධ්‍යාපනය ලබති. එක් සිසුවියක් මෙවර පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනි සිටින අතර තව සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.
මේ ස්ථානයේ සිදුවන විවිධ අකටයුතු ක්‍රියාවන් සහ දරුවන්ගේ අනාරක්ෂිත බව වටහා ගත් වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඇම්. ඩබ්ලිව්. හේරත් විසින් තම නිලධාරින්ට ඒ සඳහා විමසිලිමත්ව සිටීමට උපදෙස් දී ඇත. එම නිලධාරින්ගෙන් ලබා ගත් තොරතුරු මත විවිධ ගැටලු මැද ඉගෙනුම ලබන මෙම පාසල් දරුවන්ගේ ප්‍රධාන අවශ්‍යතා ඉටුකර දීමට සැලසුම් කැරිණි. ඒ අනුව වැලිමඩ පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරින්ගේ පූර්ණ සහාය ලබා ගනිමින් 156 වන පොලිස් දිනය සමරන සතියේදි මෙම සද්ක්‍රියාව සිදු කිරීමට සැලසුම්කර තිබිණි. ඊට බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස 02 පොලිස් අධිකාරි ජී.බී.එච්. කළණසිරිද පූර්ණ ආශීර්වාදය ලබාදී තිබේ.
පොලිස් ත්‍යාග අරමුදලින් වැලිමඩ පොලිස් නිලධාරින් 21කු හට ‘ත්‍යාග‘ ලෙසින් ලැබුණු මුදල් තම ආර්ථික ගැටලු විසඳා ගැනීමට වැය කිරීමට වඩා විවිධ දුෂ්කරතා හා අඩුපාඩු මැද සමාජයෙන්ද විවිධ කොන් කිරීම්වලට පවා ලක්වෙමින් ඉගෙන ගන්නා විථි ළමුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත් බෑග හා පොත්පත් හා උපකරණ පරිත්‍යාග කිරීමට වැය කිරීමට තීරණය කරන ලදි.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් 08 වන දින වැලිමඩ පොලිස් ස්ථානයේදි පාසල් සිසු දරුවන් සහ පෙර පාසල් දරුවන් 33කුගේ සහභාගිත්වයෙන් මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය පැවැත්විණි. එදින මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනි සිටීමට සුදානම්ව සිටින එච්. ඒ. දිනුෂිකා ලක්මාලි සිසුවිය මෙසේ පැවසුවාය.
“අද අපට අමුතු අත්දැකීමක් හා ආලෝකයක් උදා වුණු දවසක්. අපි වගේ දරුවන්ට මෙවැනි උත්සවයක් පවත්වා ත්‍යාග පිරිනැමීම හීනයක් වගේ... අහිංසක සතුටක් සිතට දැනෙනවා. භේදයකින් තොරව අපිත් මේ සමාජයේම කොටස්කරුවන් පිරිසක් බව පිළිගෙන කටයුතු කිරීම ගැන ස්තුතිය පුද කරනවා.
අපි ජිවත්වන පරිසරය ගැන හෝ ආර්ථිකය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මම තව මාස කිහිපයකින් පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිටිනවා. එනිසා රාත්‍රියේදි පාඩම් කිරිමේ බරපතළ ගැටලුවකට මුහුණ දී සිටියා. වැලිමඩ පොලිසියේ මහත්වරු අපි පදිංචි ස්ථානයට පැමිණියා. මම ලාම්පු තෙල් නැති නිසා රාත්‍රියේදි කුප්පි ලාම්පු පත්තු කර ගැනීමට නොහැකි නිසා පාඩම් කිරිමට නොහැකි බව කීවා. කඩිනමින් විදුලි එළියෙන් පාඩම් කටයුතු කිරීමට හැකි තත්වයක් උදාකර දුන්නා.
පොලිස් නිලධාරි මහතුන් එසේ මට ඉගෙනුමට පහසුකම් සලසමින් පාසල් උපකරණ ලබා දෙමින් සිදු කරන සේවයට මම ප්‍රති උපහාරයක් හැටියට ඉදිරියේ මුහුණ දෙන උසස්පෙළ විභාගයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉහළින්ම සමත්වීමට උපරිමයෙන්ම කටයුතු කරනවා“
වැලිමඩ පොලිස් ස්ථානයේ සියලු නිලධාරින් සමඟ මෙකී කාර්යභාරය වෙනුවෙන් ඉමහත් වෙහෙසක් ගත්තේ වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්. ඇම්. ඩබ්ලිව්. හේරත්ය. ඒ පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසුවේ මෙවන්නකි.
“ඉටි රෙදි වැනි දේවලින් වටකරගත් තාවකාලික පැල්පත්වල පවුල් 35ක් පමණ පදිංචිව සිටිනවා. ඔවුන් දැඩි පීඩනයට ලක්ව සමාජයෙන්ද කොන්වූ පිරිසක් ලෙසින් ජීවත්වන බව කියන්න ඕනි. මෙහි පදිංචි ඇතැම් දෙනා විවිධ සමාජ විරෝධි ක්‍රියාවලද නියැළෙනවා. එනිසා දරුවන්ගේ ආරක්ෂාවත් මහත් තර්ජනයක්. එනිසා මෙම දරුවන් කෙසේ හෝ අධ්‍යාපනයෙන් ඉදිරියට යැවිය යුතුයි. මෙවන් පසුබිමක ජීවත්වන පිරිසගේ යහපතට යම්කිසි පිහිටක් වීමට වැලිමඩ පොලිසියේ අපි තීරණයක් ගත්තා. ඒ සදහා බණ්ඩාරවෙල ජ්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහ හා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස 02 පොලිස් අධිකාරි ජී.බී. එච්. කළණසිරි යන මහත් වරුන්ගේද පූර්ණ ආශීර්වාදය ලැබුණා.
දරුවන්ට පාසල් උපකරණ මිලට ගැනීම සඳහා පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලත් අපේ පොලිසියේ සේවය කරන නිලධාරින් 21දෙනා තමන්ට ලැබුණු ත්‍යාග මුදල් මට දුන්නා. ඒ මුදල්වලින් දරුවන්ට අවශ්‍ය පාසල් බෑග්, පොත් පත් සහ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවියට පොත්පත් තබා ගැනීමට අවශ්‍ය පාඩම් මේසයක්ද අරන් දුන්නා.“
දරුවන් පොත්පත්, උපකරණ පිරිනැමු ඒ මහඟු අවස්ථාවට බණ්ඩාරවෙල කොට්ඨාස 02 පොලිස් අධිකාරි ජී.බී.එච්. කළණසිරිද එක් විය. පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ, “වැලිමඩ පොලිසියේ ඉල්ලීම මත මමත් වැලිමඩ නගරය අසල අනාරක්ෂිතව පැල්පත්වල ජිවත්වන දරුවන් දැකබලා ගන්න ගියා. ගිනි තබා විනාශකර ඇති ගොඩනැඟිල්ලේ හා අවට භූමියේ තාවකාලික නිවාසවල ජීවත්වන පවුල්වල ඇතැම් දෙනෙක් එම ස්ථානයේ වැසිකිළි වළක පදිංචිව සිටින්නේ. ඔවුන්ට වැසිකිළියට වඩා එය හිසට සෙවණක් කර ගැනීම වටින බව පේනවා.