
මෙරට හෙල්ලූ සතොස කොල්ලයේ මහ මොළකරු කියුටෙක්ස් පියදාස
ජයලත්ගේ සිරිසේන ‘චීනා’ වූ හැටි කිසිවෙක් දැන සිටියේ නැත
අපරාධ ලොව කිරුළ කලින් කලට වෙනස් වේ. ඒ ඒ කලට අපරාධ ලොවේ ප්‍රබලයා වන්නේ කවුරුද ඔහු එසමයෙහි රජු ලෙස භෞතිස්ම ලැබ කිරුළ හිමිකර ගනී. එය ද ලේසි පහසු කටයුත්තක් නොවේ. හොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, වංචා වැනි ම්ලේච්ජ ක්‍රියාවන් සිදුකර තිබීම ඒ සඳහා මුලික සුදුසුකම් ලෙස සැලකිය හැකිය. ඊට අමතරව පොලිසිවල, උසාවිවල නොමැකෙන අයුරින් නම සටහන් වීම මෙන්ම පත්තරවල මුල් පිටු ඔහු නමින් මෙන්ම ඔහු රුවින් වෙන් වීම ද විශේෂ සුදුසුකමකි. නිදහසේ හුස්මක් ගැනීමට නොහැකි වීම, සිතූ සේ සුව පහසු නින්දක් ලැබීමට නොහැකි වීම මෙන්ම නිරතුරුවම මරණ බය දැනීම යනු ඔහුට ලැබෙන බෝනස් ප්‍රතිලාභයන් ය.
හැට හැත්තෑව දශකවල අපරාධ ලොව හොල්ලාගෙන සිටි ජයලත්ගේ සිරිසේන හෙවත් චීනා ද එවැන්නෙකි. සියනෑ කෝරලේ දොම්පේ කොට්ඨාසයේ කෑරගල උපන් ඔහු කුඩා කල සිටම පිය සෙනෙහස අහිමි වූවෙකි. ගම්වැසියන්ට නම් චීනාගෙන් හිංසාවක් සිදුවූ බවට කිසිම සාක්ෂියක් නැත. වත්මන් පරපුරට නුහුරු, නුපුරුදු නමක් වුවත් එකල සිටි අයකුට නම ඇසූ පමණින්ම ඔහු රුව සිතෙහි මැවෙනවා නොඅනුමානය.
ඔහුගේ රුව පළ නොවු පුවත්පතක් එකල නොවූ තරම්ය. එමෙන්ම ඔහු ගැන නොදන්නා කෙනෙකුද නොසිටි තරම්ය. රහස් පොලිස් මංකොල්ල විමර්ශන අංශය හෙවත් ගැන් රොබරි බියුරෝහි නිලධාරීන්ට නම් ඔහු ගැන සෙවිල්ලේම ඉන්නට සිදු විය. පොලිසිය ද සිටියේ සීරුවෙනි. චීනාගේ පැටිකිරිය හොඳින්ම දැන සිටියේ ද පොලිසියයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දිවියේ අත්දැකීම් ඇසුරින් ලියවුණු ‘මේ ඒ කතා’ කෘතියට ‘චීනා‘ පිළිබඳ පරිච්ඡේදයක්ද වෙන් විණි. එකී කෘතිය පාදක කොටගෙන චීනා පිළිබඳ සැකැසුණු කොටස් දෙකකින් යුත් ලිපි පෙළෙහි පළමුවැන්නයි.
සිපිරි ගෙය කී පමණින් අප සිතට නැඟෙන්නේ දැඩි මුරකාවල් යෙදූ උස් තාප්ප, යකඩ දොරවල් යෙදූ මහා ගොඩනැගිල්ලකි. කිසිවකුටත් ඉන් පැන යෑම අසීරුය. එසේ පැන ගියේ යැයි ඇසුණේ නම් එකවරම අප සිත මැවෙන්නේ කල්පිතයක් මත ගොඩනැඟුණු ත්‍රාසජනක චිත්‍රපට ජවනිකාවකි.
'ජයලත්ගේ සිරිසේන' යනු හැට හැත්තෑව දශකවල අපරාධ ලොව හොල්ලාගෙන සිටි අයෙකි. අපරාධ ලොවට ඔහු චීනාය. සියනෑ කෝරලේ, දොම්පේ කොට්ඨාසයේ, කෑරගල ගමේ උපන් චීනා මිනීමරුවකු ලෙස කිසිදා හංවඩු ගැසී නැත. ඔහු ස්ත්‍රි දූෂකයකු නොවේ. ස්ත්‍රි දූෂකයන්ට හිරගෙදර ඇතුළේ දී චීනාගෙන් කිසිම සමාවක් නොලැබුණු බව ද එකල අපරාධ ලොවට නොරහසකි.
ඔහුගේ පියා ජයලත්ගේ ගුණසේකරය. කුඩා කලදීම පියා පවුලෙන් වෙන් වීම නිසා බොහෝ දුෂ්කරතා මැද ඔහු හැදී වැඩුණේ මවගේ දුක් මහන්සියෙනි. ඒ නිසාම 'චීනා' තම මවට පණ සේ ආදරය කළේය. ඔහුගේ වම් අතේ පිටි අත්ල මත ‘මාතා‘ ලෙසින් කෙටූ පච්චය එය මනාව ඔප්පු කරයි.
මොන යම් හෝ වරදකට නීතියේ රැහැනට හසුකර ගන්නා චීනා වැඩිකල් රඳවා තැබීම එකල පොලිසියට අසීරු කටයුත්තක් විය. කොතරම් රැකවලා තිබුණත් හය වතාවක්ම ඔහු බන්ධනාගාරවලින් පැන ගියේ බන්ධනාගාර පොතේ වාර්තාවක් ද තබමිනි. පැන ගිය සෑම වතාවකදීම හැරෙන තැපෑලේම නැවත ඔහු බන්ධනාගාර ගත කිරීමේ මන්තරය දැන සිටියේ රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය හෙවත් ‘ගැන් රොබරි බියුරෝ‘හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේදිරිස් ය.
සුළු සුළු සොරකම් ඔහුගේ ලැයිස්තුවේ කිසිදා නොවීය. ඔහුගේ ඉලක්කය ආයුධ සන්නද්ධ සමූහ මංකොල්ලයන් හෙවත් ගැන් රොබරිය. බොහෝ විට ස්වර්ණාභරණ සාප්පු, රේස් ඔට්ටු මධ්‍යස්ථාන, බැංකු වැනි ස්ථාන ඔහුගේ සැලසුම්වල ඉලක්ක විය.
ජයලත්ගේ සිරිසේන 'චීනා' වූ හැටි හේතු සහිතව කවුරුත් දැන සිටියේ නැත. යටට ගිලුණු ඔහුගේ දිගැති ඇස් නිසා එසේ හැඳින්වූ බව සමහරුන්ගේ මතය විය. හොඳ චීන අඩිකාරයෙක් වූ නිසා එසේ හඳුන්වන්නට ඇතැයි තවත් සමහරු පැවසූහ. අතින් පයින් සටනට ඔහු තරම් දක්ෂයකු අපරාධ ලොවේ එදා නොසිටි නිසා එසේ හැඳින්වූවා විය හැකියි. සැලසුම්සහගතව ඔහු කළ ලොකුම මංකොල්ලය සතොස මංකොල්ලයයි. ඒ 1969 දීය. මෙය එකල ලංකාවේ සිදු වූ ලොකුම මංකොල්ලය ලෙසද සඳහන් වේ. එයට චීනා, කියුටෙක්ස් පියදාස සහ පිච්චිච්ච ධර්මේ ඇතුළු කිහිප දෙනෙක් සහභාගී වූහ. කියුටෙක්ස් පියදාස චීනාගේ ගජයෙකි.
මෙහි මාස්ටර් ප්ලෑන කියුටෙක්ස් පියදාසගේය. කියුටෙක්ස් පියදාස යනු හැට හැත්තෑව දශකයේ අපරාධ ලොවේ තවත් පුරුකකි. ප්‍රධාන පෙළේ මංකොල්ලයන් සැලසුම් කිරීමෙහිලා ඔහු පුරුදුකාරයෙකි. පියදාස, කියුටෙක්ස් පියදාස වීමද රසවත් සිද්ධියකි. එය ඔහුගේ පළමු මංකොල්ලය හා බැඳුණු කතාවකි. එකල ඔහු සේවය කළේ වරාය සේවකයකු ලෙසිනි. තමා සේවය කළ ස්ථානයේ ම බඩු ගබඩාවක් හෙවත් 'ගැන් එකක්' කඩා භාණ්ඩ සොරා ගැනීම ඔහුගේ ප්ලෑන විය. ඔහුගේම ප්ලෑනකට අනුව රොබරිය සාර්ථක වුවද රොබරිය අවසන කලකිරීමක් මිස සතුටක් නොලැබී ඇත්තේ එහි අන්තර්ගතය දැකීමෙනි. එහි තිබී ඇත්තේ කාන්තා රූපලාවණ්‍ය අංගයක් වන කියුටෙක්ස් ය. එතැන් සිට අපරාධ ලොවට ඔහු කියුටෙක්ස් පියදාස
කියුටෙක්ස් අපරාධ සිදුකර ඇත්තේ ද අමුතු සැලසුමකටය. ඒවා සූක්ෂ්ම සැලසුම් වූ අතර ඒ සඳහා යොදා ගත්තේ ද වරෙන්තු පිට සිටින අපරාධකරුවන්ය. සතොස මංකොල්ලය ද ඔහුගේ ප්ලෑනකි. සතොස වෑන් රථය කොළඹ වටා ගොස් අවසන් වරට වැලිසර තොග ගබාඩවට පැමිණෙන බව ඔවුන්ගේ නිරීක්ෂණයන් අතර විය. ඉන්පසුව කෙළින්ම මැකලම් පාර ඔස්සේ ගමන් කරයි. එය නව කැලණි පාලම අසල කැලණිතිස්ස බලාගාරය අසලින් ගමන් කරද්දී එක් කෙළවරකදී ටැක්සියක් මඟින් පාර හරස් කොට එහි තිබෙන මුදල් කොල්ලකෑම එහි ප්‍රධාන සැලසුම විය. මෙය අදියර දෙකකින් සිදුකිරීමට ද ඔවුන් සැලසුම් කළහ. ප්ලෑනට අනුව පළමු අදියර කිසිදු ගැටලුවකින් තොරව සිදුවිය.
මේ සඳහා කොටහේනේ 'පිච්චිච්ච ධර්මේ' යොදා ගැනීමද පියදාසගේම අදහසකි. පියදාසගේ සැලසුමට චීනා කිසිදු විරුද්ධත්වයක් පළ නොකළේ ඔහු ගැන හොඳින් දැන සිටි බැවිනි. පිච්චිච්ච ධර්මේ යනු කිසිම අණක් ගුණක් නැති මුර්ගයෙකි. රොබරියකදී ඉලක්කයක් ඇතුව හෝ නැතුව දස අතේ වෙඩි තැබීම ඔහුගේ සිරිතය. ඒ බව හොඳින් දත් චීනා පිස්තෝලයට පුස් උණ්ඩ පිරවීමට පියවරක් ගෙන තිබිණි. චීනාගේ අදහසට පිස්තෝලයට පුස් උණ්ඩ යෙදුවේ ද කියුටෙක්ස් පියදාස විසිනි. ඔවුන් සිතූ ලෙසම ධර්මේ හිතූ හිතූ සේ වෙඩි තැබූවද ඉන් කිසිවකුටත් හානියක් සිදු නොවී පළමු අදියර සාර්ථකව නිම විය.
සතොස මංකොල්ලයේ දෙවැනි කොටස ලබන සතියට...