
බදුල්ල ග්ලේන්පින්වත්ත හිඟුරුගමුව කොටසේ කාන්තන් ලැයිමේ පදිංචිව අසූතුන් හැවිරිදිව සිටි එච්.එම්. රන්මැණිකා සහ ඇගේ දියණිය වන පනස් අට හැවිරිදි ආර්.එම්. ජයවතී සාහසික ලෙස පොල්ලකින් හිසට පහර දී පිහියකින් ගෙල කපා ඔවුන්ගේ නිවසේ නිදන කාමරයේ ඇඳක් මත ඝාතනය කර තිබුණු පුවත වාර්තා වීමත් සමඟ ග්ලේන්පින්වත්ත හිඟුරුගමුව කොටසේ පදිංචිකරුවන් වැල නොකැඩී රන්මැණිකාගේ නිවෙසට පැමිණෙන්නේ ‘අනේ අපොයි‘ කියමිනි.
මේ සිද්ධිය වාර්තා වීමත් සමඟම බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්. අබේපාල ඇතුළු කණ්ඩායමක් ග්ලේන්පින්වත්තට යන්නේ මේ අපරාධය ගැන විධිමත් විමර්ශනයක් සිදුකිරීම සඳහාය. බදුල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් සහ නිල සුනඛයන් ද අපරාධ ස්ථානයට කැඳවා තිබුණේ ඝාතනය සිදුවී පැයක් දෙකක් ගතවීමට මත්තෙනි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව රන්මැණිකා සහ ඇගේ දියණිය ජයවතිගේ සිරුරු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යැවිණි. පොලිසිය මේ ද්විත්ව ඝාතන ගැන විමර්ශනය කරන්නේ එතැන් සිටය. මේ ඝාතන සම්න්ධයෙන් සැකපිට බදුල්ල ඉඹුල්ගොඩ පුද්ගලයකු අත්අඩංගුවට ගැනෙන්නේ ඉන් අනතුරුවය. වීරියපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු වන ඔහු පෙදරේරුවකු වශයෙන් ද රැකියාව කර ඇති අයෙක් වන අතර ඔහු තිදරු පියෙකි. ප්‍රධාන සැකකරුගෙන් දිගින් දිගට සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීමට පොලිසියට හැකිවිය.
ග්ලේන්පින්වත්ත හිගුරුගමුව කොටසේ පදිංචිව සිටි ආර්.එම්. ජයවතී අවිවාහකය. ඇය ග්ලේන්පින්වත්ත තේ කර්මාන්ත ශාලාවේ රැකියාවක නිරත වූවාය. සිය මව වන රන්මැණිකා බලාකියා ගනිමින් ජයවතී කල් ගෙවුවාය. රැකියාවට අමතරව ජයවතී සුළු වශයෙන් මුදල් පොලියට දීම මෙන්ම රන් භාණ්ඩ උකසට ගැනීම ද කරන්නේ කලක සිටය. ගමේ කොයි කාටත් හැකි අයුරින් උදවු උපකාර කරමින් කාටවත් කරදරයක් නොවී අහිංසක දිවි පෙවතක් ගත කළ මෙම මව සහ දියණියට ගමේ සියලු දෙනා දැක්වූයේ මහත් ආදරයකි. කරුණාවකි. ඉකුත් 9 වන දින සුපුරුදු පරිදි ජයවතී මවගේ දෙපා නැමද ග්ලේන්පින්වත්ත තේ කර්මාන්ත ශාලාවේ රැකියාවට ගියාය.
සුපුරුදු පරිදි රැකියාව නිම කර එදින සවස අඳුරු වැටෙන්නට මත්තෙන් නිවසට පැමිණි ජයවතී එක්වරම දකින්නට ඇත්තේ ඇගේ නිවෙස ඇතුළේ මුහුණ ආවරණය කරගෙන සිටින අයෙක් සිටින අයුරුය. ඇගේ සිතට කිසියම් චකිතයක් ඇති වන්නට ඇති නමුත් නිවසට ඇවිත් සිටින්නේ තමාගේ සහ මවගේ මාරයා බව නිකමටවත් ජයවතීට නොසිතෙන්නට ඇත.
සැකකරු ජයවතීගෙන් රුපියල් විසිදහසක් ඉල්ලන්නේ ඔය අතරය. ජයවතී එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කළාය. සැකකරු ඉන් අනතුරුව ජයවතීට සහ රන්මැණිකාට තර්ජනය කරද්දී ඔවුන් තමන් සන්තකයේ තිබූ රන් අබරණ ගලවා සැකකරුට දී ඇත. ඉන්පසු සැකකරු නිවසේ තිබූ පොල්ලකින් ජයවතීට පහරදී ඇති අතර, ඒ සමඟ රන්මැණිකා සිය දියණිය බේරා ගැනීමට යාමේදී සැකකරු ඇගේ හිසට ද පොල්ලෙන් පහරදී පසුව සැකකරු ළඟ තිබූ පිහියකින් ඇගේ ගෙල කපා කොටා දමා අනතුරුව ජයවතීගේ ගෙලත් කපා දමන්නේ අමානුෂිකවය. ජයවතී අත තිබූ බෑග් දෙකක් ද, මේ ආරවුලේදී පසෙකට විසිවී ගොස් බිමට වැටී තිබිණි. ඇය පැළඳ සිටි සෙරෙප්පුවක් ද විසිවී ගොස් තිබිණි. සාහසිකයා ජයවතීගේ මව ඇදගෙන කාමරයට රැගෙන ගොස් ඇති අතර පසුව ඔහු ජයවතීගේ සහ රන්මැණිකාගේ හිසට පොල්ලකින් පහරදී තිබිණි. පසුව මේ සාහසිකයා මව සහ දියණියගේ ගෙල පිහියකින් කපන්නේ අමානුෂික ලෙසය. දෙදෙනා ලේ විලක් මැද නිදන කාමරයේ ඇඳක් මත වැටී ජීවිතක්ෂයට පත්වන්නේ ඉන් පසුවය.
මේ අතරතුරේදී මෙම නිවසට මීටර් 300ක පමණ පිහිටි නිවසක පදිංචිව සිටින රන්මැණිකාගේ වැඩිමහල් දියණිය වන හැට දෙහැවිරිදි ආර්.එම්. මිසිනෝනා සවස 6.30ට පමණ මවගේ නිවසට පැමිණියාය.
ඇය පුරුද්දක් වශයෙන් දිනපතාම රැය පහන් කිරීමට මවගේ නිවසට පැමිණෙන අතර, මෙදින නිවසට එන විටදී නිවස තුළ මුහුණ ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු සිටින බව ඇය දුටුවාය. නිවෙසට ඇතුළුවීමට ගිය මිසිනෝනාට ඉඩ නොදුන් ඒ දෙදෙනා මිසිනෝනාගේ ගමන නතර කරන්නේ ඇයට තර්ජනය කරමිනි. ඉන්පසු ක්‍රියාත්මක වූ මේ සැකකරු මිසිනෝනා අල්ලාගෙන ඇගේ අත්දෙක ගැටගසා නිවස ඇතුළත තිබූ පුටුවක ගැටගසා තබන්නේ මිසිනෝනා භීතියට පත්ව සිටියදීය.
රාත්‍රී 8.30 පමණ වන තෙක් සිටි ඇගේ අත්දෙක අනතුරුව ලිහා දමා ඇති අතර, පසුව ඇය මුළුතැන්ගෙට ගොස් මව සහ බාල සහෝදරියට කිරි තේ එකක් සාදා ගෙන විත් නිවසේ නිදන කාමරයේ ඇඳක් මත තුවාල සහිතව වැටී සිටි මවට සහ නැඟණියට පොවා තිබේ.
මේ සමඟම සාහසිකයා මිසිනෝනාගේ ද හිසට පොල්ලකින් පහරදී පිහියකින් ඇගේ ගෙල කපා දැමූහ. ඇය එම කාමරයේ ඇඳක් මතට වැටෙන්නේ ලේ පෙරාගෙනය. පසුව නින්ද ගිය මිසිනෝනා අලුයම 3.00ට පමණ අවදි වී බලද්දි මව සහ සහෝදරිය කාමරයේ ඇඳ උඩ ලේ විලක් මැද මිය ගොස් සිටින අයුරු දැක ඇති අතර, ඒ වනවිටත් සාහසිකයා නිවසෙන් පලාගොස් සිටියහ.
ඉන්පසු තුවාල ලබා සිටි මිසිනෝනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කැරිණි. ඇය එම රෝහලේ වාට්ටු අංක 10හි මේ වනවිටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන්නීය. මෙම ද්විත්ව ඝාතනය සිදුවන විටත් රන්මැණිකාගේ යාබද නිවසේ නිවැසියන් නිවස තුළ සිට ඇති අතර ඔවුනට රන්මැණිකාගේ නිවෙස දෙසින් කිසිම ශබ්දයක් ඇසී නොතිබීම ද පුදුම සහගතය.
අඩුම වශයෙන් මෙම සිදුවීම වන අවස්ථාවේ මිසිනෝනා කෑගසා නොමැති බවත්, එසේ කෑගැසුවා නම් ඝාතකයන් පහසුවෙන් හඳුනා ගැනීමට අවස්ථාව තිබිණැයි බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල පැවසීය. මේ ද්විත්ව ඝාතනයට හේතුව මුදල් ආරවුලක් බව දැනට සැකකරුගෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කළේය.
ජයවතී සහ රන්මැණිකාගෙන් පැහැර ගෙන ගිය රන් අබරණ සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා බදුල්ල රන් අබරණ උකස් ගන්නා මධ්‍යස්ථානයකට උකස්කර ඇත්තේ රුපියල් හැත්තෑපන්දහසකටය. එම රන් අබරණ පොලිසිය මේ වනවිට සොයාගෙන ඇත. ඝාතකයන් රන්මැණිකාගේ නිවසේ තිබුණු කිසිම දේපළක් සොරාගෙන ගොස් නැති අතර, එය ද සැකයට තුඩුදෙන කරුණක් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල කීවේය.
කෙසේ වෙතත් මෙම ද්විත්ව ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සමඟ බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබූ බවත්, ඝාතකයා බදුල්ල ඔඹුල්ගොඩ වීරියපුර ප්‍රදේශයේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල පැවසීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතියි.