බළන්ගොඩ තොටුපොළතැන්නේ අබේරත්න ගුරු පියාට වින කැටුවේ කවුද? | සිළුමිණ

බළන්ගොඩ තොටුපොළතැන්නේ අබේරත්න ගුරු පියාට වින කැටුවේ කවුද?

 

බළන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ‘තොටුපළතැන්න‘ ග්‍රාම නිලධාරි වසම ඉතාමත් සුන්දර ප්‍රදේශයකි. බළන්ගොඩ නගරයේ සිට කිලෝමීටර් දහයක පමණ දුරකින් පිහිටා ඇති තොටුපළ තැන්න ගම්මානයේ විවිධ රැකියා කරන ජනතාව මෙන්න කෘෂි කාර්මාන්තය සිය ජිවිකාව කරගත් විශාල පිරිසක්ද වාසය කරති. බළන්ගොඩ නගරයේ සිට කල්තොට දක්වා ඇති මාර්ගයේ ගමන් කර කිරිමැටිතැන්න ප්‍රදේශයෙන් වමට හැරී ඇති මාර්ගය ඔස්සේ තොටුපළතැන්න ග්‍රාම සේවා වසමට ගමන් කළ හැක.

ඉකුත් 29 වැනිදා අලුයම තොටුපළ තැන්න ප්‍රදේශය පමණක් නොව අවට ඇති ගම්මාන කිහිපයක්ම කම්පාවට පත් කරමින් මිනිස් ඝාතනයක් සිදු වී තිබිණි.

එලෙස ඝාතනයට ලක්වී සිටියේ ඇලබඩ අබේරත්න නමැති හැත්තෑ අට හැවිරිදි විශ්‍රාමික ගුරැවරයෙකුය. ප්‍රදේශයේ දහස් ගණනක දරු දැරියන්ගේ අනාගත ජීවිතය යහපත් කිරීම සඳහා අබේරත්න ගුරු පියාණන් විසින් ලබාදී තිබෙන දැනුම සහ ගුරු හරුකම් මිල කළ නොහැකි බව මෙම අවාසනාවන්ත පුවත වාර්තා වීමත් සමඟ ගම්වාසීහු පැවැසූහ.

අබේරත්න විශ්‍රාමික ගුරවරයෙකු වුවද සිය බිරියගෙන් වෙන් වී වසර ගණනාවක සිට තනියම ජීවත්වී ඇති බවටද විමර්ශනවලදී හෙළි විය. අබේරත්න දරුවන් හයදෙනෙකුගේ පියකුය.

පසුගිය විසිනව වැනිදා උදෑසන අබේරත්න ගුරු මහතාට උදෑසන ආහාර රැගෙන ඔහුගේ පුතෙකු තනිවම පදිංචිව සිටි බළන්ගොඩ තොටුපොළ තැන්න ලේනගල ආරාම පාරේ ඇති නිවසට පැමිණ තිබෙන්නේ සුපුරුදු ලෙසය. එදින එම පුතු පියාගේ නිවෙසේ ගොඩ වෙනවාත් සමගම එක්වරම දැක තිබෙන්නේ නිවසට ඇතුළුවන ස්ථානය අසල වැතිරී තිබුණු ලේ පැල්ලම් කීපයක් කීපයක් තවදුරටත් ඒ ගැන විපරම් කරද්දී තම පියා එම ඇඳෙහි වැටි සිටින අයුරු පුතු දැක තිබේ. ඒ වන විට අබේරත්නගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබෙන අයුරුද පුතු දැක ඇත්තේය.

පුතු වහාම ක්‍රියාත්මක වී පියා වෑන් රථයක දමා බළන්ගොඩ මූලික රෝහල වෙත රැගෙන ගියේය. ඒ වන විටත් ගුරු පියා මෙලොව හැර ‍ෙගාස් අවසානය.

මේ ඝාතනය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිස් ස්ථානය දැනුම්වත් කිරීම සඳහා පුතු කටයුතු කරන්නේ ඉන් අනතුරුවය. බළන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් මේ ඝාතනය ගැන විමර්ශන ආරම්භ කරන්නේ ඉන් පසුවය.

බළන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඝාතනයට ලක්වූ අබේරත්න ගුරු මහතාගේ නිවෙසට පැමිණීමෙන් පසු අබේරත්න ගුරු මාතාවගේ නිවෙසෙහිද ස්ථානීය පරීක්ෂණ සිදු කළේය. එහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කෙළේ අධිකරණය වෛද්‍යවරයකු මඟින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස සහ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

බළන්ගොඩ පොලිසියේ නිලධාරින් මෙන්ම රත්නපුර අපරාධ පරික්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් සහ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ නිල සුනඛයන්ද අදාළ නිවෙස ආශ්‍රිතව පරීක්ෂණ කරනු ලැබූහ. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොතිබුණ අතර අබේරත්නගේ ඝාතනය තවමත් අබිරහසක් වී තිබේ.

 

 

Comments