දෙවොල් දෙවි අඩවියේදි ග්‍රාම නිලධාරිනියගේ මාලය කඩාගත් 11 වසරේ සිසුවා | සිළුමිණ

දෙවොල් දෙවි අඩවියේදි ග්‍රාම නිලධාරිනියගේ මාලය කඩාගත් 11 වසරේ සිසුවා

 

කොල්ලකරු පසුපස හඹාගොස් අල්ලාගත් කොස්තාපල් හේරත්ට එස්එස්පී ගෙන් රු. 25,000 තිළිණයක්

පුංචි අම්මාගේ පුතාත් එක්ක උණවටුනට ඇවිත් කළ අපරාධයක්
 

ගාල්ලේ උණවටුන හේතූන් ගණනාවක් නිසා ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත. රාම රාවණා යුද්ධයේදී තුවාල ලැබූ ලක්ෂමණට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය බෙහෙත් පැළෑටි කීපයක් ගෙනඒමට වඳුරු රණශූර හනුමාන් හිමාලය බලා ගියේය. එහෙත් එම බෙහෙත් පැළෑටි හඳුනා ගැනීමට හනුමාන්ට නොහැකි වීම නිසා හිමාලය කන්දෙන් කොටසක් රැගෙන ශ්‍රී ලංකාව බලා හනුමාන් නැවත පිටත් විය. එසේ එන අතරමඟදී හනුමාන් ගෙන එමින් තිබූ හිමාල කන්දෙන් කොටසක් බිමට කඩා වැටිණි. එම කඩාවැටුණ තැන උණවටුන යනුවෙන් ප්‍රසිද්ධ වූ බව ජනප්‍රවාදයේ එන මතයකි.

මේ අතර ලෝකයේ සුන්දරම මුහුදු වෙරළ කීපයට උණවටුන මුහුදු වෙරළද එක්වීම නිසා උණවටුන විදෙස් සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

මීට අමතරව උණවටුනේ වැල්ලේ දේවාලය නිසා ආගමික වශයෙන්ද උණවටුන ලොව පුරා ප්‍රචලිතය. උණවටුනේ ඓතිහාසික වැල්ලේ දේවාලය 'දෙවොල් දෙවියන්' උදෙසා කරවන ලද්දකි. වසර දෙදහසකට පමණ පෙර දෙවොල් දෙවියන් මෙහි වැඩ සිටි බව සැලකෙන ශෛලමය ගල් ගුහාවක්ද මෙහිදී දැක ගත හැකිය. දෙවොල් දෙවියන් ශ්‍රී ලාංකිකයින් අතර මහත් ගෞරවයට පාත්‍රවූ දෙවි කෙනෙකි.

එනිසාම දෙවොල් දෙවියන් සිහිකර වාර්ෂිකව ඇසළ උත්සවයක් පැවැත්වීමද ඈත අතීතයේ සිටම සිදු වෙමින් පවතී. ඓතිහාසික උණවටුනේ මුහුදු වෙරළ ආශ්‍රිතව මෙම දේවාලය පිහිටා ඇති නිසා එය වැල්ලේ දේවාලය නමින් හැඳින්වේ.

මෙවරත් උණවටුන දෙවොල් දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. දකුණු පළාතෙන් පමණක් නොව මෙරට සිවු දෙසින්ම බැතිමතුන් දස දහස් ගණනක් වැල්ලේ දේවාලයේ ඇසළ උත්සවයට පැමිණ භාරහාර නිදහස් කර දෙවොල් දෙවියන්ගේ ආශීර්වාද ලබා ගත්හ. ගාල්ල වංචාවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක්ද තම පවුලේ සාමාජිකයන් සමඟ වැල්ලේ දේවාලයේ ඇසළ උත්සවයට පැමිණ සිටියාය. එම ග්‍රාම නිලධාරිනියගේ සැමියා, දරුවා, මව, සොහොයුරා සහ පුංචි අම්මා ඇතුළු පවුලේ තවත් කීප දෙනෙක් ද මෙම ගමනට එක්ව සිටියහ.

මේ පිරිස පළමුවෙන්ම වැල්ලේ දේවාලය වැඳ පුදා ආගමික වතාවත් සිදු කොට දෙවොල් දෙවියන්ගේ ආශීර්වාද ලබා ගත්තෝය. අනතුරුව පිරිස වැල්ලේ දේවාලය අබියස ඇති මුහුදු වෙරළට ගොස් රළ පාගමින් විනෝද වූහ. වැල්ලේ දේවාලයට පැමිණෙන බොහෝ පිරිස් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව මුහුදු වෙරළට ගොස් මුහුදු රළ පාගමින් විනෝද වීමට අමතක නොකරති.

ඒ වන විට වේලාව මැදියම් රාත්‍රි දොළහ පසු වී තිබුණි.

“අම්මේ නිදි මතයි. දැන් ගෙදර යමු“යි ග්‍රාම නිලධාරිනියගේ කුඩා පුතු මවට ඇවිටිලි කළේය. '

“අම්මේ පුතාට නිදි මතයි කියනව. දැන් එහෙනම් අපි ගෙදර යමු“ ග්‍රාම නිලධාරිනිය ඇගේ මවට කීවාය.

ඒ අනුව සියලුදෙනා ආපසු නිවස බලා ඒමට පිටත් වූහ. ඒ එන අතරමඟදි දේවාල භූමියට පිවිසෙන මාර්ගය දෙපස ඇති සල්පිල වෙත ගිය ග්‍රාම නිලධාරිනියගේ මව සහ ඇගේ පුංචි අම්මා රසකැවිලි අලෙවිසලක් අසල නතර වූයේ රසකැවිලි ටිකක් මිලදී ගැනීමටය. ග්‍රාම නිලධාරිනියද මවට සහ පුංචි අම්මා පිටුපසින් සිටියාය. ඇගේ සැමියා සහ පුතා ඊට මඳක් ඈතින් නතර වී සිටියහ. ඒ වේලාවේ ග්‍රාම නිලධාරිනියගේ ගෙලේ තිබූ රන් මාලය කඩාගැනීමට කිසිවකු ඇගේ ගෙලට අත තබනු ඇයට දැනිණි. ඒ සමඟම ග්‍රාම නිලධාරිනිය දකුණු අතින් මාලය තරයේ අල්ලා ගත්තාය. එහෙත් එය අසාර්ථක උත්සාහයක් විය. මාලයෙන් කොටසක් කඩා ගත් කොල්ලකරු පිරිස අතරින් පලා යන්නේ ක්ෂණයකිනි.

“මගේ මාලය කඩා ගත්ත. හොරා ඔන්න දුවනවා. අනේ ඔය හොරා අල්ලා ගන්න“ ග්‍රාම නිලධාරිනිය විලාප තියන්නට වූවාය.

ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ ග්‍රාම නිලධාරිනියගේ සැමියා සහ අයියාද කොල්ලකරු පසුපස හඹා යෑමට පටන් ගත්හ. මේ අතර ගාල්ල පොලිසියෙන් විශේෂ රාජකාරි යටතේ පැමිණ සිටි පොලිස් කොස්තාපල් හේරත් (100100) වැල්ල දේවාලය පාරේ මීගහ දේවාලය අසල රාජකාරීයේ යෙදී සිටියේය. එම අවස්ථාවේ රතු පැහැති ටී ෂර්ට් එකක් සහ කළු කොට කලිසමක් ඇඳගත් වයස අවුරුදු 17 ක පමණ තරුණයෙක් වැල්ල දේවාලය පාරේ වේගයෙන් දුවයන අන්දම දුටුවේය. මෙම තරුණයා කිසියම් අපරාධයක් සිදුකොට පලා යන බවට සැක කළ කොස්තාපල් හේරත් පලා යන තරුණයා පසුපස හඹා යෑමට පටන් ගත්තේය. ටික දුරක් දුවගොස් පලා යන තරුණයා අල්ලා ගැනීමට කොස්තාපල් හේරත්ට හැකි විය.

ඒ සමඟම සැමියා සහ සොහොයුරා සමඟ එතනට දුවගෙන පැමිණි ග්‍රාම නිලධාරිනිය

"අනේ රාලහාමි මේ ළමයා මගේ කරේ තිබුණ මාලේ කෑල්ලක් කඩාගෙන දිවුවා. මට කඩා ගත්ත මාලයෙ කෑල්ල ඉල්ලා දෙන්න" යයි කියා බැගෑපත් වූවාය.

එවිට කොස්තාපල් හේරත් තරුණයා පරීක්ෂා කොට ඔහු ඇඳ සිටි කලිසමේ සඟවාගෙන තිබූ කඩා ගත් මාලයේ කොටස සොයා ගනු ලැබීය.

"අනේ සර් මම නෙවේ මාලය කැඩුවෙ මගේ පුංචි අම්මාගේ පුතා. එයා මාලේ කඩල මට දුන්න මම අරගෙන දිවුවා" යයි තරුණයා පැවසීය.

"නැහැ නැහැ වෙන කවුරුවත් නෙවෙයි මාලය කඩ ගත්තේ මේ ළමයාමයි" ග්‍රාම නිලධාරිනිය ද පැවසුවාය.

ඊටපසුව කොස්තාපල් හේරත් කොල්ලකරු සහ ඔහු කඩා ගත් මාලයේ කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා හබරාදුව පොලිසියට බාර දෙනු ලැබීය. හබරාදුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කරන්නේ ඉන් පසුවය.

“මේ රන් මාලය කඩාගත් ළමයා උඩුගම අධ්‍යාපන කලාපයේ මහ විදුහලක 11 වන ශ්‍රේණිය ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවෙක්. මෙයාගේ පුංචි අම්මාගෙ පුතාත් තවත් මිතුරන් කීප දෙනෙකුත් සමඟ වැල්ලේ දේවාලයට පැමිණ තියනවා. එහිදී ඒ ළමයා ග්‍රාම නිලධාරිනියගේ කරේ තිබුණ මාලය කඩා ගන්න උත්සාහ කර තියනව.

නමුත් ග්‍රාම නිලධාරිනිය මාලය අල්ලා ගැනීම නිසා සම්පූර්ණ මාලය ඔහුට කඩා ගන්න බැරි වෙලා. නමුත් කොටසක් කඩාගෙන පලා යන විට තමයි කොස්තාපල් හේරත් විසින් සැකකරු පසුපස හඹා ගොස් අල්ලාගෙන තියෙන්නේ.පුංචි අම්මාගෙ පුතා මාලය කඩාගත්ත කියන කතාව බොරුවක්. පරීක්ෂණ අනුව මෙම ළමයාම තමයි මාලය කඩාගෙන තියෙන්නේ. නමුත් මාලය කඩා ගැනීමට හේතුව අනාවරණය වී නැහැ. අපි ඒ ළමයා අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කළා“ යයි හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න පැවසීය. මාලය කඩා ගත් පාසල් සිසුවාගේ පියා සිවිල් ආරක්ෂක බළකායේ ආරක්ෂක නිලධාරියකු බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

“මේ මාලය රුපියල් හතළිස් දහසක් පමණ වටිනවා මා කුඩා කාලයේදී මේ මාලය මට තෑග්ගක් විදියට ලැබුණ එකක්“ යයි මාලය අයිති ග්‍රාම නිලධාරිනිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

වැල්ල දේවාලයට පැමිණ සිටි ග්‍රාම නිලධාරිනියකගේ මාලය කඩා ගත් කොල්ලකරුවකු පසුපස හඹා ගිය ගාල්ල පොලිසියේ කොස්තාපල්වරයකු වන හේරත් විසින් කොල්ලකරු අත්අඩංගුවටගෙන කඩා ගත් මාලයේ කොටසද ඒ මොහොතේම සොයාගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහට වාර්තා විය.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ කොස්තාපල් හේරත් අභීතව කරන ලද ක්‍රියාව අැගයීමට තීරණය කළේය.

ඒ අනුව සිද්ධිය වී පැය කීපයකට පසුව කොස්තාපල් හේරත් තම කාර්යාලයට කැඳවූ ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ කොස්තාපල් හේරත්ගේ සේවය අගයා රුපියල් 25000 ක මුදල් පරිත්‍යාගයක් පිරිනැමීය.

පොලිස් නිලධාරියකු අභීත ක්‍රියාවක් සිදු කළ විට එම නිලධාරියාගේ සේවය අගයා නිලධාරියා දිරිමත් කිරීම කල් නොදමා හැකි ඉක්මනින් කළ යුතු බවත්, ඒ අනුව කොස්තාපල් හේරත් අභීතව මංකොල්ලකරුවකු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගැනීම අගයා මෙම පරිත්‍යාගය සිදු කරන බවත්, මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පැවසීය.

 

 

Comments