ඔත්තුවෙන් ඇල්ලූ හැටන් හොර ෆාමසිය | සිළුමිණ

ඔත්තුවෙන් ඇල්ලූ හැටන් හොර ෆාමසිය

 බලපත්‍ර ලියාපදිංචි සහතික පුහුණු ඖෂධවේදීන් නෑ

 වැටලීම තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බළකායෙන්

ළමයි යනු මතු දිනෙක රට නඟාසිටුවීමට සිටින පුරවැසියෝය. ඔවුන් කුමන රටක, සමාජයක වුවද ආර්ථික, සමාජීය සහ සංස්කෘතිකමය කශේරුකාව හෙවත් ජීවනාලියයි. එවන් ළමා පරපුර ආරක්ෂා කර ගැනීම, නිසි මඟකට යොමු කරමින් උගත් ගුණවත් බවින් පිරිපුන් කිරීම වැඩිහිටියන්ගේ පරම යුතුකම සහ වගකීමය.

නමුත් එවන් ළමා පරපුර 'විෂ මතට' හුරු කරමින් මුදල් සහ ලාභය මතම පදනම් වූ පහත් මානසිකත්වයකින් මෙරට ඇතැම් ඖෂධ වෙළෙඳ ව්‍යාපාරිකයින් පිරිසක් කටයුතු කරමින් සිටීම කනගාටුවට කරුණකි.

වෛද්‍ය නිර්දේශයෙන් පරිබාහිරව නිකුත් කිරීම පවා තහනම් වූ දුර්ලභ බෙහෙත් පෙති වර්ග සිසුන්ට මුදලට අලෙවි කරමින් ළමා පරපුර වනසන මේ පුද්ගලයන් ගැන පොලිසිය ද සොයා බලමින් සිටින්නේ කලක සිටය.

විශේෂ ශල්‍යකර්මවලදී සහ වේදනා නාශකයන් ලෙස භාවිත කරන නිරෝගී පුද්ගලයන්ගේ භාවිතයට කිසිසේත්ම නුසුදුසු මෙවන් ඖෂධ වර්ග කීපයක් පාසල් දරුවන් පමණක් ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන පුද්ගලයන් සහ ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවේ නිරතව සිටින සමහර තැනැත්තන් විසින් ද මුදල් වාසිය උදෙසා මෙම 'අපරාධය' සිදු කරන අයුරු ඛේදනීයය.

වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් සිසුන් සහ පාසල් හැර ගිය නව යොවුන් වියේ පසුවන තරුණයින් ඉලක්කගත කරමින් මෙලෙස මෙම බෙහෙත් පෙති වර්ග අලෙවි කරන්නේ ඒවා භාවිතයෙන් පසු මත් ගතියක් ඇති වන නිසාය. බෙහෙත් පෙති ගන්නා ඇතැමුන් මනෝ විකාරී ලෙස පාසල් පංති කාමර, උපකාරක පංති, බස් රථ හෝ දුම්රිය සහ මංමාවත්හි සැරිසරන අයුරු දැකගත හැකිය.

නව යොවුන් වියට එළඹීමත් සමඟ නිවැරැදි දේ පිළිබඳව නිවැරැදි අවබෝධයකින් තොරව අලුත් අලුත් දේ පිළිබඳව අත්හදා බැලීම සඳහා යොමු වන ඇතැම් දරුවන් මේ බෙහෙත් පෙති භාවිතයට ඉතා පහසුවෙන් ඇබ්බැහි වන අතර එමඟින් තම ‘මඩිය‘ සරි කර ගන්නා කූට වෙළෙඳ ව්‍යාපාරිකයින් රට වටාම සිටීමද කනගාටුදායකය.

මේ ආකාරයෙන් ඖෂධ අලෙවිය සඳහා බලපත්‍රයක් ද නොමැතිව හැටන් නගරයේ ‘ඩන්බාර්‘ මාර්ගයේ පවත්වාගෙන ගිය ඖෂධ වෙළෙඳ සලක් වැටලීමට පසුගිදා 15 වැනිදා තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට හැකිවූයේ එම නිලධාරින්ට ලැබුණු තොරතුරුවලට අනුවය.

මෙහිදී අනාවරණය වූ කරුණු අනුව නිසි බලපත්‍රයක්, ලියාපදිංචි සහතිකයක්, නිසි පුහුණුවක් ලත් ඖෂධවේදියෙක් ද නොමැතිව මෙම ඖෂධ වෙළෙඳසැල පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පැවසූහ.

ස්නායු රෝග සඳහා රජයේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණක් ලබාදෙන ඖෂධ වර්ග කීපයක්ම හැටන් සහ අවට ප්‍රදේශවලින් පැමිණි තරුණයන් වෙත අලෙවි කරන බවට ලැබෙමින් තිබූ තොරතුරු මත පදනම්ව මෙම වැටලීම සිදු කර තිබිණි.

එමෙන්ම එසේ අලෙවි කිරීමට තිබූ ඖෂධ වර්ග කීපයක්ම පොලිස් බාරයට ගැනුණු අතර සැකකරු ද පොලිස් අත්අඩංගුවට ගැනීමට මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හැකි විය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ආහාර සහ ඖෂධ පාලකවරයා විසින් ඇපකරයක් මත මුදා හැරීමට පියවර ගත් අතර ඉදිරියේදී ඔහුට හැටන් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු යොදා ඇත.

මෙසේ හසුවී ඇත්තේ එක් ව්‍යාපාරිකයෙක් පමණි. හැටන් නගරයේ සහ ඊට පරිබාහිර ආසන්න නගරවල පමණක් නොව මෙරට පුරා පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් තැරැව්කරුවන් සහ පාසල් සිසුන්ම උපයෝගී කර ගනිමින් පාසල් භූමියෙන් පිටත සහ පාසල් භූමිය තුළ වෛද්‍ය නියමයකින් තොරව භාවිතය තහනම් ඖෂධ වර්ග බෙදා හරිමින් සිටින පුද්ගලයන් ගැන ද රටේ බොහෝ ප්‍රදේශවලින් මීට පෙර ද තොරතුරු වාර්තා විය.

මුලින්ම දුම්වැටිය, දුම්කොළ කැබැල්ලකින්, දුම්කුඩු ටිකක් ආදි දේවල්වලින් සිසුන් මතට පොලඹවා ගන්නා මෙවන් කූට ව්‍යාපාරිකයින් කොකේන්, අයිස්, හෙරෝයින්, ගංජා මෙන්ම මෙවන් අන්තරායක ඖෂධ මඟින් සිසුන් මතට හුරු කර මුදල් සෙවීමේ අභිප්‍රාය මුදුන්පත් කර ගනිමින් සිටිති.

Comments