යසන්තට දිවි අහිමි කළ අමුගොඩ පිය පුතු හබය | සිළුමිණ

යසන්තට දිවි අහිමි කළ අමුගොඩ පිය පුතු හබය

 

මවුපියන් සහ දූ දරුවන් අතර පවතින්නේ පුදුමාකාර බැඳීමකි. තම ලෙයින් මසින් හැදි වැඩී ලොකු මහත් වන දරුවා තරම් වටිනා සම්පතක් මවුපියන්ට මේ ලොවේ තවත් ඇත්තේ නැත. එහෙත් ලොකු මහත් වෙද්දී ඇතැම් දූ දරුවන් දෙමවුපියන්ට දක්වන ආදරය සෙනෙහස යම් තරමකින් හෝ අඩුව යන බවක් සමහර විට දැකිය හැකි වුවත්, තම පණට මෙන් ආදරය කරන එවන් දරුවෙක් වුවද තමන්ගේ දෑතින්ම මරා දමන්නට තරම් පියෙකු සැහැසි වන්නේ නම් එය අදහාගත නොහැකි තරම්ය.

අමුගොඩ, සිත්තරගොඩ, මගහේන ගමේ පදිංචි 'කුලසිරිට' දූ දරුවෝ තිදෙනෙකි. ඒ පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක් වශයෙනි. බාල පුතා විවාහකව එම ගමේම පදිංචිව සිටියේය. වැඩිමල් දියණිය විවාහකව පිටිගල නාරංඕවිට ප්‍රදේශයේ ජීවත්වූවාය. මේ අතර ටික කලකට පෙර කුලසිරිගේ බිරිය ද මියගියාය. මේ නිසා මහගෙදර ජීවත් වූයේ 64 හැවිරිදි කුලසිරි පමණි.

'මද්දුම' පුතා කාරියවසම් සිත්තරගේ යසන්ත රවීන්ද්‍රය. ඔහු කලක් යුද හමුදාවේ කමාන්ඩෝ බළකායට බැඳී සේවය කළේය. ඔහු නීත්‍යානු කූලව කමාන්ඩෝ බළකායෙන් මීට කලෙකට පෙරදී ඉවත්ව සිටියේය. පසුව පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස රවීන්ද්‍ර සේවය කරමින් සිටියේ ඔය අතරය.

රවින්ද්‍ර ද විවාහයක් කරගත් නමුත් ටික කලකට පසු ඔහුගේ බිරිය ඔහු හැර ගියාය. ඔහුට දරුවන් සිටියේ නැත. මේ නිසා තනිවම ජීවත්වූ රවින්ද්‍ර දිනපතාම පාහේ තම පියා සිටි මහගෙදරට පැමිණියේ නැත. කා බී යහළුවන් සමඟ කොතනක හෝ රාත්‍රිය ගතකළ රවින්ද්‍ර පියා සිටි මහ ගෙදරට ආවේ හිඳහිටය.

කොහේ හෝ කුලී වැඩක් කර කීයක් හරි උපයා ගන්නා කුලසිරි දිනපතාම මත් වතුර ටිකක් බී ඇඟ රත් කරගෙන එන පුරුද්දක් තිබුණේය. රවින්ද්‍රද සේවය අවසන් කර රාත්‍රී සිය නිවසට පැමිණි සෑම දිනකම එසේ එන්නේ මිතුරන් හා එක්ව මත් වතුර ටිකක් තොල ගාගෙනය. එසේ පැමිණීමෙන් පසු මේ පිය පුතු දෙදෙනා අතර රණ්ඩු සරුවල් වීම නිතර කෙරෙන්නකි. ඒ නිසා මෙය අහල පහල අයට සාමාන්‍ය දෙයකි. මේ පිළිබඳව පිටිගල පොලිසියට පැමිණිලි ගණනාවක් ලැබී තිබිණි. එම නිසා පිටිගල පොලිසිය විසින් පියාත් පුතුන් දෙදෙනාත් කැඳවා පැමිණිලි විභාග කර සාමකාමීව සිටින ලෙස ඔවුන්ට අවවාද කර පිටත් කර යැවීමට ඒ සෑම විටකම පාහේ කටයුතු කර තිබිණි.

ඉකුත් ඉරිදා රාත්‍රියේද මේ පිය පුතු දෙදෙනා අතර ආරවුලක් ඇතිවන්නේ ඒ පුරුදු ලෙසමය. එහෙත් එදා රණ්ඩුව අහවර වන්නේ පියා අතින් පොලු පහරවල් කිහිපයක් පුතාගේ සිරුරට එල්ල කිරීමෙන් පසුවය. හිසට සහ මුහුණට වැදුණු පොලු පහරවලින් පසු නිහඬ වන රවින්ද්‍ර මිදුලේ වැටී සිටියදී නිවසට වී නිදා සිටි පියා පසුදා උදෑසන අවදිව අනෙක් පුතු කුලසිරිගේ නිවෙසට ගොස් "මං අන්න අරූ මැරුවා" යනුවෙන් පවසා ඉන්පසුව යන්නේ නාරංඕවිට පදිංචි සිය දියණියගේ නිවසටය.

උදෑසන පියාගේ ආරංචිය ලද බාල පුතා පැමිණ බලන විට සිය සොහොයුරා මියගොස් ඇති බව දුටු ඔහු වහාම ඒ ගැන පිටිගල පොලිසියට දැනුම් දුන්නේය. සිද්ධිය සැලවීමත් සමඟ පරීක්ෂණ පැවැත්වූ පිටිගල පොලිසිය සැකකාර පියා අත්අඩංඟුවට ගන්නේ දියණියගේ නිවසේ සිටියදීය.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් දුමින්ද ලේල්වල විසින් සිය පරීක්ෂණය සිදුකළ අතර ඇල්පිටිය මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සුසන්ත ලේල්වල පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

මොට ආයුධයකින් පහර දීමෙන් හිසේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ බරපතළ හානි හේතුවෙන් රවින්ද්‍රගේ මරණය සිදුවී ඇති බව එහිදී නිගමනය විය.

තම ලෙයින් හැදු දරුවා ඝාතනය කළ වරදට පියා සිරගෙදර කූරු ගණින්ෙන්ට තවත් අහස - පොළොව නුහුලන අපරාධයක් සනිටුහන් කරමිනි.

ඇල්පිටිය ජ්‍යෙ‍ෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ජගත් සමරසිංහගේ අධීක්ෂණයෙන් පිටිගල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශාන්තලාල්, පොලිස් කොස්තාපල්වරුන් වන (78000) උදය කුමාර, (97569) සම්පත්, (28678) දමිත් නිලධාරින් සහ ඇල්පිටිය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබූහ.

Comments