කුඩු සල්ලි ණය ගෙවන්න ‘රොබරි’ දුන් අයිය-මලෝ | සිළුමිණ

කුඩු සල්ලි ණය ගෙවන්න ‘රොබරි’ දුන් අයිය-මලෝ

 

සහෝදර බැඳීම් වනාහි ‘ලේවලින්ම‘ බැඳුණු බැඳීම්ය. විටෙක කිරිපැණි මෙන් එක්වන සොයුරු බැඳීම් තවත් විටෙක නයි මුගටි වෛරයන් දක්වා දුරදිග යන සිදුවීම් අද සමාජයේ අතිශයින් සුලබය. මේ පවසන්නට යන කතාව එවන් ‘කිරිපැණි‘ වන් සොයුරන් දෙදෙනකු අරබයා ගෙතුණු එකකි.

මෙම දෙසොහොයුරන්ගේ පදිංචිය ගල්කිස්ස පොලිස් වසමට අයත් රාහුල පාර ප්‍රදේශයයි. වයසින් 35 සහ 37 වියේ පසුවුණ විවාහකයින් වන මොවුන් දෙදෙනා සිය සහෝදර බැඳීම උපයෝගි කර ගනිමින් ‘හවුලේ‘ රැකියාවක නිරත වුවද ගැටලුව වූයේ එය නීති විරෝධී ආදායම් ඉපයීමේ ගණයට අයත් එකක් වීමයි.

එනම් මත්කුඩු වෙ‍ෙළඳාමයි. කුමනාකාරයේ වුවද ඉතා සමඟියෙන් තම ජීවිකාව හවුලේ පවත්වාගෙන ගෙන මොවුන් දෙපළ දිනක විසඳා ගැනීමට නොහැකි ගැටලුවකට මැදි වූහ.

ඒ ඔවුන් දෙදෙනාගේ ප්‍රධානියා වන මත්කුඩු සැපයුම්කරු විසින් මත්කුඩු වෙ‍ෙළඳාමින් ඉපැයූ මුදල්වලින් විශාල කොටසක් එක්වර ඉල්ලා සිටීමයි. ‘අතේ සතේ‘ නොමැති මොහොතකදී සිදු වූ මෙම සිදු වීමෙන් දෙලොව රත්වුණු අයිය-මලෝ අදාළ මුදල සොයාගන්නා ක්‍රමයක් සම්බන්ධයෙන් දහඅතේ කල්පනා කළද සුදුසු විසඳුමක් පෙනෙන මානයක නොවුණි.

බඩවියත රැකගන්නා ජීවිකාවද නීතිවිරෝධී වෙද්දී, එකී රැකියාව ආරක්ෂා කරගන්නා ක්‍රමය ‘නීත්‍යනුකූල‘ වීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නොපෙනුණි.

ඒ අනුව වැඩිපුර ජනතාව නොගැවසෙන පාළු පෙදෙසකදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගන්නා ඔවුන් ‘ඇසිල්ලකින්‘ එතැනින් පලා යන්නේ පුරුදුකාරයින් මෙනි.

එතැන් සිට මේ අයියා-මලෝ එවන් මංකොල්ලකෑම්වලම දිගින් දිගටම නිරත වීම තීරණය කරන්නේ මත්කුඩු විකුණනවාට වඩා පහසුවෙන් එක වර මුදල් විශාල ප්‍රමාණයක් අතට ගත හැකි මෙම ‘නව ක්‍රමය‘ අත්හදා බැලූ පළමු පියවරෙන්ම එය සාර්ථක වූ බැවින්ය.

නමුත් පළමු වර සිදු කළාට වඩා ක්‍රමානුකූලව සැලසුම් සහගතව ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට ඔවුහු කතිකා කරගන්නේ මත්කුඩු වෙ‍ෙළඳාමින් ලබා තිබූ අත්දැකීම් සමුදායද ප්‍රයෝජනයට ගනිමිනි.

"හැමදාම මාලම කැඩුවොත් අපිව මාට්ටු වෙයි බං. අපි ඊළඟට වෙන විදියක ගේමකට බහිමු...." දෙදෙනා සාකච්ඡා කරන්නේ ඒ අනුවය.

එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන වර මොවුන්ගේ ඉලක්කය වන්නේ ගල්කිස්ස ප්‍රදේශයේම මාලිගාව පාරේ බෑගයක්ද අතැතිව තනිව පා ගමනින් ගමන් ගන්නා තරුණයෙකි.

පිහියක් පෙන්වා ඔහු බිය ගන්වන දෙසොහොයුරෝ තරුණයා සතු මුදල් ලබා දෙන ලෙස ඔහුට තර්ජනය කරන්නේ බෑගයේ යම්කිසි මුදලක් ඇති බවට සහජ බුද්ධියෙන්ම ලද ඉඟියකට අනුවය.

"ගනින් එළියට සල්ලි ටික...." ඔවුන් එලෙස අණ කරන්නේ මුදල් ඇති බවට සහසුද්දෙන්ම දැන එතැනට පැමිණියාක් ලෙසය.

"අනේ මා ළඟ තියෙන්නේ මෙච්චරයි. ඒක අරන් යන්න. මට කරදර කරන්න එපා..." යැයි බැගෑපත් හඬින් පවසන තරුණයා බෑගයට අත දමා රුපියල් පන්දහසේ නෝට්ටුවක් ගෙන බිමට අතහරින්නේ බියෙන් වෙව්ලමිනි. "මූ එකත් එකටම ගේමක් ගහන්නයි හදන්නේ... ගන්න එපා බිමට දාපු සල්ලි...." යැයි මලයාට පවසන වැඩිමල් සොයුරා එම තරුණයා අතැති බෑගය උදුරාගන්නේ ඔහුට පිහි පහරකින්ද ‘සංග්‍රහ‘ කර, තරුණයා සතු ජංගම දුරකථනයද උදුරා ගනිමිනි.

බෑගය ඇතුළත රුපියල් දෙලක්ෂ පන්දහසක මුදලක් තිබෙන්නේ දෙදෙනාගේ බලාපොරොත්තු සඵල කරමිනි. "දැක්කා නේද අරූ අපිට පෙරළන්න හදපු පොත පන්දාහක් බිමට දාලා. යකෝ බං, මේක මාර සුපිරි වැඩක්නෙ. බලපන් විනාඩි දෙක තුනට ලක්ෂ ගානක් අතේ.... මේක දිගටම කරමු බන්. ඊළඟ පාර වෙන විදියක වැඩකට එන්ටර් වෙමු...." දෙදෙනා කතා කරගන්නේ මහත් ජයග්‍රහණයක් ලැබූ ප්‍රීතියකිනි.

සොයුරන්ගේ තෙවන ගොදුර වන්නේ මල්ලිකාරාම පාරේ කුඩා වෙ‍ෙළඳසැළක් පවත්වාගෙන යන වියපත් පුද්ගලයෙකි.

"මේ නාකියා අපිට නිකන්ම සරෙන්ඩර් කරතහැකි. අවට වැඩිපුර කඩ එහෙමත් නැති එකේ ඕකා ගාව සල්ලි තියෙන්නම ඕනි..." යැයි පූර්ව නිගමනයකට පැමිණෙන දෙදෙනා රාත්‍රී කාලයේ වෙ‍ෙළඳසැළට ඇතුළුව වයෝවෘද්ධ තැනැත්තා බියගන්වා ඔහු සිටින පුටුවටම තබා බැඳ දමන්නේ කිසිම අනුකම්පාවකින් තොරවය.

වෙ‍ෙළඳසැළේ ලාච්චුවේ තිබූ රුපියල් එක්ලක්ෂ අනූදහසක මුදලද සමඟ එහි තිබූ සිගරැට් තොගයක්ද රැගෙන ඔවුන් පලායන්නේ රැහැන්වලින් බැඳ දැමුණු අසරණ මිනිසාගේ විලාප හඬ නෑසුනාක් මෙන් කිසිම අනුකම්පාවකින් තොරවය.

දිගින් දිගටම මෙලෙස ලැබුණු ලක්ෂ ගණන් මුදල් නිසා සුපිරි ධනවතුන් මෙන් අතදිග හැර වියදම් කරමින් ප්‍රීතිමත් දිවියක් ගතකරන්නට පටන්ගන්නා අයියා-මලෝ දෙපළගේ දෑස් ඉන්පසු යොමු වන්නේ රාහුල මාවතේ පිහිටි හුදකලා කාමරයක් වෙතය.

"අතනින් නම් ටක්කෙටම ගානක් කඩාගන්න පුළුවන්. යමු බලන්න..." යැයි කතිකා කරගනිමින් ඔවුන් එතැනට පිවිසෙන්නේ අපූරු බොරුවක්ද ගොතාගෙනය.

"මේ අපේ යාළුවෙක් හිටියා මේ පැත්තේ බෝඩින් කාමරේක. ඒකයි මේ හොයාගෙන ආවෙ...." කාමරයෙන් එළියට එන තරුණයාට ඔවුන් පවසන්නේ ඇතුළත තවත් පුද්ගලයින් සිටිනවාදැයි යන්න පරීක්ෂා කරමිනි.

"නෑ මෙහෙ ඔයාලා හොයන කෙනෙක් නම් නෑ. වරදින්න ඇති..." අදාළ තරුණයා පැවසීමත් සමඟ,

"අපිට කොහෙද යකෝ එහෙම වරදින්නේ? වරදින්න යන්නේ උඹට..." යැයි පවසමින් එම කාමරය තුළට කඩාවදින්නේ ඔහුට අමතරව ඇතුළත සිටින්නේ තවත් එක් වයෝවෘද්ධ තැනැත්තෙක් පමණක් බව සැකහැර දැනගැනීමත් සමඟිනි.

විනාඩි කිහිපයක් ඇතුළත එම වියපත් මිනිසා ඔහු සිටින ඇඳටම තබා බැඳදමා පසුව ඔහුට රෙද්දක්ද පොරවා නිදාගැනීමට යැයි අණකර, එහි සිටි තරුණයාට තර්ජනය කර බියගන්වා ඔහු සමඟ මොරටුව, කටුබැද්ද ඒටීඑම් යන්ත්‍රය අසලට ගොස් ඉන් රුපියල් එක්ලක්ෂ අනූදහසක මුදලක් තරුණයා ලවා ලබා ගන්නේ තවත් එක් අපරාධ මෙහෙයුමක සාර්ථක අවසානයක් සනිටුහන් කරමිනි.

ක්‍රම ක්‍රමයෙන් මේ දෙදෙනාගේ මංකොල්ලකෑම් වලට ඇති බියද දුරුවෙද්දී කුලී ගමනක් යන මුවාවෙන් ගල්කිස්ස, මාලිගාව පාරේ ත්‍රිරෝද රියදුරකු බියගන්වා ඔහු සතු රුපියල් විසි අට දහසක මුදලක් සහ ජංගම දුරකථනයද පැහැරගන්නා සොයුරන් දෙපළගේ වාසනාවට ‘කණකොකා‘ හඬන්නට පටන්ගන්නේ පොලිසියට දිගින් දිගටම ලැබුණු පැමිණිලි හේතුවෙනි.

තමන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිසියේ ‘උකුසු ඇස්‘ ලුහුබඳින බව ඉවෙන් මෙන් තේරුම්ගන්නා ඔවුන් පානදුර ප්‍රදේශයට පලාගොස් සැඟව සිටියද, මුදල් සෙවීමේ පහසු ජීවන ක්‍රමයෙන් මිදී වැඩිකල් සිටීමට දෙදෙනාටම නොහැකි වන්නේ ඒ වන විටත් එහි ‘රස‘ පමණද ඉක්මවා දැනී තිබූ බැවිනි.

ඒ අනුව මොරටුව, සොයිසාපුරය ප්‍රදේශයෙහි කොල්ලකෑමක් සඳහා පැමිණෙන මේ අයියා-මලෝට වැඩ වරදින්නේ ඔවුන් දෙදෙනා ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දීලිප සී.පෙරේරාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නාලක අලහකෝන්, උපපොලිස් පරීක්ෂකවරුන් වන සමුදිත්, සංජීව, සැරයන්වරුන් වන 47033 අජිත්, 61189 රත්නායක, කොස්තාපල්වරුන් වන 78800 සිවන්ත, 51508 උදයංග, 82423 වීරතුංග, 88381 සංජීව, 29265 ප්‍රියංකර, 71341 ඉසංක සහ 25426 සංජීව යන පිරිසෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායම එම ප්‍රදේශයම ආවරණය වන ලෙස සිදු කළ මෙහෙයුමක් අවසානයේදී මෙසේ ඔවන් කොටු වන්නේ මෙතෙක් කල් සිදු කළ සියලු සෙල්ලම් වලට නැවතීමේ තිත තබමින්ය.

Comments