
සුනීතා විසි දෙහැවිරිදි වියේ පසු වූ තරුණියකි. ඕ පවුලේ වැඩිමල් දියණියයි. ඇය යොවුන් වියේ පසු වූ යුවතියකි. ඇය දෙස වරක් බැලූ විට නැවත දෙවරක් හැරී බැලීමට තරම් රූ සපුවකින් යුක්ත සුනීතාට සහෝදර සහෝදරියෝ පස්දෙනෙකි. මින් තිදෙනකු පාසල් යන වයසෙහි පසු වූහ. සුනීතාගේ මවුපියන්ටද හරිහමන් රැකියාවක් නොතිබූ අතර ජීවනෝපාය ලෙස ගොවිතැන් බත් කිරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ගය විය. සුනීතාගේ මවුපියෝ සිය දරු පවුල නඩත්තු කිරීම සඳහා දැඩි අරගලයක නිරතව සිටියහ. සුනීතා ද මවුපියන්ගේ ගොවිතැන් කටයුතු වලට උදවු වූවාය. ඕ මහ පොළව සමඟ හරි හරියට ඔට්ටු වූවාය. ඇත්ත වශයෙන්ම මේ අය ගත කළේ කටුක දිවි පෙවතකි.
"අම්මේ මට බැහැ හැමදාම මේ විදියට දුක් විඳින්න. බලන්න මගේ අත්වල හැටි“ සිය දෑත්වල තිබුණු කරගැට මවට පෙන්වමින් සුනීතා වරෙක හඬා වැටුණාය. “අම්මේ මම ගාමන්ට් එකක රස්සාවට යනවා. අර පියවතීලා, කුමුදුලා, දයාවතීලාත් දැන් ගාමන්ට් එකේ ජොබ් එකකට යනවා. ඒ නිසා මාත් යනවා“ සුනීතා මවට එලෙස කිවාය. "අනේ දුවේ ඒක උඹේ කැමැත්තක්" මව කීවාය.
ඇඟලුම් කම්හල පිහිටා තිබුණේ සුනීතා පදිංචිව සිටි ගම්මානයට කිලෝ මීටර් තුන හතරක් දුරිනි. ඒ කාලයේ දැන් මෙන් ඇඟලුම් සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සපයා තිබුණේ නැත. සුනීතා ගමේ තරුණියන් සමඟ ඇඟලුම් කම්හලේ රැකියාවට ගියේ පා ගමනිනි. මේ කාලයේ ඇගේ ආදරය ඉල්ලා තරුණයෙක් ඇගේ පසුපසින් පැමිණීමට පුරුදුව සිටියේය. සුනීතා එම තරුණයාට එතරම් කැමැත්තක් නොදැක්වූවාය.
එක් දිනක ඇඟලුම් කම්හලේ රැකියාවට ගිය සුනීතා යළි නිවසට නොපැමිණියාය. සුනීතාගේ මවුපියන් ද ඉන් දැඩි ලෙස කලබලයට පත්වූහ. ඇගේ මිතුරියන්ගෙන්ද ඇය ගැන විමසූහ. “අපි අද වේලාසනින් ආවා. සුනීතා පරක්කු වෙලා තමයි එනවා කිවේ“ ඇගේ මිතුරියෝ එසේ කීහ. සුනීතාගේ අතුරුදන් වීම ගැන පොලිස් පොතේද සටහන් විය.ගම්මුන් එදා රාත්‍රියේ නිදිවර්ජිතව අවට ගම්බිම් පීරමින් සුනීතා සොයන්නට පටන් ගත්තේ ඇය ආගිය අතක් නැති වී පැය කිහිපයකින් පසුවය.
පසුදින උදෑසන සුනීතාගේ මළ සිරුර ගම්මානය මැදින් ගලා බසින ඇළ මාර්ගයේ පහළට වන්නට පිහිටි වැටකෙයියා පඳුරක පැටලී තිබියදී ගම්මුන් විසින් සොයා ගනු ලැබීය.
ඒ වන විටත් සුනීතාගේ මරණය ගැන ගම පුරා විවිධ කථා පැතිරි යමින් තිබිණි. සුනීතා ඇළට වැටුණාද? කිසිවෙකු විසින් මරා ගෙනැවිත් ඇළට දැම්මාද? ඇයට අතවර කොට දියේ ගිල්වා මරා දැමුවාද? මෙවැනි සැකයන් ඒ වන විට ගම්මුන්ගේ සිත්වල පමණක් නොව පොලිස් නිලධාරීන්ටද ඇති වී තිබිණි.
කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය නිලධාරිනි ජානකි වරුෂාහැන්නදි මහත්මිය සුනීතාගේ මළ සිරුර වැටී තිබූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කළාය. එහෙත් සැක කටයුතු කිසිවක් සොයා ගැනීමට ඇයට හැකි වූයේ නැත. ප්‍රදේශයේ මහේස්ත්රාත්වරයාගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය.
සුනීතාගේ මුඛයේ සහ කන් පෙත්තේ තුවාල කිහිපයක් තිබිණි. සිරුරේ බාහිරව කිසිම තුවාලයක් දක්නට නොවීය. ඇය ඇඳ සිටි ඇඳුම්ද එලෙසම තිබිණි. මෙවැනි අවස්ථාවක මරණයට හේතුව සොයා ගැනීම සඳහා ඉතා සියුම් ලෙස පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ යුතුය. විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ට කිසිවකුගේ තුවාල පරීක්ෂා කිරීමේදී එම තුවාලවල හැඩය අනුව ඒවා මරණයට පෙර සහ පසුව සිදු වූ තුවාල ද යන්න පිළිබඳව කිව හැකිය. ඒ අනුව සුනීතාගේ මුඛයේ සහ කන් පෙතිවල තිබූ තුවාල මසුන් විසින් කා දැමූ ඒවා බවට විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය තීන්දු කළාය.
පසුව අධිකරණ වෛද්‍යවරිය සුනීතාගේ මළ සිරුර විච්වේචනය කොට පරීක්ෂා කළාය. සුනීතාගේ ශ්වසන මාර්ගයේ සැම තැනම කුඩා වැලි කැට සහ ගල් කැට තිබිණි. ඒ නිසා කියන්න පුළුවන් මේ තරුණිය වතුරේ ඉන්න විට හුස්ම අරගෙන තියෙනවා. ලිංගික ප්‍රදේශය පරීක්ෂා කළ විට තුවාල හෝ ශුක්‍රාණු දක්නට තිබුණේ නැහැ. සිරුරේ අභ්‍යන්තරයේ කිසිම තුවාලයක් දක්නට ලැබුණේ නැහැ. ඇගේ මොළය පරීක්ෂා කළ විට ස්වාභාවිකව ඇතිවූ ලේ ගැලීමක් තිබුණා. නහරයක් පුපුරලා තමයි ලේ ගැලීම සිද්ධ වෙලා තිබුණේ. පශ්චාත් මරණ පරීක්ෂණය අනුව ජලය සහ ගල් කැට ශ්වසන මාර්ගයේ පිරීම නිසා දියේ ගිලීමෙන් මරණය සිදු වී ඇති බවට තින්දු කළා යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය කීවාය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ මඟින් මිනීමරුම් අබිරහස් ඝාතන සොයා ගැනීමට හැකි සේම එහි අනික් පැත්තද අනාවරණය කරගත හැකිය.
ඒ ඔස්සේ සුනීතා මරණයට පත්ව ඇත්තේ මෙලෙසිනි. මරණ පරීක්ෂණයෙන් ඇයව ජලයේ ගිලී මරණයට පත් වී ඇති බව හෙළි වීමත් සමඟ මහේස්ත්‍රාත්වරයා ඇය මියගොස් සිටි ස්ථානය අවට ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. එහිදී අනාවරණය වී තිබෙන්නේ සුනීතා අලුයම ඇඟලුම් රැකියාවට යමින් සිටියදී ඇළ මාර්ගය හරහා ගමන් කිරීමට යොදා තිබූ ඒදණ්ඩ ඔස්සේ ගමන් කරද්දී ඇය ඇළට වැටී ඇති බවය. ඒ අනුව ඇයගේ මරණය සිදු වී ඇත්තේ ඇළට වැටී දියේ ගිලීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුර හෙළි විය.
රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ජානකි වරුෂාහැන්නදි සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි