
වැල්ලවාය නගරය සිව් දිගට විහිදෙන මාර්ග පද්ධතියක් ඇති මෙරට ප්‍රධාන පෙළේ නගරයකි. එක් පැත්තකින් බදුල්ල බණ්ඩාරවෙල වැලිමඩ දක්වාත්, තවත් පසෙකින් බෙරගල හපුතලේ දියතලාව බලංගොඩ දක්වාත් තවත් පසෙකින් මොනරාගල අම්පාර මඩකලපුව, බිබිල, මහියංගණය දක්වාත් අනෙක් පසින් මාතර, ගාල්ල, කොළඹ දක්වාත් ගමන් කළ හැකි ප්‍රධාන මාර්ග සියල්ල කේන්ද්‍ර කරගත් වැල්ලවායට දිනපතා පැමිණෙන ජනකායද සුළුපටු නැත. රථ වාහනද එසේමය.
මෙවැනි නගරයන් බොහෝ විට ජවාරාම්කරුවන් ඔවුන්නේ ජාවාරම් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් යොදාගන්නේ හුදෙක් ඒවායේ ඇති ජනාකීර්ණ භාවයත් ප්‍රවාහන පහසුවත් නිසාය. මේ අතර මේ වන විට 'මත්කුඩුවලට' ලැබී ඇත්තේ ඉහළම ස්ථානයකි. විශේෂයෙන්ම හෙරොයින් ජාවාරම සිදු කරන්නන්ට මෙවැනි නගර පාරාදීසයකි.
මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් තම ජාවාරම් නිරුපද්‍රිතව සිදු කරන්නේ නීතිය ක්‍රියාත්මක නොවන බවට ඔවුන්ට මනාව පසක් වන අවස්ථාවලය. ආරක්ෂාව ගැන ගැටලුවක් ඇති නොවන තාක් කාලයක් ඔවුන් නිදහසේ තම ජාවාරම් කරගෙන යන්නේ ආරක්ෂක අංශවල ඇස් වසාය.
“වැල්ලවාය නගරය නිදහසේ 'බිස්නස් එක' කරගන්න පුළුවන් තැනක් . කොතන 'බඩු' තිබ්බත් හොයන්න කෙනෙක් නෑ. කරදරයක් නෑ මම 13වතාවක් ඇවිල්ලා ටවුමෙන් 'කුඩු' අරගෙන ගියා. කවුරුවත් හොයන්න අල්ලන්න හිටියේ නැහැ.“ එසේ කියන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ සිට පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකි .
වැල්ලවාය නගරයේ පසුගිය දිනවල අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන තුනකට අධිකය. ඒ පසුගිය සති දෙකක පමණ කාලයක් පුරා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් නිසාය. ඒ අනුව සති දෙකක පමණ කාලය ඇතුළත අධිකරණයට ගොනු වන මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාණයද 12කට අධිකය.
වැල්ලවාය ආශ්‍රිතව මත්කුඩු ඇති බවට ජනතාව දිගින් දිගටම සිදු කරන චෝදනා සම්බන්ධයෙන් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන ඩී.එම්.පී. බණ්ඩාරට උපදෙස් ලබා දී තිබුණේ කෙසේ හෝ මෙම ජවාරමට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කරගන්නා ලෙසයි. පොලිස් ස්ථානාධිපතිවරයා ඒ අනුව තම 31 වසරක පොලිස් දෙපාර්තමේන්තුවේ පළපුරුද්ද හා අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් උපක්රමශීලි වැඩපිළිවෙළක් මෙම ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් දියත් කළේය.
පොලිස් පරීක්ෂක බණ්ඩාර කලක් ඇල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, එහිදී හඳුනාගත් තොරතුරු සපයන්නන් අතරින් කෙනෙකු ලබා දුන් තොරතුරුකට අනුව වැල්ලවායෙන් කුඩු ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවක් දුරකථන ඇමතුමකින් ඔහුට ලැබුණේය.
“සර් ඇල්ල ඉඳලා දෙන්නෙක් 'බඩු' ගන්න වැල්ලවායට ආවා. 'කළුපාට වීල්' එකකින් ආවේ. ටිකක් සොයලා බලන්න” යැයි එම ඇමතුමෙන් කියැවිණි.
ඒ අනුව වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ උපදෙස් මත වහා ක්‍රියාත්මක වූ 13 දෙනෙකුගෙන් යුත් සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් කණ්ඩායමක් 'යාලබෝව' හන්දියේ සිට 'පෙරෙකැටිය' අතර මාර්ගයේ තැනින් තැන ස්ථානගත වූයේ මෙම ජාවාරම්කරුවන් අතටම අල්ලා ගැනීමේ අරමුෙණනි.
ස්ථානාධිපතිවරයාට ලැබුණු ඔත්තුව සියයට සියයක්ම නිවැරැදිය. යාලබෝව වෙල්යාය ආසන්නයේදී 'ඊෂි කෑෂ්' ක්‍රමයට මත්කුඩු ලබා ගත් 'යුවළක්' කොටු කර ගැනීමට පොලිස් නිලධාරින්ට ඒ මොහොතේ හැකි විය.
“සර් තව දෙන්නෙක් විනාඩි පහකට කලින් බඩු ගත්තා. තාම යන්න නැතුව ඇති” යැයි අල්ලාගත් යුවළ එලෙස පැවසීමත් සමඟ වහා ම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයෙදී ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගන්නා ලදි.
ඇල්ල සහ බණ්ඩාරවෙල පදිංචි ඔවුන් සිව් දෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදි මේ ජවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර ඇතුළු කණ්ඩායමට හැකි විය.
“සර් සල්ලි දාපු ගමන් විනාඩි 10ක් යනකොට ලොකේෂන් එක පෝන් එකට එවනවා. අපි 'ඇල්ලෙන්' සල්ලි දාලා ආවේ” යැයි සැකකරුවෝ පාපෝච්චාරණය කළහ. “හරි... එහෙනම් අපිත් සල්ලි දාලා බලමුකෝ...“ යැයි පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරුවන්ට පවසා රුපියල් 25000ක මුදලක් ලුණුගම්වෙහෙර ලංකා බැංකු ශාඛාවේ පවත්වාගෙන යන ගිණුමට බැර කරන්නේ මේ කල්ලිය කොටුකර ගැනීමේ අදහසිනි. විනාඩි 10ක් ගතවෙත්ම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබිණි.
වැල්ලවාය තැපැල් කාර්යාලය ආසන්නයේ ඇති ලයිට් කණුව ළඟ සිට අඟල් හයක් දුරින් පාර්සලය ඇති බවට එහි සඳහන් විය. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරයා තම නිලධාරින් යොදවා මෙම කුඩු පාර්සලය තබන්නට එන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටද සැලසුම් කෙරිණි.
නමුත් එම සැලසුම පුස්සක් බවට පත් වූයේ ජාවාරම්කරුවන් ඊට වඩා සුක්ෂ්ම වී සිටි නිසාය. ගිණුමට මුදල් රුපියල් 25000ක් ගිණුම් ගතකර විනාඩි 10ක් ඇතුළත මත්කුඩු තබා ඇති ස්ථානයේ විස්තර දුරකථනයට එවීමට මෙම ජවාරම්කරු සමත්ව සිටියේය . ඒ ඊට පෙර දිනයක ලබා ගන්නා ඇණවුම්වලට අදාළව මත්ද්‍රව්‍ය පාර්සල් ඔවුන්ට ආරක්ෂිත ස්ථානවල ස්ථානගත කර අදාළ තැන් නිවැරදිව සටහන් කර බෙදාහරින ජාලයක් ක්‍රියාත්මක වන බව ස්ථානාධිපතිවරයාට ඒත්තු ගියේය.
“උන් කලින් දවසේ 'ඕඩර්' ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ බඩු තැනින් තැනින් තියලා ලොකේෂන් ටික සටහන් කර ගන්නවා. ඊට පස්සේ සල්ලි දාපු ගමන් බඩු තියෙන තැන විස්තරේ ෆෝන් එකට යවනවා. එහෙම තමයි උන් මේ ගේම් එක ගහන්නේ” ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.
ඉන් අනතරුව සැකකරුවන් ලබා දුන් බැංකු ගිණුමට අදාළ විස්තර සෙවීම සඳහා ස්ථානාධිපතිරයා යුහුසුලු වූයේ මෙම ගිණුම හිමි තැනැත්තා කවුරුන්ද යන්න තහවුරු කරගත් විට මෙම ජාවාරමේ 'කොනක්' පාදාගත හැකි වනු ඇතැයි ඇති වූ විශ්වාසය නිසාය.
ඒ අනුව වහාම ලුණුගම්වෙහෙර බැංකු ශාඛාවේ කළමනාකරුට ඇමතුමක් ගත් ස්ථානාධිපතිවරයා පවසා සිටියේ මෙම ගිණුමේ මුදල් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ගෙන ඇති බැවින් තාවකාලිකව මුදල් කාඩ් පතින් ලබාගැනීම වළක්වන ලෙසයි. ඒ අනුව ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු පවසා මෙම ගිණුමේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සහාය පැතීය.
“'කාඩ් එකෙන්' සල්ලි ගන්න බැරි නිසා ගිණුමේ අයිතිකාර තරුණයා බැංකුවට ගිහින් තියෙනවා. ඒ අතරතුර අපේ නිලධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග මත ප්‍රශ්න කරන්න පටන්ගත්තා. මේ ගිණුම අයිති තරුණයා ළඟ බැංකු පොතක් වත් කාඩ් පතක් වත් නෑ. ඒක පරිහරණය කරන්නේ ඔහුගේ මස්සිනා කෙනෙක්. ඔහු හසුරු වන්නේ තවත් පුද්ගලයෙක්. මේ විදිහට තමයි ජවාරම සිද්ධ වෙන්නේ. මේ වෙනකොට අනාවරණය කරගෙන තියෙන ආකාරයට මේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන පුද්ගලයා කාන්තාවක් එක්ක වැල්ලවායේම පදිංචි වෙලා ඉන්නේ. මුල් පදිංචිය රත්නපුරේ කියලා තොරතුරු සොයාගෙන තියෙනවා“ යැයි ස්ථානාධිපතිවරයා පැවසීය.
මත්කුඩු ජාවාරමේ මහමොළකරු සොයා මේ වන විටත් අංශ කිහිපයකින් විමර්ශන ආරම්භ කර තිබේ. තවත් නොබෝ දිනකින් මෙහි මහමොළකරු ඇතුළු ජාවාරම්කරුවන් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත.
මොනරාගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරගේ උපදෙස් මත වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ඩී. එම්. පී. බණ්ඩාර, කොස්තාපල්වරුන් වන (54864) බණ්ඩාර, (81987) පුෂ්පකුමාර, (86974) ලක්මාල් , (71012) විජේරත්න යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.